Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිසිදා නොපැමිණි චීන පොහොර නැව: ඩොලර් මිලියන 6.9ක් මකර කටට

  කෘෂිකර්මාන්තය දැවැන්ත අර්බුදයකට තල්ලු කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක පාඩුවක් ලංකාවට සිදු වූ චීන පොහොර නැවට හිලව් වශයෙන් පොහොර හෝ මුදල්...

 


කෘෂිකර්මාන්තය දැවැන්ත අර්බුදයකට තල්ලු කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක පාඩුවක් ලංකාවට සිදු වූ චීන පොහොර නැවට හිලව් වශයෙන් පොහොර හෝ මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය තවමත් විදේශ කටයුතු අමාත්‍යංශයට නිශ්චිතව සන්නිවේදනය කර නැතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්  පැවසුවා ය.

ඒ අනුව, චීන පොහොර නැව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයට මෙතෙක් භාර දී නැතැයි ද එම කටයුතු තවමත් ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ යැයි ද එම නිලධාරිනිය කීවා ය.

චීන පොහොර නැවේ අර්බුදය රාජ්‍යතාන්ත්‍රිකව විසඳා ගන්නේ නම් ඊට අදාළ අවශ්‍යතා ගැන පළමුව විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දිය යුතු යැයි එම නිලධාරිනිය සඳහන් කළාය.

එහෙත් මේ වනතුරු කෘෂිකර්ම අමාත්‍යංශයෙන් එවැනි අවශ්‍යතා ගැන දැනුම් දීමක් සිදුව නැතැයි ඇය කීවා ය.

ඇය වැඩිදුරට ත් මෙසේ පැවසුවා ය.

“ඔය ප්‍රශ්නේ ගැන බලන්නේ චීනයට අදාළ අංශයෙන්. මම ඔවුන්ගෙන් මේ ගැන ඇහුවා. මොනව ද අපිට අවශ්‍ය කියලා කෘෂිකර්ම අමාත්‍යංශ ඇහුවා ලු. පොහොරවලට අදාළ වන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයනේ. අපිට විස්තර එන්න ඕනෑ එතැනින්. අපි ඉල්ලලා තියෙනවා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් විසඳන්න අවශ්‍ය විස්තර අපි බලාපොරොත්තු වෙනවා.”

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ, චීන පොහොර නැව සම්බන්ධයෙන් ක්‍රියාකිරීම විදේශ කටයුතු ඇමතිවරයාට භාර දී ඇති බව ය.

විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාකරගෙන යන්නේ යැයි කී ඇමැතිවරයා ඊට කෘෂිකර්ම අමාත්‍යංශය සහය දෙමින් ඇතැයි ද පැවසීය.

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් සහිත ‘කින්ඩාවෝ බයෝටෙක්’ සමූහ සමාගමෙන් මෙරටට ආනයනය කෙරුණු චීන පොහොර නැව වෙනුවෙන් කිසිදු රක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138කට වැඩි මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක්) ශ්‍රී ලංකා රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩු වූ මුදල අදාළ වගකිවයුත්තන්ට නඩු පවරා අය කර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බරයේය.

එසේ ම, නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020 – 21 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අදාළ පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛනගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණකාධිපතිවරයා දැනුම් දුන්නේ ය.

මෙම නිර්දේශ නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවෙන් තාක්ෂණ ඇගැයීම් කමිටු සාමාජිකයන්, ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, අතිරේක ලේකම් හා අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කෙරුණු ප්‍රමිති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවට චෝදනා එල්ල කරනු ලැබ තිබිණි.

චීන පොහොර නැව සම්බන්ධ විගණකාධිපති වාර්තාවේ නිර්දේශ අනුව කිසියම් පුද්ගලයෙකු වරදකරු කර ඇත්නම් තරාතිරම නොබලා පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය වසරේ සැප්තැම්බර් 6 වන දා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.

චීන පොහොර නැව සම්බන්ධ ගැටලුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.


No comments

Ads Place