ජනතාවට පසුගිය සමය තුළ මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ...
ජනතාවට පසුගිය සමය තුළ මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ සංවත්සර උත්සවයට එක්වෙමින් සදහන් කරයි.
රටේ ආර්ථික ගැටලුවලට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් විසඳුම් හිමි නොවන බවත් නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළ යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
තවදුරටත් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන ලංකාව නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
රටේ සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,
“මෙම අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම එයට හොද උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාර ගන්න පෝලිමේ එනවා. නමුත් ඒ අවස්ථාවේ කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.
එවැනි පසුබිමක මම ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා.
අප ගනු ලැබූ තීන්දු තිරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.
මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.
අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.
ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රායෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”
No comments