Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උණ හැදිලා ආ හත් හැවිරිදි දැරියට ඉස්පිරිතාලෙන් වැඩිහිටියන්ට දෙන පැනඩොල් මාත්‍රාව දීලා! දැරිය මියගිහින්!

  උණ රෝගයට ගොදුරුව සිටි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින්...


 උණ රෝගයට ගොදුරුව සිටි හත් හැවිරිදි දැරියකට පැරසිටමෝල් අධිමාත්‍රාවක් ලබා දීම නිසා ඇය මරණයට පත්ව ඇති බව ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් සිදුකළ මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ උඩහේන්තැන්න, උඩුවැල්ල, තාමරවල්ලි ජනපදයේ පදිංචි රන්කොත්පේඩි ගෙදර ශාමලී තරුෂි නමැති දැරිය යි.

ඇය උඩුවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 2 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි.

ඇගේ මවුපියන් ගම්පොළ කුරුඳුවත්ත රෝහලින් ඇයට දෙවරක් බෙහෙත් රැගෙන දී තිබිණි. වෛද්‍යවරයා විසින් ලබා දී ඇති අදාළ නියමිත මාත්‍රාව වෙනුවට රෝහලේ ඖෂධහලෙන් සටහන්කොට ලබා දී ඇති වැඩිහිටි මාත්‍රාවක් ළමයාට ලබා දීම නිසා මෙම අධිමාත්‍රාව දැරියට ලැබී තිබෙන බව හෙළි වී තිබේ.

කුරුඳුවත්ත රෝහලෙන් දිනකට රෝගීන් හයසියයක් පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර ඔවුන්ට ඖෂධ ලබා දීමට සිටින්නේ එක් ඖෂධවේදියෙකු බව පැවසේ. එසේ ම, පෙති වර්ග දැමීමට රෝහලට අවශ්‍ය දවටන හෝ කවර නොමැති අතර එම ඖෂධ වර්ග ලබා දෙන්නේ පරණ ලයිට් බිල් හෝ කඩදාසිවල දවටමිනි.

රෝගීන් වැඩි නිසා පැරසිටමෝල් වැනි බොහෝ බෙහෙත් වර්ග කලින් ම කොළවල ඔතා සකස් කර තබා රෝගීන්ට දීම සිදුකරන්නේ ඖෂධ ගන්නා ආකාරය ද සටහන් කර තැබීමෙනි.

වැඩිහිටියන්ට අවශ්‍ය මාත්‍රාවන් එසේ ලියා තිබුණ ද ළමුන් පැමිණි විට එම කොලේ පිට පැත්තේ එම මාත්‍රාව ලියා දීම සිදුකර තිබේ.

ඒ ආකාරයට හත් හැවිරිදි මෙම දරුවාට ද ඖෂධ ලබා දී ඇති අතර මවුපියන් සිදුකර ඇත්තේ එම කොළයේ ඇතුළත සටහන් කර තිබූ වැඩිහිටි මාත්‍රාව මෙම ළමයාට දීම ය.

මේ ආකාරයට දරුවාට උණට බෙහෙත් ගත්ත ද පසුව බඩේ අමාරුවක් සෑදී ඇති අතර මවුපියන් විසින් 22 දින යළි එම දරුවා ගම්පොළ රෝහලට රැගෙනවිත් ඇත්තේ ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙනි.

එහිදී දරුවා දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණ ද ගම්පොළ, පේරාදෙණිය, නාවලපිටිය හෝ මහනුවර රෝහල්වල එම ඇඳන් හිස්ව නොතිබූ නිසා දරුවා රාගම රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත.

ඒ අතර දරුවා දැඩි ලෙස දැඟලීම නිසා පියාගේ කැමැත්ත රැගෙන දරුවා නිර්වින්දනය කොට ඇති අතර එදින රාත්‍රි 7.30ට පමණ දරුවා ගම්පොළ රෝහලේදී ම මියගොස් තිබේ.

ඒ අනුව, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර මහනුවර මහ රෝහල වෙත 23 දින රැගෙන ගිය අතර එහිදී අනාවරණය වී ඇත්තේ අක්මාවට සිදුවූ බරපතළ හානි නිසා දරුවා මියගොස් ඇති බව ය.

එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි සී.යූ. වික්‍රමසිංහ මියගිය දැරියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රසායනාගාර පරීක්ෂණයකට ද යොමුකර තිබිණි.

ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක ගම්පොළ රෝහලේදී මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ අතර එහිදී කුරුඳුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් තේනුවරගේ (73444) මෙහෙයවීම මත මියගිය දැරියගේ පියා වන එරංග සමීර කරුණාරත්න (32) හා මව වන ජයසිංහගේ මල්ලිකා රාජපක්ෂ යන අය සාක්ෂි ලබාදෙන ලදී.

මෙහිදී මරණ පරීක්ෂකවරයා මෙම මරණයට හේතු ලෙස උණ රෝගයට අධිමාත්‍රාවෙන් පැනඩෝල් ලබා දීම, අක්මාවට හානි වීම හා රෝහල්ගත කර සිහිනැති කර සිටියදී මිය යාම යන කරුණු දක්වා තිබිණි.

No comments

Ads Place