Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වනිඳුගේ උපන් දින තෑග්ගෙන් ශ්‍රී ලංකාව කලකට පසු ජය පැන් බොයි

ජයග්‍රහණයේ පිපාසයෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කලකට පසු තරගාවලි ජයග්‍රහණයක සතුට භුක්ති විඳීමට ඊයේ රාත්‍රීයේ හැකිවුණා. ඒ, ඉන්දීය කණ්ඩ...


ජයග්‍රහණයේ පිපාසයෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කලකට පසු තරගාවලි ජයග්‍රහණයක සතුට භුක්ති විඳීමට ඊයේ රාත්‍රීයේ හැකිවුණා. ඒ, ඉන්දීය කණ්ඩායම සමග පැවැති පන්දුවාර 20 යි 20 තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගනිමින්.


මෙය සැලකෙන්නේ 2019 වසරෙන් පසු ශ්‍රී කණ්ඩායමක් ලැබූ පළමු පන්දුවාර 20 යි 20 තරගාවලි ජයග්‍රහණය ලෙසයි. එමෙන්ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් පිටියේ ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ද මෙය වීම විශේෂත්වයක්. 


තීරණාත්මක තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 81 සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හා කලකින් පසු දුටු විශිෂ්ඨ පන්දු රැකීම ඉවහල් වුණා. එය සැලකුණේ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ඉන්දීය කණ්ඩායමක් දැවී ගිය 03 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. 


යළි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණියේ ප්‍රධානියා වෙමින් වනිඳු හසරංග නියමිත පන්දුවාර 4 දී ලකුණු 9 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුළු 4 ක් බිඳ හෙලුවා. තරගය පැවැති ඊයේ දිනය වනිඳු හසරංගගේ 24 වන උපන් දිනය ද යෙදී තිබූ දිනයයි. ඒ අනුව පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සිය උපන් දිනය දා ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස ද වනිඳුගේ පන්දු යැවීම ඊයේ ඉතිහාසයට එක්වුණා. එය වනිඳු හසරංගගේ ද හොඳම පන්දු යැවීමයි. 


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 03 ක් තුළ කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 82 ක් රැස් කරමින් සිය ජයග්‍රහණය වාර්තා කළා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23 යි. වනිඳු හසරංග නොදැවී ලකුණු 14 යි. අවසන් තරගයේ වීරයා සම්මානය මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද වනිඳු හසරංග දිනා ගත්තා. 


ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලි ජයග්‍රහණය ඉතා වැදගත් වනවා. 


ඒ, එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කෙටි කලක් පමණක් ඉතිරිව තිබියදී ලැබූ ජයග්‍රහණයක් වීම හේතුවෙන්. ක්‍රීඩා විචාරකයින් පවසන්නේ ශ්‍රී ලංකාවට යළි ජයග්‍රාහී රිද්මයට පිවිසීමට මෙම ජයග්‍රහණය වැදගත් වනු ඇති බවයි. 

nethnews

No comments

Ads Place