Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාර්තු 9 මැතිවරණය අවිනිශ්චිතයි

  පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන 23 දක්වා කල් තැබීම හ...

 



පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන 23 දක්වා කල් තැබීම හේතුවෙන් මාර්තු නව වැනිදා නියමිත පරිදි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අර්බුදයකට මුහුණ දී සිටී.

මෙලෙස නඩුව කල් දමන ලද කාලය අතරතුරදී මැතිවරණයේ ඉදිරි කටයුතු සඳහා මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලබා නොදුනහොත් කොමිෂන් සභාවට මැතිවරණය පැවැත්වීම අපහසු වන බව එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණයට තරග කරන පක්ෂවල ලේකම්වරු සමග මෙමස 14 වැනිදා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තත්ත්වය පිළිබඳවත්, මුදල් තත්ත්වය පිළිබඳවත් පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡා කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස විමසා සිටින බවද සභාපතිවරයා පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 770 ක මුදලක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයට යවන ලද ලිපියට මෙතෙක් පිළිතුරක් ලැබී නැතැයිද ඔහු කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයට මෙමස 23 වැනිදා දක්වා කල්යෑම හේතුවෙන් ඡන්ද පත්‍රිකා ඇතුළු මැතිවරණයට අදාළ ලේඛන මුද්‍රණය කිරීම සඳහා කාලය ප්‍රමාණවත් නොවන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඡන්ද පත්‍රිකා සහ මැතිවරණ දිනය ඇතුළත් ලේඛන මුද්‍රණය කිරීම සඳහා අවම වශයෙන් දින 25 ක පමණ කාලයක් අවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව කියයි. මේ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට යෝජිත මාර්තු මස 09 වැනිදා වන විට එම ලේඛන ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

මේ සම්බන්ධව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

මැතිවරණයට අදාළව මෙතෙක් මුද්‍රණ කරන ලද ලේඛන සඳහා මුදල් ලැබී ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් ගොනුකරන ලද පෙත්සම් දෙකේ විභාගය අවසන් කරන ලදී. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවට කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ලබාදුන් ප්‍රතිඥාව හේතුවෙන් එම විභාගය අවසන් කරන ලදී.

මේ අතර, පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණ නියෝගයක් නොලැබුණහොත් සියලු පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර පළාත් පාලන ආයතන 340 ක කාලය මාර්තු මස 19 වැනිදායින් අවසන්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණය ඉකුත් වසරේ (2022) මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත වුවද, පළාත් පාලන ඇමැතිවරයා විසින් ඒවායෙහි කාලය වසරකින් දීර්ඝ කරනු ලැබීය.

පළාත් පාලන පනතට අනුව පළාත් පාලන විෂය භාර ඇමැතිවරයාට එම ආයතනවල කාලය වසරකින් පමණක් දීර්ඝ කිරීමේ බලය පැවරේ. මේ අනුව, මැතිවරණය මාර්තු මස 09 වැනිදා නොපවත්වා පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව රජයේ ආරංචිමාර්ග කියයි.

කෙසේ නමුත්, අධිකරණ තීරණයෙන් පසුව පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු සම්බන්ධව පළාත් පාලන අමාත්‍යාංශයේ නීති අංශය මගින් නීති උපදෙස් ලබා ගැනීමට නියමිතය.

මීට පෙරදීද, 2015 වසරේ සිට 2018 වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තුරුම පළාත් පාලන ආයතන පාලනය වූයේ විශේෂ කොමසාරිස්වරයෙකු යටතේය. මෙහිදී විශේෂ කොමසාරිස්වරයා ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා හෝ අදාළ පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා පත්කෙරේ.

මැතිවරණයේ කටයුතු සඳහා සහයෝගය දක්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනාධිපතිවරයාට යවන ලද ලිපියටද මෙතෙක් පිළිතුරක් නොමැති බව එම කොමිෂන් සභාව කියයි.

No comments

Ads Place