Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාව සිංගප්පූරුවට සමවෙලා..ලයිට් බිලෙන්

  විදුලි බල මණ්ඩලය  ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත මහජන මුදල් සූරාකෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි...

 



විදුලි බල මණ්ඩලය  ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත මහජන මුදල් සූරාකෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 2024 විසර්ජන පනත් කෙටුම්පත (අය වැය)  කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

රූපවාහිනී නාලිකා වල ප්‍රධාන සිරස්තලයක් බවට පත්වුණේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සියල්ලම පාහේ වාන් දාන තත්වයක් උදා වෙලා කියලා. ජලාශ පිරිලා ඉතිරිලා ගිහිල්ලා කියලා. ඔක්තෝම්බර් මාසයේ 20 දා විදුලි බිල වැඩි කරන්න හදනකොට අපි මේක කිව්වා. ජුනි, ජූලි මාසවල පෑව්ව බව ඇත්තයි. හැබැයි අගෝස්තු මැද ඉඳන් ඉතිහාසයේ නොවූ විරූ වැස්සක් වහිනවා. දැන් මේකෙන් ජලාශ පිරෙමින් පවතිනවා.  අර වෙච්ච පාඩුව මේ ලැබෙන වැස්සෙන් ආවරණය කරගන්න පුලුවන්. ඒ නිසා විදුලි බිල වැඩි කරන්න යන්න එපා කියලා අපි කිව්වා.

අපේ විදුලිබල අමාත්‍යතුමන් මාතර ඉන්න නිසාද මන්දා මෙන්න අපි ආවෝ කියලා වැස්ස කියාගෙන වැඩියෙන්ම වැස්සට යටවුණේ මාතර දිස්ත්‍රික්කයම තමයි.  හැබැයි අපේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නෑ විදුලි බිල වැඩි කරා. ඔක්තෝබර් මාසේ 20 ඉඳන් දැවැන්ත විදුලි බිල වැඩි කිරීමක් කරා. මොකක්ද මේ වන විට තත්වය ?  නොවැම්බර් 23 වෙනිදා ඒ කියන්නේ ඊයේ දවසේ විදුලි නිෂ්පාදන ප්‍රභවයන් දිහා බැලුවම සමස්ථ විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 42 ක්.  එකෙන් ගිගා වොට් පැය 27ක් ඒ කියන්නේ 64% ම නිපදවලා තියෙන්නෙ විදුලිබල මණ්ඩලයේ ජල විදුලි බලාගාර වලින්. සමස්ත පුනර්ජනීය ප්‍රභවයන්ගේ විදුලිබල නිෂ්පාදනයට ඊයේ දවසේ දායකත්වය 82% ක්. ගල් අගුරු වලින් 14% යි. තාප විදුලිබලාගාරවල දායකත්වය  3.6% යි.  විදුලිබල මණ්ඩලයේ ම දත්ත අනුව විදුලිබල මණ්ඩලයට තමන්ගේ බලාගාරවල ජලයෙන් විදුලි නිෂ්පාදනය කරන්න වැයවෙන්නේ රුපියල් 3.07යි.  බෙදාහැරීමේ වියදම්, පරිපාලන වියදම්, සම්ප්‍රේෂණයේ දී ඇති වෙන ණය නාස්තිය මේ සියල්ලම එකතුකරලා  රුපියල් 3.50 යි කියමු.  එහෙමනම්  3.50 ට හදාගත්ත විදුලිය කීයටද අපිට විකුණන්නේ.  අපේ පලවෙනි එක 60 වෙනකන් රුපියල් 38ක් අයකරනු ලබනවා.  60 -90 අතර රුපියල් 41ක් අයකරනවා.  සැබෑ පිරිවැය වගේ එකොළොස් ගුණයකට, දොළොස් ගුණයකට  තමයි විදුලිබල මණ්ඩලය විදුලි අපිට විකුනන්නේ.  කලුකඩේවත් එහෙම වෙන්නේ නෑනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි.  ගිනිපොලී කාරයෙක්වත් එකොලොස් ගුණයක් පොළිය ගන්නේ නෑනේ  වාර්ෂික පොලිය හදලා බලද්දි.  එහෙමනම් ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත සූරාකෑමක විදුලි බල මන්ඩලයේ යෙදිලා ඉන්නවා  කියන එක ඉතාම කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා.


විදුලිබල මණ්ඩලයේ ආකර්ෂණීය ශේෂ පත්‍රය


ඇයි මේ විදුලිබල මණ්ඩලය මෙහෙම කරන්නේ. ඇත්තෙන්ම විදුලිබල මණ්ඩලය සාධාරණ ලාභයක් ලබා ගැනීම මම එකඟයි. මං බලශක්ති ඇමතිවරයාව ඉදිද්දි පිරිවැය නිරූපිත මිලකට ඉන්ධන විකිණිය යුතුයි කියලා ලොකු අරගලයක් කලා. අන්තිමට ඇමතිකමක් ගහලා ගියා ඕනවට වඩා හැප්පෙන්න ගිය හින්දා. නමුත් මෙතන වෙන්නේ ඒක නෙමෙයි. අතීතයේ වෙච්ච පාඩු සියල්ලම අපේ දැන් විදුලි බිලෙන් කපාගන්න හදනවා. ඇයි ඒ ?  ශේෂ පත්‍රය ලස්සන කරගන්ඩ. ශේෂ පත්‍රය වඩාත් ආකර්ෂණීය කරගන්න. හැබැයි විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රයේ ආකර්ෂණය කරගන්න දරන මේ වෑයමෙන් රටේ ශේෂ පත්‍රයට මොකද වෙන්නේ ?


පාරිභෝගිකයන් ලක්ෂ 6ක් විසන්ධි කරලා.


මාධ්‍ය වාර්තා කරලා තිබුණු ආකාරයට අපේ විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 6ට බිල ගෙවාගන්න බැරුව මේ වන විට විසන්ධි කරලා. ඒ ඉලක්කම වැරදි නං අපේ විදුලිබල ඇමතිතුමාට පුළුවන් තමන්ගේ කතාවේදී මේ වෙන විට ලක්ෂ 68 පාරිභෝගිකයන්ගෙන් කොච්චර ප්‍රමාණයක්, කොච්චර ගණනක් විදුලි බිල ගෙවන්න බැරුව හිග තියලා තියෙනවද ? කොච්චර පාරිභෝගිකයන් ගණනකගේ විදුලිය විසන්ධි කරලා තියෙනවද ?  කියන මේ තොරතුරු මේ විවාදය තුළ දී රටේ ජනතාවට දැනගන්න අවස්ථාව ලබා දෙන්න. අපිට මතකයි ගිය අවුරුද්දේ පැය 13ක විදුලි අහිමි වුණු නිසා තමයි ජනතාව පාරට බැහැලා ආණ්ඩුව පෙරළන්න, ජනාධිපතිතුමා එලවන්ඩ කටයුතු කළේ. දැන් ජනතාවට පැය දහතුනක් නෙවෙයි ලක්ෂ 6කට පැය 24ම විදුලිය අහිමි වෙලා.


ඉදිරි මාස තුනේ දී මේක ලක්ෂ 18 වීමට නියමිතයි. බහුතර ජනතාවට පැය 24 ම විදුලිය නැති වුනොත් ජනතාව නැවත පාරට බසින එකක් නෑයි කියන්න කාටද පුළුවන්. රටේ හැමදාම අරගල නං හැමදාම ජනතාව ඉන්නේ අසහනයෙන් නම් ඒ රට හැදෙන්නේ කොහොම ද? ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ මේ විදුලිය කප්පාදුවට ඉස්සෙල්ලම ලක්ව ඇත්තේ කර්මාන්ත. ඒ අයට තමයි දැවැන්තම විදුලි බිල තියෙන්නෙ.


විදුලිබිලෙන් ලංකාව සිංගප්පූරුව සම කරයි


ඔබතුමා දන්නවා ඇතිනේ මේ වෙනවිට සිංගප්පූරුවේ කර්මාන්තවල විදුලි එකකයකට අය කරන මිලයි ලංකාව අයකරන මිල සමානයි. දැන් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වේගයෙන් කර්මාන්තශාලා වැහිලා යනවා විදුලි බිල ගෙවාගන්න බැරුව. විරැකියාව ඉහල යනවා. රස්සා නෑ. ජීවත් වෙන්න මගක් නැති උනාම මිනිස්සු සොරකම් කරන්න, දාමරිකකම් කරන්න පෙළඹිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අවුරුද්දේ සැප්තැම්බර් දක්වා අපේ අපනයන ආදායම ගත්තොත් ගිය අවුරුද්දට සාපේක්ෂව ඩොලර් බිලියන 1.7 කින් අඩු වෙලා. අපේ අපනයන ආදායම ඇදගෙන වැටෙන්න ප්‍රධානම හේතුව කර්මාන්ත නිෂ්පාදන අපනයනය, ඇඟලුම් ක්ෂේත්‍රයේ බිඳවැටීම. ඇයි විදුලි බිල ගෙවාගන්න බැරි නිසා අපේ කර්මාන්ත අරගෙන ආයෝජකයෝ ඊට වඩා විදුලිය ලාබ වෙනත් රටවල් කරා ගමන් කරනවා.


කර්මාන්ත වැසෙනවා නම්, අපනයන ආදායම කඩන් වැටෙනවා නම්, විරැකියාව වැඩි වෙනවා නම්,මුළු රටම අඳුරෙන් අඳුරට යවලා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍රය විතරක් ලස්සන කර ගැනීමේ ඇති පලය කිම. මේ රට වැටෙ විට විදුලිබල මණ්ඩලය විතරක් ගොඩ යන්ඩ විදිහක් නෑ. රට වැටෙන විට මණ්ඩලයත් වැටෙනවා කියන එක සිහිපත් කරන්න ඕනෑ. විදුලිබල මණ්ඩලය තමන්ගේ පිරිවැය ලබා ගන්න එකට අපි සම්පූර්ණයෙන් ම එකඟයි. නමුත් අතීතයේ පාඩු කපා ගන්ට ගිහින් මුළු රටම වලක් ඇතුලට කපා දාන්න එපා කියන ඉල්ලීම අපි විදුලිබල මණ්ඩලයට කරනවා.


මම නැති අවස්ථාවේ කබීර් හසීම් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්  විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් සංස්ථාවට අයිති ටැංකි අළුත්වැඩියා කරන්නත් ඉන්දියාවේ අයි ඕ සී  සමාගමෙන් අවසර ගන්න ඕනි වගේ ප්‍රකාශයක් කළා කියලා තුන්වෙනි පාර්ශ්වයකින් මට දැනගන්න ලැබුණා.  ඇමතිතුමාගෙනුත් මොක්කද  වුනේ කියලා අහලා තමයි මම මේ උත්තරේ දෙන්නේ.  ඒ ගිවිසුමේ 1.8 වගන්තිය කියනවා එල් අයි ඕසී එකයි තෙල් සංස්ථාවයි  එකතුවෙලා  හදන ව්‍යාපාරයට තරගකාරී ව්‍යාපාර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල  වසර දහයක් යනතුරු ආරම්භ නොකරන බවටත් එහෙම කරනවා නම් ඒක තෙල් සංස්ථාවතේ  එල් අයි ඕ සී  සමාගමේත්  හවුල් ව්‍යාපාරයේ  එකගතාවය මත කලයුතු බවටත් සඳහන් වෙනවා. හැබැයි 1.9 වගන්තියේ එල්අයිඕසී එකටවත්, තෙල් සංස්ථාවටවත් තෙල් සංස්ථාව සහ  එල්අයිඕසී එක්ව හදන හවුල් ව්‍යාපාරයටවත් මෙය  අදාල නැතැයි  ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා.


එම නිසා තෙල් සංස්ථාවට එවැනි ව්‍යාපාරයක් කරන්න එල්අයිඕසී එකෙන් අවසර ගැනීමට මේ ගිවිසුම අනුව කිසිම අවශ්‍යතාවයක් නෑ කියන එක අවධාරණය කරන්න අවශ්‍යයි.


– Media unit

No comments

Ads Place