Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ නගරාධිපති සුපිරි නිල නිවසේ මීළඟ හිමිකරු කවු ද?

    දිනෙන් දින උණුසුම් වන 2023 පළාත් පාලන මැතිවරණය යටතේ ප්‍රධානම ඡන්ද සටන පවතින්නේ කොළඹ මහ නගර සභාව සඳහා බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. අ...

 


 

දිනෙන් දින උණුසුම් වන 2023 පළාත් පාලන මැතිවරණය යටතේ ප්‍රධානම ඡන්ද සටන පවතින්නේ කොළඹ මහ නගර සභාව සඳහා බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

අතීතයේ සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා තම ධුරය අතහැර කොළඹ මහ නගර සභාවට තරග කරන්නේ එහි ඇති සුවිශේෂි වැදගත්කම නිසාය. එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් වැනි කොළඹ නගර සභාවේ මෙවර පාලන බලය හිමි කරගන්නේ කවුද යන්නත් සමගි බලවේගය, ජාතික ජන බලවේගය හෝ වෙනත් ප්‍රධාන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට ඊට මෙවර අභියෝග කිරීමේ හැකියාවක් ඇද්ද යන්නත් බොහෝ දෙනෙකු මේ දිනවල නිරන්තරයෙන් එකිනෙකාගෙන් විමසන පැනයකි.

කොළඹ නගරාධිපති සටන ඇත්තේ කා අතර ද?

කොළඹ මහ නගර සභා ඉතිහාසය සොයා බැලීමේදී පෙනී යන්නේ වැඩිම කාලසීමාවක් එහි පාලනය හොඹවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය යන්නයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධුරය සඳහා තරග කරන්නේ වත්මන් පුරපතිනිය ලෙසද කටයුතු කරන රෝසි සේනානායක ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහ නගර සභාව සඳහා මෙතෙක් වෙනම ම අපේක්ෂකයෙකු නම් කර නැත.

සමගි ජනබලවේගය වෙනුවෙන් මුජුබර් රහුමාන් කොළඹ නගරාධිපති ධුරය සඳහා තරග කරයි. ඔහු නගරාධිපති සටනට පිවිසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

ජාතික ජනබලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන්නේ ව්‍රායී කැලී බල්තසාර් ය.

මේ අතර කොළඹ මහ නගර සභාවට ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් තරග කරන ප්‍රධාන අපේක්ෂකයින් සියල්ලම පාහේ සිංහල බෞද්ධ ඡන්ද පදනමක් සහිත අපේක්ෂකයින් නොවීම සුවිශේෂීම කරුණකි.

සමස්තයක් ලෙස දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 16ක් කොළඹ මහ නගර සභාව සඳහා මෙවර තරග වදියි.

කොළඹ වැදගත් වන්නේ ඇයි?

 කොළඹ නගර සභාවේ වාර්ෂික අයවැය රුපියල් බිලියන 17ක් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

ලක්ෂ 05කට අධික ජනතාවක් කොළඹ මහ නගර සභා සීමාවේ දිවි ගෙවන අතර තවත් ලක්ෂ 5ක පමණ පිරිසක් විවිධ ප්‍රදේශවල සිට දිනපතා කොළඹට පැමිණෙති.

ඒ අනුව මිලියනයකට අධික පිරිසකට අවශ්‍ය සේවා සැපයීම කොළඹ මහ නගර සභාව සතු ප්‍රධාන වගකීමක් බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන බීබීසී සිංහල සේවය සමග පැවසුවාය.

කොළඹ යනු නගරාධිපති සහ සභා ආණ්ඩු ක්‍රමය සහිත වරලත් නගරයකි.

කොළඹ නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ වසර හතරකට වරක් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙනි.

කොළඹ මහ නගර සභාව (CMC) ශ්‍රී ලංකාවේ විශාලතම පළාත් පාලන ආයතනය වන අතර දකුණු ආසියාවේ පැරණිතම පළාත් පාලන ආයතනයන්ගෙන් ද එකකි.

1865 දී පිහිටුවන ලද එය 2001 සංගණනයට අනුව 647,100 ක නේවාසික ජනගහනයක සහ 500,000 ක ඇස්තමේන්තුගත පාවෙන ජනගහනයක අවශ්‍යතා සපුරාලන විශාල සංවිධානයක් දක්වා වර්ධනය වී ඇත.

මුල්වරට නගර සභාව පිහිටුවන විට එහි ජනගහනය 80,000 ක් පමණක් විය.

කොළඹ මහ නගර සභාවේ පළමු වසරේ ආදායම ස්ටර්ලින් පවුම් 6,429 කි.

1872 දී ලංකාව ස්ටර්ලිං පවුමේ සිට රුපියල්වලට මුදල් ඒකකය වෙනස් වූ විට සභාවේ ආදායම රු. 296,494ක් ලෙස සටහන් විය.

1866 දී කවුන්සිලයේ ප්‍රධාන ආදායම් මාර්ග වූයේ වරිපනම් බදු, වාහන සහ සතුන් සඳහා බදු අය කිරීම, ගමන් බදු, වීදි ගාස්තු, පාලම් සහ ඇළ මාර්ගවල ගාස්තු, මස් වෙළෙන්දන්ගේ බලපත්‍ර, ප්‍රවාහනය කරන්නන්, වයින් සහ සිල්ලර වෙළෙන්දන් සහ තුවක්කු බලපත්‍ර නිකුත් කිරීම යන ඒවායි.

නීතීඥවරුන්ගේ සහ නොතාරිස්වරුන්ගේ සහතිකවල මුද්දර ගාස්තු, වෙළඳපොළ සහ ගව ඝාතකාගාර ගාස්තු, පොලිසිය සහ නාගරික මහේස්ත්‍රාත්වරුන් විසින් අයකර ගන්නා ලද දඩ මුදල් සහ විවිධ රිසිට්පත් ගාස්තුද එම ආදායමට ඇතුලත් වෙයි.

වර්තමානයේ දෙපාර්තමේන්තු 16 කින් සමන්විත කොළඹ මහ නගර සභාව මහජන සෞඛ්‍ය හා රෝග නිවාරණ සේවා, ගිනි නිවීම් සේවා, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මාර්ග නඩත්තුව, ඉඩම් හා පරිසර සංවර්ධනය, වීදි ආලෝකකරණය, ජලය සහ ජලාප්‍රවාහන, පශු වෛද්‍ය සේවා වැනි සේවාවන් සැපයීම සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතුය. මේවාට අමතරව සමාජ සේවා, ක්‍රීඩා සහ විනෝදාස්වාදය සපයන දෙපාර්තමේන්තු ගණනාවක් මෙන්ම මූල්‍ය, ගාස්තු, ලේකම් සහ පුහුණු දෙපාර්තමේන්තු සමග පුස්තකාල සේවා වලින්ද සමන්විතය.

1865 දී කොළඹ මහ නගර සභාව පිහිටුවන ලද අතර එහිදී කොළඹ නාගරික කොමසාරිස්වරයාට ද සුවිශේෂ බලතල පිරිනමා ඇත.

නගරයේ සෞඛ්‍ය බලධාරියා වන්නේ කොළඹ මහ නගර සභාවයි. ඉඩම් අත්පත් කර ගැනීමේ බලය ද නාගරික කොමසාරිස්වරයාට පිරිනමා ඇත.

එජාප බලකොටුවක් !

කොළඹ මහ නගර සභා ඉතිහාසය ගත්විට වැඩිම කාලසීමාවක් එහි පාලනය හොඹවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි.

පසුගිය වසර 50 තුළම නගරය පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය (එජාප) විසිනි. ඔවුන්‌ගේ ව්‍යාපාරික හිතකාමී ප්‍රතිපත්ති ඊට හේතුවන්නට ඇතැයි විශ්වස කෙරෙයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී කොළඹ නගර සභාවේ පාලනය තමන් සතු කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැඩි ප්‍රයත්නයක නිරත විය.

2006 වසරේදී කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වු අතර එහිදී එක්සත් ජාතික පක්ෂය ඇස් කන්නාඩිය ඡන්ද ලකුණු යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායමකට සහය පළ කළේය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලැබූ ඇස් කන්නාඩිය යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායම කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර ගත් අතර එවර ද කොළඹ පාලනය හිමි කර ගැනීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි විය.

අනතුරුව පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ මහ නගර සභාවේ බලය හිමි කරගත්තේය.

ප්‍රතිවාදී පක්ෂ දෙකක් වු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර එක්ව ඡන්ද සටනට එක්වීම මෙහිදී කැපී පෙනෙයි.

ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ කොළඹ ප්‍රධානම ප්‍රතිවාදී පක්ෂ වන්නේ සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගයයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදීද කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධුරය සඳහා තරග කරන වත්මන් පුරපතිනිය වන රෝසි සේනානායක කොළඹ මහ නගරසභාවට තේරී පත්වු පළමු පුරපතිනිය වේ.

රෝසි සේනානායක බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කළේ 'ඉදිරියේදී තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන' බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ මහ නගර සභාව සඳහා වෙනම ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නොමැත.

සමගි ජනබලවේගය වෙනුවෙන් කොළඹ නගරාධිපති ධුරය සඳහා තරග කරන මුජුබර් රහුමාන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “කොළඹ එක් ප්‍රදේශයක නෙළුම් කුළුණ, තවත් පැත්තක විශාල හෝටල් ගොඩනැගිලි, නමුත් බහුතර ජනතාවක් ජීවත්වන ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් හෝ නැහැ.”

ඔහු අවධාරණය කර සිටියේ තමා නගරාධිපති වුවහොත් නගරයේ ජීවත්වන අඩු ආදයම් ලාභී බහුතරය වෙනුවෙන් ලැබිය යුතු වරප්‍රසාද ලබාදීමට පියවර ගන්නා බවයි.

“අඩු අදායම් ලාභී ජනතාව වෙසෙන ප්‍රදේශ ගැන විශේෂ අවදානය යොමු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නවා.”

“මම මේ නගරයේ ඉපදිච්ච කෙනෙක්. මම හැදුණේ මේ නගරයේ. මම ඉගෙන ගත්තේ මේ නගරයේ. මම ජීවත් වෙන්නේ මේ නගරයේ. ඒ නිසා මට මේ නගරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.” යනුවෙනි.

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අතහැර කොළඹ මහ නගර සභාවට තරග කරන්නේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත්, දේශපාලන තීන්දුවක් ලෙස මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.

“මම ගත්තේ ඉතාම විශාල අභියෝගයක්. සමගි ජනබලවේගය මේ ආණ්ඩුව පලවා හැරීම සඳහා වූ ජනමතයක් අපි ගොඩ නගන්න ඕනේ.මේ මැතිවරණය ජනමත විචාරණයක්. මේක ජනමත විචාරණයක් හැටියට මම පාවච්චි කරනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ජනබලවේගය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන ව්‍රායී කැලී බල්තසාර් බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කළේ “කොළඹ වතුවල අපේ ජනතාව ජීවත්වෙනවා. අවුරුදු ගාණක් ඔවුන්ගේ ප්‍රශ්න විසඳිලා නැහැ, කොළඹ ව්‍යාපාරික ජනතාවගේ ගැටලු වගේම, වතු ජනතාවගේ ගැටලු පිළිබඳවත් අපි සොයා බලනවා.”

ඇය පෙන්වා දෙන්නේ “කොළඹ අපි හිතන විදිහට විවිධත්වයක් තියෙන තැනක්. සංවර්ධනය කියලා කරලා තියෙන්නේ පිටින් කරන සංවර්ධනය කියලා කියන එකක්. ඊට එහා තිරසාර විදිහට තමා අපිට විසඳුම් හොයන්න වෙන්නේ. පරිසරය, ආර්ථික, සෞඛ්‍ය, නිවාස ප්‍රශ්නවලට.කොළඹ සංකිර්ණ තැනක්. ඒ සංකීර්ණ බව තේරුම් අරගෙන තිරසාර විදිහට තමා අපිට ඒකට මුහුණ දෙන්න වෙන්නේ.” යනුවෙනි.

“අපේ දේශපාලන ව්‍යාපාරයේ වරප්‍රසාද නැහැ. මම මෙතෙනට එන්නේ කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය වෙලා නෙමෙයි.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

සුපිරි නිල නිවසක්

කොළඹ මහ නගරසභාවේ නගරාධිපති ධුරයට වැටප්, දීමනා,නිල වාහන ඇතුලු වරප්‍රසාද රැසක් හිමි වෙයි.

නගරාධිපතිවරයාට නගර සභාව මගින් නිල නිවසක් ද පිරිනු ලබයි.

කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක කොළඹ නගරාධිපති නිල නිවස පිහිටා ඇත.

මහජන දේපළක් වන මෙහි වර්තමාන වටිනාකම රුපියල් බිලියන ගණනක් වන බව කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප සමඟ සඳහන් කළේය.

නිදන කාමර, සාකච්ඡා ශාලා, උද්‍යාන මෙන්ම වෙනම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද ඊට ඇතුළත්ය.

සේවකයින් 9000ක්

කොළඹ මහ නගර සභාව සතු සේවකයින් සංඛ්‍යාව 9000කි.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන සඳහන් කළේ, ඉංජිනේරුවන් 110ක්, වෛද්‍යවරුන් 100ක්, ගණකාධිකාරිවරුනන් 38 දෙනෙකු සහ පරිපාලන සේවා නිළධාරීන් ද ඒ අතරට ඇතුළත් වන බවය.

නගර සභාව සතුව මාතෘ නිවාස සහ සායන ද ඇත. නගරය ආශ්‍රිත ත්‍රිපෝෂ ලබා දීම් වැනි සියලු සේවා කොළඹ මහ නගර සභා වියදමින් ක්‍රියාත්මක වෙයි.


වෙනමම පුණ්‍ය කොමසාරිස්වරයෙකු සේවය කරන එකම පළාත් පාලන ආයතනය වන්නේ ද කොළඹ මහ නගර සභාවයි.

කොළඹ මහ නගර සභාව විසින් පෙර පාසල් නඩත්තු මෙන්ම වෘත්තීය පුහුණු පාසල් ද පවත්වා ගෙන යනු ලබයි.

නගරයේ පිහිටි ක්‍රීඩාංගණ සහ වෙළෙඳපොල සියල්ල ද කොළඹ මහ නගර සභාව සතු වෙයි.

ඒ අනුව මෙම සියලු දේපළ හා වත්කම්වල නිසි කළමනාකරණ වගකීම පැවරෙන්නේ කොළඹ මීළඟ නගරාධිපතිවරයාට අතටය.


(BBC සිංහල සේවය )

No comments

Ads Place