Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලක්ෂ 60කට වැඩි මාසික පඩියක් ගන්න ක්‍රිකට් උපදේශක මහේල තවම නවසීලන්තයට ඇවිත් නෑ! IPL වැඩවලට තවම අමෙරිකාවෙලු!..

  වසර 48ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් වාසනාව උරගා බැලීමට සිදුවීමේ අපකීර්තියත් කරපින්නා ගෙන සංචාරක ශ්...

 


වසර 48ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් වාසනාව උරගා බැලීමට සිදුවීමේ අපකීර්තියත් කරපින්නා ගෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද නවසීලන්තය සමඟ දෙවැනි තරගයට එක් වෙයි. වසර 1975 සිට මේ දක්වා පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලි 12ටම ක්‍රීඩා කරමින් කුසලානයක් සහ අනුශූරතා දෙකක් දිනා ගත් ශ්‍රී ලංකා පිලට මේ වසරේ අගභාගයේ ඉන්දියාවේ පැවැත්වෙන තරගාවලියට සෘජුවම සහභාගි වීමේ අවස්ථාව මැකී යමින් තිබේ. ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලැබෙන්නේ අයිසීසී සුපර් ලීග් එක්දින තරගමාලා ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පළමු කණ්ඩායම් අටට පමණි. දැනටමත් කණ්ඩායම් 7ක් තේරී අවසන්ය. ඉතිරි කණ්ඩායම බවට පත්වීමේ සටන ඇත්තේ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය අතරය. සුපර් ලීග් තරගමාලාවට අයත් මේ තරගාවලියේ පළමු තරගයේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා පිලට දැන් සිදුවී ඇත්තේ අද පැවැත්වෙන දෙවැනි තරගයත්, අවසන් තරගයත් දෙකම ජය ගැනීම පමණක් නොව දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගාවලියත්, අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගාවලියත් බලා සිටීමටය. බංග්ලාදේශය සමඟ තරග වදින අයර්ලන්තයට කෙසේ වෙතත් නෙදර්ලන්තය සමඟ තරග වදින දකුණු අප්‍රිකානුවන්ට ඇත්තේ වැඩි වාසියකි. අනිත් අතට පළමු තරගයේදී දැක්වූ විස්මිත දස්කම් නිසා කෝඩුකාරයන් බහුතරයක් සිටියත් නවසීලන්තය ඉතිරි තරග දෙක පරාජය වීමට කොහෙත්ම සූදානම් නැති බවත් පෙනේ. ක්‍රිකට් ක්‍රීඩාව යනු අනාවැකි පළ කිරීමට අසීරු ක්‍රීඩාවක් බැවින් තරග දෙකම ශ්‍රී ලංකා පිල පරාජය වනු ඇතැයි සිතීම ද සාධාරණ නැති බව මෙරට හිටපු ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ. එහෙත් හැම පැත්තකින්ම අවාසිය ඇත්තේ ශ්‍රී ලංකා පිල මතය.

අනිත් අතට හිටපු ක්‍රීඩකයන්ගේ විමතියට කරුණ වී ඇත්තේ රුපියල් ලක්ෂ 60කට අධික මාසික වැටුපක් ගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන නවසීලන්ත සංචාරයට එක්නොවූයේ මන්දැයි යන්නය. ක්‍රිකට් උපදේශකයා නිරතුරුවම කණ්ඩායම සමඟ සිටීමේ අවශ්‍යතාවක් නැතැයි කිසිවකුට තර්ක කළ හැකි වුවද, ඔහු කණ්ඩායම සමඟ සිටියේ කවදාදැයි තව කෙනකු විමසන්නට බැරි නැත. පසුගිය දිනවල ඔහු සිටියේ අමෙරිකාවේ බවත්, ඔහු එහි ගොස් ඇත්තේ එරට ජාත්‍යන්තර ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවකු වන මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ඔහුගේ රාජකාරි කටයුතු සඳහා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකවරයා නවසීලන්ත ටෙස්ට් පරාජයේදී මෙන්ම පළමු එක්දින තරගයෙන් අන්ත පරාජයක් ලබාගත් අවස්ථාවේදී ද කණ්ඩායම සමඟ නොසිටි බවට කරුණු වාර්තා විය.

ඒ අතරතුර එක්දින සංචාරයට ගිය කණ්ඩායම සමඟ තිළිණ කණ්ඩම්බි අතිරේක පුහුණුකරුවකු ලෙස නවසීලන්තයට ගියේ මහේලගේ අඩුව පිරිමැසීමටදැයි ක්‍රීඩාවට ලැදි පාර්ශ්ව ප්‍රශ්න කරති. තිළිණ කණ්ඩම්බි පිතිහරඹ පුහුණුකරුවකු වන අතර, ඒ වනවිටත් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස නවසීලන්තයට ගොස් සිටි නවීඩ් නවාස් ද පිතිහරඹ පුහුණුකරුවෙකි. ඒ අනුව කණ්ඩායමේ පිතිහරඹයට පුහුණුකරුවන් දෙදෙනෙකි. ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් නම් දරා සිටින්නේ වේගපන්දු පුහුණුකරුවකු හැටියටය. ඒ අතරතුර දර්ශන ගමගේද වේගපන්දු පුහුණුකරුවකු ලෙස කණ්ඩායමට එක්වී සිටී. දඟපන්දු පුහුණුකරු ලෙස පියල් විජේතුංග, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මනෝජ් අබේවික්‍රම වශයෙන් තවත් පුහුණුකරුවන් දෙදෙනෙකි. එහෙත් පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය අනුව පැහැදිලි වන්නේ මේ පුහුණුකරුවන්ගෙන් ක්‍රීඩකයන් ලබන උපදෙස් ප්‍රමාණවත් නොවන බවකි. එසේ නැතිනම් සියලු ක්‍රීඩකයන් බලා සිටින්නේ ක්‍රිකට් උපදේශක මහේල ජයවර්ධන නවසීලන්තයට පැමිණෙන තුරුදැයි කිසිවකුට ගැටලුවක් මතු විය හැකිය.

නවසීලන්ත සංචාරයට එක්වීමට මහේලට කාලවේලාවක් නොලැබෙන්නේ නම් ලබන ජූනි මස සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වෙමින් ශ්‍රී ලංකා පිලට ලෝක කුසලානයේ දොරටු විවර කරදීමට ඔහුට තවත් අවස්ථාවක් ඇති බවත් අමතක නොකළ යුතුයැයි හිටපු ක්‍රීඩකයෝ කියති.

No comments

Ads Place