ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ...
ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.
කොන්ක්‍රීට් ආවරණ තුළ තිබූ තඹ කම්බි ගලවා ඇත්තේ කෝන්ක්‍රීට් ආවරණ රාත්‍රි කාලයේ හොර රහසේ කඩා දමමින් බවද අනාවරණය වී තිබේ. දැනට අනාවරණය වී ඇත්තේ රුපියල් මිලියන 286 (කෝටි 28) ක පමණ අලාභයකි.
මීට අමතරව මත් කුඩු බොන පුද්ගලයන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ අධි විදුලි ධාරාවන් සහිත විදුලි රැහැන් පවා කපාගෙන ගොස් ඇතැයිද ඒ හේතුවෙන් අධිවේගි මාර්ගයේ රාත්‍රියට විදුලි පහන් දැල්වීමට නොහැකි තත්ත්වයක් ඇති බවද අනාවරණය වී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (11) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී මේ බව අනාවරණය වී ඇත.
මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද මේ සම්බන්ධව සියලු වාර්තා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකර තිබේ.
පොළවේ සිට සම්බන්ධ වන තඹ කේබල් කපාගෙන යාමෙන් නව කැලණි පාලම අනතුරක ඇතැයි තමාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳව ආන්ශික කාරක සභාවේදී හෙළි වූ බවත් ඒ අනුව වහාම ආරක්ෂාව තහවුරු කරන්නැයි වගකිවයුතු අංශවලට යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර අරුණ කළ විමසුමකදී පැවැසීය.
මෙම ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් කරන්නැයි ඔහු යෝජනා කර තිබේ. මෙම තත්ත්වය මත නව කැලණි පාලම හා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රක්නා ලංකා සමාගම වෙත පැවරීමට අවධානය යොමුකර ඇත. කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයේ විදුලි රැහැන්වලට අමතරව ආරක්ෂිත දැල් පවා කපාගෙන ගොස් යකඩවලට විකුණා ඇතැයි හෙළිවී තිබේ. කල්‍යාණි රන් පිවිසුම නව කැලණි පාලම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 නොවැම්බර් 24 දා විවෘත කර ඇත.
No comments