Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙලනි හා චේස්: ආබාධිත කාන්තාවක ඇගේ පළමු ලිංගික අත්දැකීම ලැබූ හැටි - BBC සිංහල

  මෙලනි, කොවිඩ්-19 නිසාවෙන් ඕස්ට්‍රේලියාවේ ඇගේ නිවසේ දී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සිටින විට ඇය තමාටම පොරොන්දුවක් වූවා ය. ඇයට පිටතට යාමට...

 



මෙලනි, කොවිඩ්-19 නිසාවෙන් ඕස්ට්‍රේලියාවේ ඇගේ නිවසේ දී සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සිටින විට ඇය තමාටම පොරොන්දුවක් වූවා ය. ඇයට පිටතට යාමට අවසර ලැබුණු වහාම ඇය 'එස්කෝට්' කෙනෙකු (මුදල් ලබා ගෙන ලිංගික සේවා අවශ්‍යතා සපයන සැපයුම්කරුවෙකු) කුලියට ගන්නාබවත්, කන්‍යාභාවය අහිමිකර ගන්නා බවත්, ආබාධිත පුද්ගලයෙකු වශයෙන් ඇය ප්‍රේමය හා ඉතා කිට්ටු ආශ්‍රයක් පවත්වාගැනීම සම්බන්ධයෙන් ගොඩනැගී ඇති කාංසාවට නැවතීමේ ලකුණ තබන බවත් ය. ඒ සදහා ඇය වෙන්කරවාගත් පුද්ගලයා වූයේ චේස් නමැත්තෙකි.

මෙය මුලින්ම යෝජනා කළේ මෙලනිගේ සහාය සේවිකාව ය. ඔවුන් එක්ව සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා විට ට්‍රේසි මෙලනිට පණිවුඩයක් ලබාදුන්නා ය.


වෛද්‍යමය නොවන හේතුවකට කිසිවෙකුත් මෙලනි ස්පර්ශකර නැති හෙයින්, 43 වැනි වියේ දී, ඇයට ඊට වැඩි යමක් අවශ්‍ය බව ඇයට වැටහිණි.

ට්‍රේසි (ඇගේ සත්‍ය නාමය නොවේ), ඇය වරක් ලිංගික සේවා අවශ්‍යතා සපයන සැපයුම්කාරිනියක ලෙස සේවයකර ඇතැ යි මෙලනිට හෙළිකළ අතර, එවැනි පුද්ගලික සේවා ගැන සලකා බැලීම මෙලනිට විකල්පයක් වනු ඇතැ යි පැවසුවා ය.

"සමහර විට මට මේවා අත්විඳින්න පුළුවන් කියන කාරණේට ඒකෙන් මගේ ඇස් ඇරුනා," මෙලනි බිබීසීය වෙත පැවසුවා ය.


“අපට අනුකම්පාව අවශ්‍ය නැහැ, අපට අපේ අයිතිවාසිකම් අවශ්‍ය යි”

"මම කී සැරයක් වැසිකිළි යනවා ද කියලා මගෙන් ඇහුවා"

ඇය අන්තර්ජාලයෙන් 'එස්කෝට් ඒජන්සියක්' (එනම්, ඉල්ලුම අනුව ලිංගික ශ්‍රමිකයින් සපයන ආයතනයක්) සොයාගත් අතර, 'චේස්' නම් මිනිසෙකුගේ ප්‍රොෆයිලය ඇගේ ඇස ගැටුණි.


උද්යෝගයට පත් ඇය ඔහුගෙන් වෙලාවක් වෙන්කරවා ගෙන, පළමු සැසිය සඳහා ඔහුගේ මහල් නිවෙසට ගියා ය.

"මම මගේ රෝද පුටුවෙන් නැගිට්ටා, ඊට පස්සෙ මගෙ සහාය සේවිකාව පිටවෙලා ගියා, ඉතිරිවුණේ අපි දෙන්නා විතරයි. මොකක් බලාපොරොත්තු වෙන්න ද කියලා මම දැනන් හිටියේ නැහැ."


මෙලනි, ඇයට වයස අවුරුදු තුනේ සිට රෝද පුටුවක් භාවිතාකර තිබුණේ, සුෂුම්නාවේ ප්‍රදාහ තත්ත්වයක් ඇතිකරන 'ට්‍රාන්ස්වර්ස් මයලයිටිස්' නම් රෝගී තත්ත්වය හේතුවෙනි. එනිසා ඇගේ දෙපාවල ක්‍රියාශක්තිය නැතිවගොස් ඇති අතර දෑතේ චලනය ද සීමා සහිත වී තිබේ. වැඩිහිටියෙකු වශයෙන් ඇය එදිනෙදා කටයුතු සඳහා සහාය සේවකයින්ගේ උදව් ලබාගනියි.


ඇය ජපානයේ වෙසෙමින් එහි සේවයේ යෙදී ඇතිවා සේම, දැන් වීඩියෝ සංස්කාරකවරියක වෙයි. නමුත් ඇගේ ජීවිතයේ ප්‍රේමවෘත්තාන්තයක් නොවීය. "මම හිතුවා, ඒකට වෙලාව ආවම ඒක සිද්ධවෙයි කියලා."

පෙම්වතෙකු ඇසුරු කිරීම සහ තමා අන්‍යයින් වෙත විවෘත කිරීම බිය උපදවන යමක් සේ දැනිය හැකි අතර, ලෝකය සෑමවිටම ආබාධිත තැනැත්තන් ලිංගික ජීවීන් ලෙස නොසලකයි.


2021 දී එක්සත් රාජධානි රජය විසින් ප්‍රකාශිත එරට ආබාධිත සමීක්ෂණයට අනුව, ආබාධිත පුද්ගලයෙකු හා සමීප සබඳතාවක් පැවැත්වීමට තරම් සුවපහසුවක් දැනෙනු ඇතැ යි පැවසුවේ සාමාන්‍ය ජනගහණයෙන් 56%ක් පමණි.

එම මාතෘකාවට එළැඹෙන්නේ කෙසේදැ යි මෙලනිට කිසිදා නිශ්චිත හැඟීමක් නොතිබූයෙන්, ඇය එය අහම්බයක් සේ සිදුවනු පිණිස අතැර දමා හිඳ තිබේ.


විද්‍යුත් තැපෑල හරහා චේස් වෙත විමසීමක් යැවූ පසු, ඔහු ඔවුන් දෙදෙනාට එකිනෙකා හඳුනාගැනීමට හැකිවනු පිණිස හා අභියෝග ඇත්නම් ඒවා සාකච්ඡා කරනු පිණිස වීඩියෝ ඇමතුම් කීපයක්ම සංවිධානය කළේ ය.

"මං ප්‍රශ්න කෝටියක් විතර ඇහැව්වා," මෙලනි පවසයි: "ඔයා කවදාවත් හොයිස්ට් එකක් (එසවීමට භාවිතා කරන යන්ත්‍රයක්) පාවිච්චි කරලා තියෙනවා ද? ඔයාගේ තට්ටු නිවාසෙට රෝද පුටුවකට එන්න පුළුවන් ද? ඔයාගේ බිල්ඩිමේ ලිෆ්ට් එක නිතර කැඩෙනවා ද?"


"මාස හයකට සැරයක් වගෙ," චේස් පිළිතුරු දුන්නේ ය.


චේස්ගේ මහල් නිවෙසේ දී සැසියක් වෙන්කරවා ගැනීමට තරම් ඔහුගේ පිළිතුරු මෙලනිට ප්‍රමාණවත් විය. නොසන්සුන්කමින් අත්මිදුනු ඇය ඔහුගෙන් වෙලාවක් වෙන්කරවා ගත් අතර, ඔහු ඉතා අවංක හා ධෛර්යවත් කරවනසුළු බැවින් බලා සිටීමට නොහැකි තරම් උද්යෝගයක පසුවූවා ය.


නීතිමය වශයෙන් බැලූකල, මෙලනි හා චේස් අතර ඇතිකර ගැනුණු වැඩපිළිවෙල නීත්‍යානුකූල විය.

අංක 2000 ගණිකා වෘත්තිය පිළිබඳ පනත යටතේ, බටහිර ඕස්ට්‍රේලියාව තුළ වීදිවල ලිංගික වෘත්තියක යෙදීම හෝ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම අනීතික වන නමුත්, ගණිකා වෘත්තිය යන ක්‍රියාව නීතියට පටහැනි නොවන අතර 'එස්කෝට් ඒජන්සි' නීත්‍යානුකූල වේ. වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ නොදර්න් ටෙරිටරි යන ප්‍රාන්ත මෙයින් වෙනස් වන්නේ, ඒවායේ ලිංගික ශ්‍රමය සාපරාධීකරණයකර ඇති නිසාවෙනි.


මෙලනි චේස්ගේ නිවෙස වෙත පැමිණි විට, එම අවස්ථාවේ බරපතලබව ඇයට අවබෝධවීමට පටන්ගත්තේ ය.

"මම දැනන් හිටියා මට ලිංගිකත්වය ගැන දැනුමක් නැහැ කියලා. මං ඉදිරියේ පරිපූර්ණ එක්ස්පර්ට් කෙනෙකුත් හිටගෙන හිටි නිසා මට මහ පීඩාකාරී හැඟීමක් දැනුනා."

නමුත් සැසිය ආරම්භ වූ විට, මෙලනි යමක් හෙළිදරව්කර ගත්තා ය.


"මම ආබාධිතබව ගැන එක්ස්පර්ට් කෙනෙක්. චේස්ට ඒ සම්බන්ධයෙන් කිසි අදහසක් තිබුණෙ නැහැ. අපි අපේ නොදැනුවත්කම ගැන යි, බොළඳකම ගැන යි දෙන්නට දෙන්නා හිනාවුණා. පැය දෙකකට පස්සෙ අපි සමීප මිතුරො වෙලා හිටියා."


එම ක්ෂේත්‍රයේ වසර හයක් සේවයකර ඇති චේස් පවසන පරිදි, නව සේවාදායකයින් හමුවේ ඇතිවන විශාලතම ගැටලු වන්නේ "ලිංගික අපේක්ෂාවන්" ය - ඔවුහු "සුරතාන්තය" ලැබීම තහවුරු කිරීම සඳහා අනවශ්‍ය පීඩනයක් යටතේ කටයුතු කරති.

සාමාන්‍ය සමීප පෙම් ඇසුරක දී වාගේම "හරියන ක්‍රමේ මොකද්ද කියන එක හොයාගන්න ඔබට සිද්ධවෙනවා," ඔහු කියයි.


චේස් සේවය සඳහා බඳවාගැනීමට පෙර, සමීප සබඳතාවක දී ඇගේ සිරුර කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද, [ඊට] උපකාරී වන ඉරියව්වකට එළැඹීමට ඇයට හැකිවනු ඇත්ද හෝ ලබාගන්නා විනෝදය වෙහෙස නිසාවෙන් වැනසී යනු ඇත්දැ යි මෙලනිට කිසිදු අදහසක් නොවීය.

"මම චේස්ව බුක් කළ සම්පූර්ණ හේතුව ඒක යි," ඇය පවසයි. "මම ඕනේ වුණේ නැහැ බාර් එකක දී හම්බවෙන පිරිමියෙක් ගෙදරට එක්කගෙන ගිහින් මේ දේවල් හොයාගෙන නුහුරු, අසරණ, අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙන්න."

එය සිදුවෙද්දී, ඇයට චේස් හා අපමණ වින්දනයක් ලබාගත හැකිබවත්, තමන් සීමාකර ගැනීමට සිදු නොවනබවත් ඇය සොයාගත්තා ය.


ඇය අනාවරණයකර ගත් තවත් යමක් වූයේ, ඇගේ දෙපා අනපේක්ෂිත ලෙස හැසිරිය හැකිබව හා "ඇඳෙන් ඉවතට විසිවෙලා යන්න" හැකිබව යි. එනිසා, ඉන් අනතුරුව ඇගේ දෑත් දෙපා යථා තත්ත්වයට පත්කර ගනු සඳහා භෞත චිකිත්ස සැසියකට සහභාගීවීමට ඇයට නිතර සිදුවෙයි.

"මම හොයාගත්තා [සැසියට] කලින් මගේ කකුල් ඇඳට තියලා බැන්දම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා," ඇය පවසයි.

නමුත් මෙමඟින් බලය හා පාලනය පිළිබඳ ප්‍රශ්න මතුවෙයි.

නුහුරු නිවෙසකට පැමිණෙන ආබාධිත කාන්තාවක් ලෙස, මෙලනි බොහෝදෙනාට වඩා අවදානමට ලක්ව සිටියි.

"ඒක තමයි, ඉස්පිරිතාලෙකින් පිටත දී මම පිරිමියෙක් ඉස්සරහ නිරුවත් වුණු පළවෙනි වතාව," ඇය පවසයි.

මින් පෙර ද කම්පනය අත්විඳ ඇති තැනැත්තන් හා කටයුතුකර අත්දැකීම් සහිත චේස් පවසන්නේ, "පාලනය ඇයට හිමි ආරක්‍ෂිත හා සත්කාරක පරිසරයක් නිර්මාණය කිරීම" ඔහුගේ ප්‍රමුඛතාව බව යි.


නමුත් අවදානම පවතින්නේ ශාරීරික ශක්තීන්හි අසමතුලිතත්වය සම්බන්ධයෙන් පමණක් නොවේ. ඇතැම්විට පුද්ගලයින්ට ළදරු මනෝභාවයක් ඇතිකරවන්නට ආබාධිතභාවයන් සමත්වන අතර, අනෙකුත් පුද්ගලයින් සාමාන්‍යයැ යි සලකන ඇතැම් අත්දැකීම් ලැබීමට තමන් තරම් නැතැ යි ඔවුනට දැනවිය හැකි ය. ඇතැම් ආබාධිත පුද්ගලයින් මෙය 'සමාග්‍රහණිත ආබාධිත විරෝධීබව' ලෙස හඳුන්වයි.


මේ මෑතකාලීන සමීප හමුවීම්, මෙලනිගේ ජීවිතයේ සෑම අංශයක දීම ඇයට වැඩි බලයක් ලබාදීමට සමත්විය.

"චේස්ව බුක් කරන එකෙන්, සේවාව සඳහා මුදල් ගෙවන එකෙන්, පාලනය මගේ අතේබව මම දැනගෙන හිටියා. මම දැනගෙන හිටියා චේස් මට වෙනස් විදියකට සැලකුවොත් හරි, මම අකමැති දෙයක් කළොත් හරි ඒක එයා නවත්තනවා කියලා."


එවැන්නක් සිදුවුවහොත් ඇය නැවතත් ඔහු හා වේලාවක් වෙන්කර ගනු නැතැ යි ඈ දැන සිටිබව ඇය පවසයි.

නමුත් මෙයට මූල්‍යමය පිරිවැයක් තිබේ.

"ඒක දහස් ගාණක්," තමාගේ පැය 48ක මිල ගැන චේස් සඳහන් කරන්නේ නොකැමැත්තෙනි. ඔහුගේ පැයක මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 400ක් පමණ (රු. 90 000කට ආසන්න මුදලක්) වේ.


එම මිල සාධාරණීකරණය කරමින් ඔහු මෙසේ පවසයි: "හුඟදෙනෙක්ට නොතේරෙන දෙයක් තමයි, අපි පැය 48කට කාවහරි හමුවෙනවා නම්, ඒකෙන් කොච්චර හොඳ ප්‍රතිඵල ලැබුණත්, අපට අපේ ජීවිතේ දී කරන්න ඕනෙ අනිත් කිසිදෙයක් අපට කරන්න වෙන්නේ නෑ කියලා."

නමුත් ඔහු ඔහුගේ රැකියාවෙන් විශාල තෘප්තියක් ලබනබව ද ඔහු වැඩිදුරටත් පවසයි.


"මිනිස්සුන්ට වෙනස් වෙනස් දේ හොයා යන්න උදව් කරන්න අකැමති කවුද? ඇයි මට බැරි ඒක ඕනේ කරන, ඒක අවශ්‍ය කරන, තමන් ලස්සනයි කියලා දැනෙන්න වටිනා පුද්ගලයින් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න?"

"චේස් එක්ක ආදරෙන් බැඳෙන්නෙ නැතුව ඉන්න එක අමාරු වැඩක්," මෙලනි පිළිගනියි. "නමුත් මට මතක්කර ගන්න සිද්ධවෙනවා මේක වෘත්තීය සම්බන්ධයක් කියන එක."

මෙලනි හා චේස් පසුගිය ජනවාරියේ සිට එකිනෙකා මුණගැහෙන නමුත්, එය ඉක්මන් වින්දනයක් ලැබීම හෝ ලිංගිකත්වය ගැනම පමණක් නොවේ.


ලිංගික ශ්‍රමිකයෙකු ලෙස ඔහුගේ කුසලතාවන් සැපයීමට අමතරව, මෙලනිට "ආදර සබඳතා ඇතිකර ගැනීමට" හා අනෙක් පුද්ගලයින් සමග අනාගත ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමට සහායවීමට ඔහුට හැකි කෙසේදැ යි සොයාබැලීම සඳහා, චේස් පෙම් සබඳතා සම්බන්ධ සහාය ලබාදෙන පුහුණුකරුවෙකු හා කතාබස් කරමින් සිටියි.

"මම චේස් වෙනුවට කෙනෙක් හොයා හොයා ඉන්නෙ. මට ආදරේ කරන, මම ආස දේවලට ආදරේ කරන, සල්ලි නොගෙන හැමදේම කරන කෙනෙක්," ඇය කියයි.

"මම කවදාවත් හිතුවෙ නෑ මං ඩේටින් ඇප්වලට (පෙම් සබඳතා සඳහා නව පුද්ගලයින් හමුවීමට යොදාගන්නා ඇප්) සම්බන්ධවෙයි කියලාවත්, අන්තර්ජාලයෙන් පිරිමි එක්ක කතා කරයි කියලාවත්. නමුත් මං දැන් ඒක දිනපතාම වගෙ කරනවා. මගෙ එකම පසුතැවිල්ල තමයි මං මේක මීට කලින් නොකළ එක."

මෙලනිට අනුව, මෙම අත්දැකීම හුදෙක් ලිංගික නිදහස පිළිබඳව පමණක් නොවන අතර, මේ අඛණ්ඩ අත්දැකීම හරහා ඇය බොහෝ දේ ලබාගෙන තිබේ. ආබාධිත තැනැත්තන් සඳහා ලිංගික සේවා සපයාගැනීම වෙනුවෙන් රජය මුදල් ගෙවිය යුතුබවත්, සහාය ලබාදිය යුතුබවත් ඇය විශ්වාස කරයි.

"මගේ ආත්ම විශ්වාසය හුඟක් වැඩිලා තියෙනවා. මම කවදාවත් හිටියෙ නැති තරම් සතුටකින් ඉන්නවා. ජීවිතය වෙනස් කරන විදියේ අත්දැකීමකට මිලක් නියම කරන්න බැහැ."

එසේම, ඇගේ නව අත්දැකීම් ඇගේ මිතුරන් සහ පවුල සමග බෙදාගැනීම සඳහා ඇය උද්යෝගයෙන් පසුවිය.

"මුලින්, මම කිසි දෙයක් කියන්න ලැජ්ජාවෙන් හිටියෙ. නමුත් මේකෙන් මගෙ ජීවිතේ මහා විශාල වෙනසක් සිද්ධවුණා. මට මේ ගැන අනිත් අයට කියන එක නවත්තගන්න බැහැ. එයාලත් මං ගැන හරිම සතුටෙන් ඉන්නේ. මට හිනාවෙන එක නවත්තගන්න බැහැ."

No comments

Ads Place