සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබේ. විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ අද (08) අලුයම 03 සිට පළමු ...
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම ආරම්භ කර තිබේ.
විදුලිබල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ අද (08) අලුයම 03 සිට පළමු වටයේ දින තුනක් සඳහා ජලය මුදාහරින බවය.
දිනකට කියුබික් මීටර් මිලියන 3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
වසර 20 කට පසු මහවැලි වලව කලාපයට බලපෑ දරුණුතම වියළි කාලගුණයත් සමඟ උඩවලව ජලාශයේ ජලය සිඳීයාමෙන් ඇති වූ අර්බුදකාරි තත්ත්වය මේ වනවිට තවත් තීව්‍ර වී තිබේ.
අක්කර අඩි 217,800ක සමස්ත ජල ධාරිතාවක් දැරිය හැකි උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාවය ඊයේ (07) උදෑසන වන විට අක්කර අඩි 956 දක්වා පහළ බැස තිබුණි.
එය ප්‍රතිශතයක් ලෙස ගත් කල ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් 0.45%ක අගයකි.
සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකදී තත්ත්පරයට අක්කර අඩි 3,200ක ජල ධාරිතාවයක් ගොවිතැන් කටයුතු සඳහා මුදාහරින උඩවලව ජලාශයෙන් පෙරේදා දිනයේ මුදාහැර තිබුණේ අක්කර අඩි 934ක ජල ධාරිතාවක් පමණය.
ඒ අනුව දකුණු ඇළෙන් අක්කර අඩි 521ක ජල ප්‍රමාණයකුත්, වම් ඇළෙන් අක්කර අඩි 413ක ජල ප්‍රමාණයකුත් ගොවිබිම් කරා ගලාගොස් තිබුණි.
පෙරේදා දිනය තුළ සමනල වැවෙන් සහ වේලි ඔයෙන් ගලා ආ අක්කර අඩි 545ක ජල ධාරිතාවයක් උඩවලව ජලාශයට එකතු වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි.
එම අධිකාරියේ තොරතුරුවලට අනුව,මේ වනවිට වාර්තා වී ඇත්තේ මෑත ඉතිහාසයේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම පහළ බැසි අඩුම මට්ටමය.
No comments