Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගොවියෙක් මරා බලය ගන්න කුමන්ත්‍රණයක්…

  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය...

 


කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. යල කන්නයේ වී මිලදී ගැනීම, සහල් මිල පාලනයට රජය ගන්නා ක්‍රියාමාර්ග හා පවතින පොහොර ගැටළු පිළිබඳව මෙහිදී අමාත්‍යවරුන් රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කළා. රජයේ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කිරීමේදී මෙතෙක් පැවති රු. 2500ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීම ඇතුළු පාරිභෝගිකයා ආරක්ෂා කරන සංශෝධන 75කට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එම සංශෝධන කඩිනමින් සියලු මහජන නියෝජිතයන්ගේ සහායෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කරන බවද මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන් ප්‍රකාශ කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා

“ යල කන්නයේ හෙක්ටයාර ලක්ෂ 05ක් වී වගා කරලා තියෙනවා. අපි අපේක්ෂා කරනවා වී මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක අස්වැන්නක්. යල කන්නයේ වී මිලදී ගැනීම හෙට සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල දිවයින පුරා ආරම්භ කරනවා. වියළි නාඩු රු.50, වියළි සම්බා රු.52, තෙත වී රු.44 සහතික මිලට සියලු වී මිලට ගන්න රජය සූදානම්. සිංහල අලුත් අවුරුද්දේ සිට මාස 03ක් අපි රජයේ සහතික මිලට ගන්න වී සහල් කරලා පාරිභෝගිකයාට සාධාරණ මිලට සතොස, සමුපකාර හා සුපිරි වෙළඳසැල් සියල්ලෙන් ලබා දුන්නා. යල කන්නයේ වී මිලදී ගැනීමෙන් පසු වෙළඳ අමාත්‍යාංශය හා ඒකාබද්ධව අපි සහල් ජනතාවට ලබා දෙනවා. ගොවියාට සහතික මිලක්, පාරිභෝගිකයාට සාධාරණ මිලක් අපේ ප්‍රතිපත්තිය. සමහර වෙළෙන්දෝ කීරි සම්බා රු.80ට අරන් සහල් කිලෝ 01ක් රු.225ට විකුණනවා. අධික ලාභ ලබනවා. ජනතාව හුරාගෙන කනවා.ඒ සඳහා නව නීති පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ගෙනල්ලා තියෙන්නේ. රු.2500ක් වන දඩය රු. ලක්ෂය දක්වා වැඩි කරනවා. වාර්ෂිකව මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 08ක්, යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 05ක් අපේ රටේ වී වගා කරනවා. සමස්ත අස්වැන්න පරිභෝජනයට වඩා අතිරික්තයක් දක්වා තියෙනවා. සහල් හංගන නිසා හිඟය එන්නේ. අඩු මිලට වී අරගෙන වැඩි මිලට සහල් විකුණන මාෆියාව රටේ මිනිස්සුන්ට බත් ටිකක් කන්න දෙන්නේ නෑ.

මුදලාලිට ඕන විදිහට සහල් මිල පාලනය වෙන්න රජයක් ඕන වෙන්නේ නෑ.ඒ නිසා අපි සහල් මුදලාලිට ඕන විදිහට නෙවෙයි පාරිභෝගිකයාට සාධාරණ වෙන විදිහට දඩ මුදල වැඩි කරන්න සෘජු තීරණයක් ගන්න අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පියවර අරන් තියෙනවා.

ඒක ජනතාව ලැබූ ජයක්. කාබනික පොහොර එපා රසායනික පොහොර ඕන කියලා අද උද්ඝෝෂණ කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයයි, ජේවීපී එකයි. ඒගොල්ලෝ කියන්නේ ගොවියාට වස දෙන්න කියලා. රටින් සහල් ගෙනල්ලා මිල පාලනය කරන්න එපා. සහල් මාෆියාවට ඕන විදිහට මිල වැඩි කරන්න කියලා නාමල් කරුණාරත්න මහත්තයා ඉල්ලන්නේ. ජේවීපී එක ඉන්නේ ජනතාව පැත්තේද බහු ජාතික සමාගම් සහ සහල් ව්‍යාපාරිකයන් වෙනුවෙන් ද කියලා ජනතාව තීන්දු කරයි. 5%ක පොහොර හිඟයක් ප්‍රදේශ කිහිපයක තියෙනවා. ඒ ප්‍රශ්නත් විසඳමින් යන්නේ. යල කන්නයේ සහනාධාර පොහොර බෙදාදීම 100%ක් අවසන්. එළවළු වගාවන් සඳහා අවශ්‍ය පොහොර රාජ්‍ය පොහොර සමාගම් සතුයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා බෙදා හැරීම සිදු වෙනවා. සියල්ල කරද්දී විපක්ෂය ගොවියෝ පොහොර දියව් කිය කියා පාරේ උද්ඝෝෂණවලට ගෙන්වනවා. උද්ඝෝෂණවලට ගොවියෝ අරගෙන ඇවිත් ගොවියෙක් මරලා බලයට එන්න පුළුවන්ද කියලා මේ බලන්නේ. රටේ ජාතික වෙනස්කම් කරන හැම මොහොතකම ජේවීපී, යූඇන්පීය ජනතාව මේ විදිහට නොමඟ යවලා තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිනි තියපු ජේවීපිය අද ඒවා ඉදිරිපිට උද්ඝෝෂණ කරනවා. පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් තැබූ පියවර පස්සට ගන්න රජය සූදානම් නැහැ. ගොවියෝ රසායනික පොහොර ඉල්ලන්නේ නෑ. ඔවුන් ඉල්ලන්නේ පොහොර. ඔවුන්ට අවශ්‍ය සියලු කාබනික පොහොර, ඒ සඳහා අවශ්‍ය මුදල්, සහනාධාර, දැනුම, තාක්ෂණය රජය නියමිත පරිදි දෙනවා. නිවැරදි දිනට දෙනවා. බොරු බිල්ලෙක් මවන්න හදනවා ජේවීපී හා සමගි ජන බලවේගය.රැවටෙන්න එපා. ගොවියන්ගේ වගකීම රජය භාර ගන්නවා.”

පාරිභෝගික කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

“ ජීවිත අරගලය කරන දුප්පත් මිනිස්සුන්ට සහල් අත්‍යවශ්‍ය දෙයක්. ඉතිහාසය පුරාම ඒ සාධාරනය ඉටු වුණේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ලැබුණු සහල් ගිය සතිය වනතුරු සාධාරණ මිලට මෙවර අපි ලබා දුන්නා. මාස 03ක් අපි ලබාදුන්නා. සමුපකාරය සතු වී තොග සහල් කොට හෙට සිට සතොස හා සමුපකාර වෙළඳසැල් හරහා සාධාරණ මිලට ලබා දෙනවා. අපි සාධාරණ මිලට අලෙවි කළාට සමහර වෙළඳසැල් සහල් රු.130ට විකුණන්නේ. වැඩි මිලට බඩු විකිණීමට එරෙහිව නඩු දහස් ගණනක් දාලා තියෙනවා. රු.2500ක දඩය සහල් ව්‍යාපාරිකයෝම ගෙවලා දාලා වැඩි මිලට සහල් විකුණනවා. මේ නිසා පාරිභෝගික ආරක්ෂණ පනතට සංශොධන 75ක් එකතු කරන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. රජය මිල නියම කළ භාණ්ඩයක් වැඩි මිලට විකුණලා අහු වුණොත් දඩය රු.ලක්ෂයක් කිරීමත් ඒ සංශෝධනවලට ඇතුළත්. ඒ සංශෝධන ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයින්ගේ සහායෙන් සම්මත කරනවා.සහල් හිඟයට මුහුණ දීමට ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමටක් පියවර ගත්තා. වෙළඳ හා පාරිභෝගික කටයුතු, මුදල්, කෘෂිකර්ම, තාක්ෂණ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුවක් සහල් ආනයනය පිළිබඳ සොයා බලනවා. සහල් ගෙන්වීමේදී ඉතිහාසය පුරා විවිධ අක්‍රමිකතා සිදුව තියෙනවා. නඩු බර ගාණක් තියෙනවා. ඒ නිසා මගේ ආත්මය ඒ කුණු ගොඩට වට්ටගන්න මම සූදානම් නැහැ. ඒකයි රජයේ ඉහළම නිලධාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුවක් පත්කළේ. ඉතාම විනිවිද භාවයෙන් මේ ආනයන කටයුතු අපි කරන්නේ. ජාත්‍යන්තර තරඟකාරී මිලට අපි ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ සඳහා ඉල්ලුම්පත් ලබාගන්න ඩොලර් 500ක් ගෙවන්න ඕනේ. කැකුළු, නාඩු, සම්බා, කීරි සම්බා සියල්ලටම පාලන මිල නියම කරනවා. හිඟයකින් තොරව සාධාරණව සහල් ජනතාවට දෙන්න පාරිභෝගික කටයුතු හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගන්නවා.”

සුජිත් විතානපතිරණ
මාධ්‍ය ලේකම්

No comments

Ads Place