Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාව රසායනික පොහොර තහනම් කලා.. මුල්බැස ගත් කණ්ඩායම් විරුද්දයි..- ජනපති COP:26 සමුළුවට කියයි

  “නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම...

 




“නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.


ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය .


“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.


ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහායවීම අත්‍යාවශ්‍ය බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.


මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළේය. මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඉන් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බව ද පෙන්වා දුන්නේය.


දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපායි. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම් සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.


ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබේ. බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙයි. එබැවින් තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බදු යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වයක් ළගා කර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි. 2030 වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය 7%කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර පොසිල ඉන්ධන භාවිතය ක්‍රමනුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිතුමා පැවසීය.


වසර 2030 වන විට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව 2019 දී නායකත්වය දී තිබේ. මෙම වැඩසටහනට තවත් රටවල් එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා කීය.


පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාව නායකත්වය දෙයි. ශ්‍රී ලංකාව සිය අභිලාෂකාමී තිරසර ප්‍රයත්නයන් සඳහා ආයෝජන, තාක්ෂණික හුවමාරුව සහ දේශගුණික අභියෝග ජය ගැනීම සඳහා මූල්‍ය සම්පත් මෙන්ම කොවිඩ් 19 වසංගතයෙන් ප්‍රකෘතිමත් වීම සදහා ලබාදෙන පුළුල් සංවර්ධන ආධාර සාදරයෙන් පිළිගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.


ඇමරිකානු ජනාධිපති, ප්‍රංශ ජනාධිපති, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, ඉතාලි අග්‍රාමාත්‍ය, චාල්ස් කුමරු සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද ප්‍රධන සමුළුවේ දේශන සිදු කළහ.


සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේ දේශගුණික විපර්යාසයන් දැනටමත් ලෝකය, මිනිස් ජීවිත හා ජීවනෝපාය විනාශ කරමින් තිබෙන බවයි. දේශගුණික විපර්යාස පිළිබඳ රට තුළ ඇති ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම හැරුණු කොට ලෝකයේ සෙසු රටවලටද සහයවීමේ වගකීම එක්සත් ජනපදය ඉටුකරන බවත්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ආරක්ෂිත ලෝකයක් බෙදා හදා ගැනීම සහතික කරනු වස් තවත් බොහෝ දේ ඉටුකිරීමට තම රට අපේක්ෂා කරන බව ජෝ බයිඩන් මහතා සඳහන් කළේය.


දේශගුණික විපර්යාසයන්ට මුහුණදීමට අපොහාසත් වීම පිළිබඳ නිදහසට කරුණු කිසිවක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින් ප්‍රකාශ කළේය. පසුගිය කාලය තුළ යම් ප්‍රගතියක් ලබා ඇතත් පරිසරය වෙනුවෙන් තවත් කළයුතු විශාල කාර්යභාරය පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා අද නිසි ලෙස වගකීම් ඉටු නොකළහොත් එහි අයපහත් ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවන්නේ අනාගත පරපුරට බව ද පෙන්වා දුන්නේය.


පෘථිවිය අපගේ දෑස් ඉදිරිපිට වෙනස් වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සමුළුව අමතමින් සඳහන් කළේය. මේ පිළිබඳ ඥානාන්විතව නිසි වගකීම් ඉටුකළ යුතු බව පෙන්වා දුන් මහලේකම්වරයා එකී අභිලාෂයන් සාමුහිකව දැරිය යුතු බව ද පැවසීය.


සියලුදෙනා එක්ව විෂමතාවයන් ජය ගැනීමට ප්‍රායෝගීක ක්‍රම සොයා ගත යුතු බවත්, එවිට පෘථිවිය බේරාගත හැකි අතරම අපගේ තරුණ ප්‍රජාවගේ තර්ජනයට ලක්ව ඇති අනාගතය සුරක්ෂිත වන බවත් සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වූ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සදහන් කළේය.


ඔක්තෝබර් 31 ඇරඹි COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගො නුවරදී පැවැත්වේ.


– ජනාධිපති මාධ්‍ය අංශය

No comments

Ads Place