Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මහා අලි ජාවාරමකට සියල්ල සූදානම්..- MONLAR

  වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව...

 


වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනය මගින් වනජීවී රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් 2021 අංක 1 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය හා ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 71 හා 22අ වගන්තිවලට අනුව මෙම නියෝග ප්‍රකාශයට පත් කර ඇත. කොටස් තුනකින් සමන්විත මෙම නියෝග මාලාවේ පළමු කොටස යටතේ හීලෑ අලි ඇතුන්ගේ ආරක්ෂාව හා සුබ සාධනය සැලැසීමට අදාළ නියෝග, දෙවන කොටස යටතේ හීලෑ අලි ඇතුන් ලියාපදිංචිය විධිමත් කිරීමට අදාළ නියෝග හා තුන්වන කොටස යටතේ ඓතිහාසික, සංස්කෘතික පෙරහැර සඳහා හීලෑ අලි ලබා ගැනීමට අදාළ නියෝග ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ගැසට් නිවේදනයේ සඳහන් නියෝග මාලාව අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කරමින් අලි ඇතුන් ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරිපත් කළ නියෝග මාලාවක් බව ය.

නීති විරෝධී ව අලි ඇතුන් සංචාරක කටයුතුවල හා වැඩෙහි යෙදවීමට නියෝග සැකසීම

හීලෑ අලි ඇතුන් ලියාපදිංචිය හා සම්බන්ධයෙන් පළමු ව නියෝග සකස් කෙරුනේ 1991 වසරේ දී ය. 1991 මැයි මස 14 වන දින අංක 662/4 දරන ගැසට් නිවේදනය මගින් 1991 දළ ඇතුන් හා ඇතුන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා බලපත්‍ර දීමේ නියෝග යනුවෙන් එවකට ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී අතුකෝරාල මහතා විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 71 හා 22අ වගන්තිවලට අනුව ප්‍රකාශයට පත් කර තිබේ.

එම නියෝගවලට අනුව අලි ඇතුන් වැඩෙහි යෙදවීමට හෝ සංචාරක කටයුතුවල යෙදවීමට අවසර ලබා දී නොමැත. මෙම නියෝගවලට අනුව මෙතෙක් නිකුත් කළ සෑම බලපත්‍රයකම සඳහන් වන්නේ මෙම සතුන් පෙරහැර ඇතුළු සංස්කෘතික කටයුතුවල පමණක් යෙදවිය හැකි බව ය.

1991 වසරේ නියෝග යාවත්කාලීන කිරීම සඳහා 2014 අගෝස්තු මස 29 වන දින එවකට වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි. “හීලෑ අලි ලියාපදිංචිය හා නඩත්තුව පිළිබඳ රෙගුලාසි සකස් කිරීම” මැයෙන් එම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කෙරින. එහි සඳහන් කර තිබුණේ මෙම ආඥාපනතට අනුව අලි ඇතුන් 345 ක් ලියාපදිංචි කර ඇති බවත්, ඉන් සතුන් 86 ක් මියගොස් ඇති අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ අලි ඇතුන් 91 ක් සිටින බවත් ය. මීට අමතර ව නීති විරෝධීව අලි පැටවුන් අල්ලා ගැනීම මගින් වනඅලි ගහනයට බලපෑම් ඇති වන බවටත් අවධාරණය කර තිබුණි. මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් හීලෑ අලි ඇතුන්ගේ සුබ සාධනය පමණක් නොව අලි ඇතුන් වැඩෙහි යෙදවීමට හා සංචාරක කටයුතු සඳහා භාවිත කිරීමට අදාළ නියෝග සකස් කිරීමට ද පළමු වරට යෝජනා කර තිබුණි.

ඉන් අනතුරුව පසුගිය රජයේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් 2016 වසරේ දී අලි ඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සහ අභිවෘද්ධිය සැලැසීම සඳහා නියෝග මාලාවක් සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරින. එම නියෝග මාලාවේ හීලෑ අලි ඇතුන්ගේ සුබ සාධනයට අමතර ව එම සතුන් වැඩෙහි යෙදවීම පිළිබඳ ව සඳහන් වුව ද සංචාරක කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳ ව සඳහන් නොවිනි.

නමුත් 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2021 අංක 1 දරන හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචිය විධිමත් කිරීමේ නියෝගවලට අනුව අලි ඇතුන් වැඩෙහි යෙදවීමට හා සංචාරක කටයුතුවල යෙදවීමට අවශ්‍ය නියෝග සකස් කර ඇත. මෙය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කිරීමකි. මෙම ආඥාපනතේ මූලික අර්ථ නිරූපනයට අනුව වන සතුන් වාණිජ ලෙස සහ වෙනත් ආකාරයකට අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහා විධිවිධාන සැලැස්වීමේ ආඥාපනතක් ලෙස දක්වා ඇත. පනතේ මෙම මූලික අර්ථ නිරූපනය උල්ලංඝනය කරමින් පනතට අලුතින් වගන්ති එක් කිරීම හෝ නියෝග සකස් කිරීමට කිසිදු හැකියාවක් නොමැත. ඒ ආකාරයෙන් පනත උල්ලංඝනය කරමින් සකස් කරන නියෝග නීත්‍යනුකූල නියෝග ලෙස සැලැකිය නොහැක.

2000 වසරේ ජාතික වනජීවී සංරක්ෂණ ප්‍රතිපත්තියට අනුව ජෛව විවිධත්ව සංරක්ෂණය හා වනජීවී කළමනාකරණය සඳහා වන ප්‍රතිපත්තිමය කරුණු සඳහන් වන අතර වනජීවීන් වාණිජ පරමාර්ථ මත යොදා ගැනීම පිළිබඳ ව සඳහන් නොවේ. ඒ අනුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ ජාතික වනජීවී සංරක්ෂණ ප්‍රතිපත්තිය ද උල්ලංඝනය කරමිනි.

නීති විරෝධී ගැසට් නිවේදනයක්

2021 අංක 1 දරන නියෝගවල තුන්වන කොටස යටතේ ඓතිහාසික, සංස්කෘතික පෙරහැර සඳහා හීලෑ අලි ලබා ගැනීම ලෙස දැක්වේ. මීට ප්‍රථම 1991 නියෝගවල මේ ආකාරයෙන් අලි ඇතුන් ලබා ගැනීමක් පිළිබඳ ව සඳහන් කර නොමැත. අලුත් නියෝග මාලාවේ සඳහන් වන්නේ ඓතිහාසික, සංස්කෘතික පෙරහැර සංවිධානය කරනු ලබන යම් විහාරස්ථානයක් හෝ දේවාලයක් සඳහා හීලෑ අලි ලබා ගැනීමට ඉල්ලුම්පතක් හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානය වෙත යොමු කර එය නිර්දේශ කර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත යොමු කර ඔහුගේ නිර්දේශ මත විෂය භාර අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතියට යටත් ව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ සිටින හීලෑ අලියකු නිදහස් කර ගත හැකි බව ය. මෙය නියෝග මාලාවේ තුන්වන කොටසේ තුන්වන වගන්තිය ලෙස දක්වා ඇති අතර එම වගන්තියේ “අධ්‍යක්ෂ ජනරාල්වරයා”ලෙස සඳහන් අසම්පූර්ණ කොටසක් ද වෙයි. එය ගැසට් නිවේදනයේ මුද්‍රණ දෝෂයක් ලෙස පෙනී යන නමුත් එහි අර්ථය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යන්න අඟවන අතර ඔහු භාරයේ සිටින අලි ඇතුන් ද මෙසේ නිදහස් කළ හැකි බව පෙනී යයි.

මේ සියලු ක්‍රියාවලිය ම නීති විරෝධී වේ. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 22 හා 23 වගන්ති දෙක යටතේ උප වගන්ති 22 ක් මගින් අලි ඇතුන් ලියාපදිංචි කිරීම පිළිබඳ ව හා නීති විරෝධී ව අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමට අදාළ වැරදි හා දණ්ඩනයන් පිළිබඳ ව දීර්ඝ ව සඳහන් කර තිබේ. ඒ අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් භාරයේ සිටින පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් හා දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සියලූ ම අලි ඇතුන් ලියාපදිංචි කළ යුතු ය. ඒ සියලු ම බලතල ක්‍රියාත්මක කිරීම අදාළ ආඥාපනතට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇත. නමුත් හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයට, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට හෝ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාහිර පුද්ගලයින්ට අලි ඇතුන් නිදහස් කිරීමට නිර්දේශ කිරීමේ හෝ නිදහස් කිරීමේ බලය ලබා දී ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ කුමන වගන්තිය යටතේ දැයි අපට ඇති ප්‍රධාන ගැටළුවකි. පනතේ නොමැති බලතල භාවිත කිරීමට හෝ ක්‍රියාවේ යෙදවීමට ගැසට් නිවේදනයක් මගින් වෙනත් ආයතනයකට බලය පැවරීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට කිසිදු හැකියාවක් නොමැත.

මෙම ආඥාපනතේ 22අ සහ 71 වගන්ති යටතේ විෂය භාර අමාත්‍යවරයාට හැකියාව ඇත්තේ අලි ඇතුන් ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා නියෝග සැකැසීමට පමණි. මෙම පනතේ බලතල වෙනත් ආයතනයකට පැවරීමේ බලය අමාත්‍යවරයාට නොමැත. ඒ අනුව මෙම ගැසට් නිවේදනය නීති විරෝධී ගැසට් නිවේදනයකි.

අලි අනාථාගාරයෙන් හා ඇත් අතුරු සෙවණින් අලි ජාවාරමකට සැරසෙයි

2021 අංක 1 දරන නියෝග මාලාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් අලි ඇතුන් නිදහස් කර ගැනීමේ මෙම නීති විරෝධී ක්‍රියාපටිපාටිය දක්වා ඇත්තේ පින්නවල අලි අනාථාගාරයෙන් සහ උඩවලව හා රිටිගල ඇත් අතුරු සෙවණින් අලි ඇතුන් ලබා ගැනීමේ පරමාර්ථය මත ය. 1975 පෙබරවාරි 16 වන දින පිහිටුවන ලද පින්නවල අලි අනාථාගාරය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයේ පාලනය වේ. එය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වූයේ ආබාධිත තත්ත්වයට පත් වන අලි ඇතුන් ස්වාභාවික පරිසරයෙන් පරිභාහිර ව රැක බලා ගැනීමයි. නමුත් පසුකාලීන ව එහි අලි පැටවුන් බෝවීම හොදින් සිදු වූ අතර 1985 බිහි වූ පළමු අලි පැටවාගේ සිට මේ දක්වා අලි පැටවුන් 69 ක් පමණ අලි අනාථාගාරයේ උපත ලබා ඇත. එම සතුන් පෙරහැර ඇතුළු ව සංස්කෘතික කටයුතු සඳහා යෙදවීමට විහාරස්ථාන හා දේවාලවලට ලබා දී ඇති අතර සතුන් කිහිපදෙනෙකු විදෙස් සත්වෝද්‍යානවලට ලබා දී තිබේ. මෑත ඉතිහාසයේ දී පින්නවල අලි අනාථාගාරයේ දුර්වල පරිපාලනයේ ප්‍රතිඵලයක් ලෙස අලි පැටවුන් බෝවීම අඩාල වූ අතර එම ස්ථානයේ සංචාරක ආකර්ශනය වැඩි කර ගැනීම සඳහා රිටිගල ඇත් අතුරු සෙවණින් කිරි බොන වයසේ පසු වන කුඩා අලි පැටවුන් රැගෙන ඒම සිදු කරන ලදී.

ඇත් අතුරු සෙවණ උඩවලව හා රිටිගල පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ මව් ඇතින්නියන්ගේ රැකවරණය අහිමි වන කුඩා අලි පැටවුන් තාවකාලික ව රැක බලා ගෙන පුනරුත්තාපනය කර කැලයට මුදා හැරීමය. 2006 ජාතික වනඅලි කළමනාකරණ ප්‍රතිපත්තියේ ද මේ පිළිබඳ ව සඳහන් වේ. නමුත් එම තත්ත්වය උල්ලංඝනය කරමින් පසුගිය කාලය පුරා ම කැලයට මුදාහැරීමට නියමිත අලි පැටවුන් පින්නවලට වරින් වර රැගෙන ඒම සිදු කර තිබේ.

අලුතින් සකස් කළ නියෝග මාලාව භාවිතා කර ඓතිහාසික, සංස්කෘතික පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීම යැයි සඳහන් කරමින් ඉල්ලීම් ඉදිරිපත් කර පින්නවල අලි අනාථාගාරයෙන් හා ඇත් අතුරු සෙවණින් අලි අනාථාගාරය හරහා අලි ලබා ගෙන කොටන් ඇදීමට හා සංචාරක කටයුතු සඳහා අලි ඇතුන් යොදා ගැනීම ජාවාරමක් වශයෙන් සිදු වනු ඇත. මෙම නියෝග මාලාවේ මෙසේ ලබා ගන්නා අලි ඇතුන් නැවත භාර දීම පිළිබඳ ව හෝ වෙනත් කාර්යයන් සඳහා යෙදවිය නොහැකි බව සඳහන් නොවේ. ඒ අනුව ඉතා ම පැහැදිලි වන්නේ අලි ඇතුන් ජාවාරමක් සඳහා මෙම නියෝග මාලාව සකස් කර ඇති බවත් එම නියෝග මාලාවෙන් හීලෑ අලි ඇතුන්ගේ සුබ සාධනය ප්‍රධාන අරමුණ කර ගෙන නොමැති බවත් ය. මේ සියල්ල සිදු කර ඇත්තේ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයෙන් හා අලි ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවන් මත පදනම් ව බව ඉතා ම හොදින් පැහැදිලි වේ.

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් නැවත ජාවාරම්කරුවන්ට ලබා දීමට සැරසේ

2000 වසරේ දී ආරම්භ වූ කැලයෙන් අලි පැටවුන් ඇල්ලීමේ ජාවාරම 2010 හා 2014 වසරවල රාජ්‍ය අනුග්‍රහය යටතේ වර්ධනීය තත්ත්වයකට පරිවර්තනය විය. 2007 වසරේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට වැටලීම් අංශයේ ප්‍රධානියා වූ උපාලි පද්මසිරි මහතා විසින් කැලෙන් අල්ලාගෙන රදවා සිටින අලි පැටවුන් 17 ක් පිළිබඳ ව වාර්තාවක් සකස් කර එවකට හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද විජේසූරිය මහතාට ලබා දී තිබේ. එම වාර්තාව එවකට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඔහු විසින් එක් අලි පැටවකු ඇල්ලීම සඳහා වනජීවී වැටලීම් අංශයේ ප්‍රධානියා යොමු කර ඇති අතර ඉන් පසු ව භික්ෂූන්වහන්සේලා හා වෙනත් පුද්ගලයන් සතු ව නීති විරෝධීව රදවාගෙන සිටින අලි පැටවුන්ට නීති විරෝධී බලපත්‍ර සැකසීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව 2014 වසර වන විට අලි පැටවුන් ජාවාරම උච්චතම අවස්ථාවට පත් විය. ඉන් පසු ව පරිසර සංවිධාන විසින් සිදු කළ දැඩි බලපෑම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අලි පැටවුන් 38 ක් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලීන් ආරම්භ කරන ලදී.

එම අධිකරණ ක්‍රියාවලීන් නීති විරෝධීව පාලනය කිරීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. 2021 මාර්තු මස 12 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශ අංක MBRCA/01/07/2021/CP/06 යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ආර්.එස්.සී.බී. රත්නායක මහතා විසින් ඒකාබද්ධ කැබිනට් සංදේශයක් “අධිකරණ ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු සිදු කරමින් පවතින හීලෑ අලි ඇතුන් සම්බන්ධ ව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා සන්තකය පැවරීම”නමින් ඉදිරිපත් කර තිබේ.

එම කැබිනට් සංදේශයේ දැනට බලපත්‍ර ලබා දී ඇති හා නොමැති හීලෑ අලි ඇතුන් නැවත විධිමත් පරිදි ලියාපදිංචි කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයාට පැවරීමට හා දැනට නීතිමය කටයුතු සිදු කරමින් පවතින හීලෑ අලි ඇතුන් සම්බන්ධ ව සියලූ ම නඩු කටයුතු ඉල්ලා අස්කර ගැනීම සිදු කර මෙම සතුන් සන්තකය පවරනු ලබන කොන්දේසිවලට යටත් ව දැනට හිමිකාරීත්වය දරන පුද්ගලයන් වෙත ලබා දීමට අනුමැතිය ඉල්ලා තිබේ. නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම බිඳ දමමින් කටයුතු කිරීමට මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත්තේ අලි ජාවාරම්කරුවන් හා හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ දැඩි බලපෑම මත බව ඉතා ම හොදින් තහවුරු වේ.

අලි පැටවුන් ජාවාරම සඳහා පැරණි අලි ඇතුන් ලියාපදිංචිය අභියෝගයට ලක් කිරීම

2021 මාර්තු මස 12 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කර ඇති අලි පැටවුන් 38 දෙනා අලි ජාවාරම්කරුවන් වෙත නැවත ලබා දීම සඳහා 1991 මැයි මස 14 වන දින අංක 662/4 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 1991 දළ ඇතුන් හා ඇතුන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා බලපත්‍ර දීමේ නියෝග අභියෝගයට ලක් කර ඇත. ඒ සඳහා ඉදිරිපත් කර ඇති කරුණ වන්නේ එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොමැති බව ය.

නමුත් 2021 අගෝස්තු මස 19 වන දින අංක 2241/41 දරන ගැසට් නිවේදනයේ ද 1991 වසරේ ප්‍රකාශිත නියෝග නීත්‍යානුකූල බවට පිළිගෙන ඇත. එපමණක් නොව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 22අ(1) උප වගන්තියට අනුව ලියාපදිංචි කර ඇත්නම් පමණක් අලියකු හෝ ඇතෙකු අයිතිව සිටීම, තම භාරයේ තබා ගැනීම හෝ ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇත.

පනතේ 22අ(7) උප වගන්තියට අනුව ලියාපදිංචි බලපත්‍රයක් නොමැතිව අලියකු හෝ ඇතෙකු සන්තකයේ තබා ගැනීම වරදක් වන අතර එවන් වරදකට වරදකරුවකු කරනු ලබන පුද්ගලයකු රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාරගත කිරීමට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. පනතේ 67ආ1 උප වගන්තියට අනුව මෙම වරදක් සිදු කරන පුද්ගලයකු ව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි ය. නැතහොත් එය සංඥ්ය වරදක් වේ. පනතේ 22අ(12) උප වගන්තියට අනුව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැති අලියෙක් හෝ ඇතෙකු පොදු දේපලක් වන අතර 1982 අංක 12 දරන පොදු දේපලවලට එරෙහිව වූ වැරදි පනතේ විධිවිධානවලට යටත් වේ. ඒ අනුව 1991 වසරේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු අනුමැතියකින් තොර ව ප්‍රකාශයට පත් කර තිබුණ ද අලින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට එය බාධාවක් නොවේ.

අලුත් නියෝග මාලාවෙන් හීලෑ අලි ප්‍රශ්නයට විසඳුම් ලබා දී තිබේ ද?

මෙම නීති විරෝධී කැබිනට් සංදේශය ඉදිරිපත් කිරීම හා නීති විරෝධී ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීමට ප්‍රධාන හේතුව අලි ඇතුන් ජාවාරමේ නිරත කණ්ඩායම්වල අවශ්‍යතාවයන් ඉටු කිරීමයි. ඔවුන් මේ වන විට ආණ්ඩුවේ ප්‍රභලයින් වෙත විවිධ ආකාරයෙන් බලපෑම් කරමින් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සාහ දරමින් සිටී. ඒ තුළින් ආණ්ඩුවේ කීර්තිනාමය විනාශ වීම, නීතියේ ආධිපත්‍යය බිඳ දමන හා අධිකරණයේ ස්වාධීනත්වය අහිමි කරන ආණ්ඩුවක් ලෙස අවමානයට පාත්‍ර වීම පිළිබඳ ව ඔවුන්ට ගැටළුවක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම අභිමතාර්ත ඉටු කර ගැනීමයි.

මෙම අලි ඇතුන් ජාවාරම මේ ආකාරයෙන් සිදු කිරීමට නීත්‍යානුකූල ක්‍රමවේදයක් සැකසීම මගින් සිදු වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියට ලක් වීම ය. පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන්ගෙන් විශාල ප්‍රමාණයක් විදේශිකයින් හා විදේශීය සංවිධාන විසින් කැපකරුවන් ලෙස සම්පූර්ණයෙන් නඩත්තු කිරීම සිදු කරනු ලැබේ. ඒ මගින් විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබෙන අතර එම සතුන්ගේ සුබ සාධනය ශක්තිමත් කිරීම තුළින් විශාල සංචාරක ආකර්ශනයක් ද ලබා ගත හැකි ය. නමුත් මේ ගැසට් නිවේදනය මගින් ඒ සියල්ල අහිමි වී යයි. පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ගේ කැපකරුවන් ලෙස ක්‍රියා කරන විදේශිකයන් හා විදේශීය සංවිධාන මේ සමඟ ම ඉවත් වී යනු ඇත. ඔවුන්ගේ කැපවීම තුළින් පෝෂණය වන අලි ඇතුන්ට නිදහසේ ජීවත් වීම වෙනුවට එම සතුන් ව සංචාරක කර්මාන්ත හා කොටන් ඇදීම වැනි ක්‍රියා සඳහා යොදා ගැනීම ඔවුන් කිසි විටක අනුමත නොකරනු ඇත. මේ පිළිබඳ ව අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය.

අද වන විට පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟ වීමට ප්‍රධාන හේතුව අලි ඇතුන් හොර දැව ජාවාරම සඳහා යොදා ගැනීම හා සංචාරක කටයුතුවල යෙදවීමය. සංචාරක කටයුතුවල යොදවන අලි ඇතුන්ගෙන් විශාල ආදායමක් ලැබෙන බැවින් එම සතුන් පෙරහැර සඳහා යෙදවීම වෙනුවට සංචාරක කටයුතු සඳහා යෙදවීමට වැඩි උත්සාහයක් ගනී. මේ නිසා පෙරහැර සඳහා අලි ඇතුන් හිඟ බවට හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය නිතර ප්‍රකාශ නිකුත් කරති. මීට අමතර ව නීති විරෝධී දැව ජාවාරම සඳහා බහුල ව අලි ඇතුන් යොදා ගන්නා අතර එම සතුන් අධික වෙහෙස හා වෙනත් සතුන් හා එක් වීමට දක්වන අකමැත්ත නිසා පෙරහැර සඳහා යොදා ගැනීමට අපහසු වේ. මේ සඳහා උදාහරණ බොහොමයක් ඇති අතර රත්නපුර සමන් දේවාලයේ අලින් දෙදෙනා ඊට හොඳම උදාහරණයකි. මේ නිසා ඇති ව තිබෙන පෙරහැර සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය පියවා ගැනීමට උත්සාහ දරන්නේ අලි ඇතුන් ජාවාරමට නීත්‍යනුකූල ස්වරූපයක් ලබා දීමෙනි.

ස්වාභාවික පරිසරයෙන් අලි පැටවුන් අල්ලා ගැනීමේ ජාවාරම අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ස්වාභාවික අලි ඇතුන්ගේ ගහනයේ පැවැත්මට හානි කර බලපෑම් ඇති වේ. එය මැඩපැවැත්වීමට නීති ක්‍රියාත්මක කිරීම වෙනුවට එම ක්‍රියාවලීන් සිදු කළ පුද්ගලයන්ට නීත්‍යනුකූලව ම එම සතුන් පැවරීමට ක්‍රියාමාර්ග ගැනීමෙන් සිදු වන්නේ වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ තුළින් තවදුරටත් අලි පැටවුන් ජාවාරම වර්ධනය විය හැකි අතර මෙම වැරදි පූර්වාදර්ශ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන් හා අධිකරණය දැඩි අපහසුතාවයකට පත් වනු ඇත.

ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම උදෙසා නීති අණ පනත් සංශෝධනය කිරීම වෙනුවට දැනට පෞද්ගලික අංශය සතු ව සිටින හීලෑ අලි ඇතුන්ගේ සුබ සාධනය ශක්තිමත් කිරීම හා එම සතුන්ගේ ගහනය වර්ධනය කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම මෙන් ම පින්නලව අලි අනාථාගාරය පිහිටුවීමේ අරමුණු මත පදනම් ව එහි ක්‍රියාකාරීත්වය අඛණ්ඩව සිදු කළ යුතු අතර ලාභ ලැබීමේ පරමාර්ථයෙන් සිදු කරන සියලු අනර්ථකාරී ක්‍රියා නතර කිරීමට කටයුතු කළ යුතු ය.

එපමණක් නොව මෙම ගැසට් නිවේදනය හා කැබිනට් මණ්ඩල සංදේශය ඉවත් කර ඒ වෙනුවට හීලෑ අලි ඇතුන්ගේ සැබෑ සුබ සාධනයක් ඇති කරන නියෝග මාලාවක් සැකසීම හා අලි පැටවුන් ජාවාරම මැඩලීමට නීති ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කර එම සතුන් නැවත ස්වාභාවික පරිසරයට මුදා හැරීමේ ක්‍රමවත් සැලැසුමක් නව තාක්ෂණික දැනුම මත පදනම් ව සකස් කර ක්‍රියාවට නැංවිය යුතු ය. ඊට සමගාමී ව ස්වාභාවික වනාන්තර පද්ධති හා තෘණ භූමි ජාල ගත කිරීම හා ඒවායේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කර අලි මිනිස් ගැටුම පාලනය කිරීමට ද ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒ තුළින් ගෝඨාභය රට නංවන සෞභාග්‍යයේ දැක්මේ තිරසර පරිසර ප්‍රතිපත්තියක් කොටසේ දැක්වෙන ලෙස හඬක් නැගිය නොහැකි කොට්ඨාශ වන සතුන්ගේ ජීවත් වීමේ අයිතිය හා භූමියට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතු ය.

lankacnews

No comments

Ads Place