Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රීඩා ඇමැති පත්කළ විශේෂ කමිටුව ඉදිරියේ ‘බෝන් අගේන්‘ දිවැසිවරයා පච හලයි

අවසානයේදී ‘ලෝක කුසලානයේදී අපට මොකද වුණේ?’ යන්න කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළේය....




අවසානයේදී ‘ලෝක කුසලානයේදී අපට මොකද වුණේ?’ යන්න කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව විසින් සිය වාර්තාව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා අතට පත්කරන ලදි. එම වාර්තාවේ කරුණු තවමත් නිල වශයෙන් මාධ්‍යයට හෙළිකර නොමැතිමුත්, ‘අරුණ‘ පුවත්පත මගින් එහි සදහන් ඇතැම් කරුණු පාදක කොටගනිමින් ලිපියක් පළ  කර තිබේ. එහිදී බෝන් අගේන් ආගමික කල්ලියේ බලබෑම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යොමුවීම සහ එම කල්ලිය මෙරටදී මෙහෙයවන පුද්ගලයකු වන ජෙරම් ප්‍රනාන්දු නමැත්තා කමිටුව ඉදිරියේ සත්‍ය සගවමින් කළ ප්‍රකාශ ගැනද මෙම ලිපියෙන් හෙළිදරව් කර තිබේ.

එම ලිපිය පහළින්…


මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යනු ජාතික මට්ටමෙන් සංවේදී විෂයකැයි කීම අතිශෝක්තියක් නොවේ. ක්‍රිකට් දිනන විට රටම ප්‍රීතිඝෝෂා කරන අතර ක්‍රිකට් පරදින විට රටම සුසුම්ලන්නේය. ගමේ කෝපි කඩේ සිට දියවන්නාව මැද දෙසීය විසිපහේ සභාගැබ දක්වාම එය මාතෘකාවක් බවට පත්වන්නේය. ඒ අනුව ක්‍රිකට් ලොව මහේශාඛ්‍යයන් වන ඉන්දියාව මෙන්ම පකිස්තානයද පරදවමින් ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් වැඩිකලක් යන්නට මත්තෙන් පැවැති 2022 පන්දුවාර 20 අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේදී වැඩි දුරක් නොයා නතරවීමද ‘ජාතික කථිකාවක්’ බවට පත්විය. අවසානයේදී ‘ලෝක කුසලානයේදී අපට මොකද වුණේ?’ කියා විමසීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සිය ඇමැති බලතල ප්‍රකාරව පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුව විසින් සිය වාර්තාව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා අතට පත්කරන ලදි. එම වාර්තාවේ කරුණු තවමත් නිල වශයෙන් මාධ්‍යයට හෙළිකර නොමැතිමුත්, එහි අන්තර්ගතය ගවේෂණය කිරීමට ‘අරුණ’ට හැකියාව ලැබිණි. මේ හෙළිදරව් කරනුයේ මෙම කමිටුව විසින් අවධානය යොමුකරන ලද කරුණු අතර එක් විශේෂිත කරුණක් වූ ‘බෝර්න් අගෙන්’ නම් ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑමක් වූයේද යන්න සම්බන්ධයෙන් වන වාර්තාවේ අන්තර්ගතයයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ජල්ලි අල්ලන පිල්ලි අතර ‘බෝර්න් අගේන්’ කල්ලි ගැන කියැවෙන්නට ගත්තේ අද ඊයේක නොවේ. සමහරක් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට අහසින් පාත්වීමත්, සමහරක් ක්‍රීඩකයන් කොතරම් දක්ෂතා දැක්වුවද ජාතික කණ්ඩායමේ දොර විවර නොවීම සහ කණ්ඩායමෙන් හැලී යෑම ආදී අකටයුතුකම් හමුවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන අදිසි හස්තය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානීය සාධකයක් ලෙසද ‘බෝර්න් අගේන්’ ගැන කලෙක විවේචන එල්ලවන්නට විය. දෙවියන් වහන්සේගේ ඒජන්තවරයා ලෙසින් පෙනී සිටින ‍‘පාස්ටර් ජෙරොම්’ නැමැත්තාගේ ක්‍රියා කලාපය ගැන මෙහිදී විශේෂයෙන් කියැවුණු අතර ඒ අනුව ඔහු මෙම පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට කැඳවා ඇත.

අදාළ වාර්තාවට අනුව ‘ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු’ හෙවත් පාස්ටර් ජෙරොම් මෙහිදී පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ තමන්ව හඳුන්වා දී ඇත්තේ ‘දිවැසිවරයකු’ ලෙසය.

‘ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ’ විසින් ලබා දුන් ආත්මයක් උපයෝගී කර ගෙන දුකට සහ ආබාධයන්ට පත්වූ බොහෝ පිරිසකට කායික සහ මානසික සුවය ලබා දෙමින් කටයුතු කරන බවටත්, එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන්ගෙන් යමෙකු අනුගාමිකයන් වශයෙන් ඔහුට මුහුණට මුහුණ හමුවී නැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතයත් සමග හෝ ක්‍රිකට් ආයතනයේ සිටින නිලධාරීන් සමග කිසිම සම්බන්ධතාවක් නොමැති මුත් දේව යාඥාවලට ඔවුන් පැමිණ සිටියාද කියා නොදන්නා බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ කිසිවෙකු සත්‍ය වශයෙන්ම ඔහුගේ පිහිට පතා පැමිණ නොමැති බවටත් පවසා ඇත’ යනුවෙන් එම වාර්තාවේ පාස්ටර් ජෙරම්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් සඳහන් වේ.

‘එනමුදු, තවත් වරෙක ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව තම දේවස්ථානයේ සාමාජිකත්වය ගත් අනුගාමිකයන් හත් දෙනකු පමණ සිටින බවටත්, රුවන් කල්පගේ, භානුක රාජපක්ෂ, වැන්ඩර්සේ, ලින්ඩන් හැනිබල් සහ රොෂාන් අබේසිංහ වගේ අය එහි සාමාජිකයන් වන බවටත්, කුමාර් සංගක්කාර මුලින් සිටියද දැන් නොමැති බවටත් පැහැදිලිවම පවසා ඇත’ යනුවෙන් සඳහන් කරන එකී වාර්තාවේ මෙම ප්‍රකාශවල පරස්පරතාව පාදක කරගනිමින් ‘මේ අනුව ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ‘බෝර්න් අගේන්’ අනුගාමිකයන් පිළිබඳව මෙම සාක්ෂිකරු සත්‍ය කරුණු වසන් කරමින් සාක්ෂි ලබා දෙන බවට පැහැදිලිවම අනාවරණය වන හෙයින්, මෙම ආගමික නායකයා ක්‍රියා කරන්නේ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ අනුගාමිකයන් තම වසඟයේ තබා ගනිමින් ආරක්ෂා කර ගැනීම සඳහා බව සාධාරණව සිතෙන යමෙකුට නිගමනය කළ හැක’යනුවෙන් ද සඳහනක් වේ.

ඒ අනුව දෙවියන් වහන්සේගේ දිවැසිවරයා පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ බොරු දොඩා ඇති වගක් ගම්‍ය වේ.

එසේ වුවද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළට රිංගා ගැනීමට ‘බෝර්න් අගේන්’ කල්ලිය ගත් උත්සහයන් ගැන සාක්ෂි ඇතැයි පරීක්ෂණ මණ්ඩල වාර්තාවේ 23 වැනි පිටුවේ සඳහන්ය. ඒ මෙසේය.

ප්‍රමෝද් භානුක බණ්ඩාර රාජපක්ෂ නමැති ක්‍රීඩකයා විසින් නොබියවම ඔහු උපතින් බුද්ධාගම වැලඳ ගෙන සිටියද, 2015 අවසාන භාගයේ සිට ‘බෝර්න් එගේන්’ ආගමේ අනුගාමිකයෙක් බවට පවසා ඇත.

මේ හැරෙන්නට ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසෙ, සදීර සමරවික්‍රම සහ ක්‍රිකට් පුහුණුකරු රුවන් කල්පගේ, ක්‍රිකට් විනිසුරුවරුන් වන ලින්ඩන් හැනිබල් සහ ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහද ‘බොර්න් අගේන්’ ආගම වැළඳ ගත් අයවලුන් වන බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වූ ඈෂ්ලි ද සිල්වා මහතාත්, ජෙරම් ජයරත්න මහතාත් ‘බෝර්න් අගේන්’ අනුගාමිකයන් බවට ප්‍රසිද්ධ කරුණක් වන බවටද, ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට යම් ආකාරයක බලපෑමක් සිදු වූවාද යන්න නොදන්නා මුත්, ප්‍රශ්න තියෙන අය සොයා බලා උපකාර කිරීමේ මුවාවෙන් ඒ අයව අනුගාමිකයන් බවට පත් කර ගැනීමට උත්සාහ දරන බවටද සාක්ෂි ඉදිරිපත් වී ඇත.

එසේම බිනුර ප්‍රනාන්දු ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලිය අතරතුර කකුලේ ආබාධයකට ලක්වන බවට අනාවැකි පැවසීමට හැකිවූයේ තමන්ට දිවැසිවරයෙක් හැටියට දේව හඬ ඇසෙන නිසා යැයි පාස්ටර් ජෙරොම් පවසා තිබීම පාදක කරගනිමින් මණ්ඩලය විසින් ඔහුගෙන් මීළඟ ලෝක කුසලාන සම්බන්ධයෙන් අනාවැකියක් විමසා ඇත. එම විමසුම සහ එයට පාස්ටර්වරයාගෙන් ලැබුණු පිළිතුර හා එකී ආගමේ සුවකිරීම්වලට අදාළව මණ්ඩලයේ මතය තැනක මෙසේ සඳහන් කර ඇත.

‘ඔබතුමාට තිබෙන ආත්මික බලයත් සමග මීළඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනවීමට හැකියාවක් පවතිනවාද’ යනුවෙන් කමිටුව විමසූ ප්‍රශ්නයට, ‘‘මම දිවැසි වාක්‍යයක් කියන කොට එහි මූලාශ්‍රය මම නොවන නිසාත්, මට හම්බ වෙන්නේත් පණිවුඩයක් නිසාත් මට ලැබෙන දේව අණ අනුව පමණක් මම ක්‍රියාත්මක වන නිසාත් මට ස්වාධීනව ක්‍රියා කළ නොහැකියි.’’ යනුවෙන් පමණක් නොව, දෙවියන් වහන්සේ විසින් පණිවුඩයක් ලබා දුනහොත් පමණක් පුද්ගලයකුට උදව්වක් කරන්න හැකි බවත්, ඒ අනුව දෙවියන් වහන්සේ විසින් යමෙකුට උදව්වක් කරන ලෙසට පණිවුඩයක් නොදුන්නහොත් ඒ පුද්ගලයාට උදව්වක් කිරීමට හැකියාවක් නොමැති බවටත්, එබඳු අවස්ථාවක යමෙකුට පිහිට වන්නේ ඔහු වටා සිටින පිරිසගෙන් උදව් ලබා ගනිමින් බවටත්, පැහැදිලිවම පවසා ඇත.

ඒ අනුව බෝන් අගෙන් ආගමේ කායික හෝ මානසික සුවකිරීම් සම්බන්ධයෙන් ඇත්තේ අනියතබවක් යැයි වාර්තාවේ සඳහන්ය.

එසේම මෙම පාස්ටර්වරයාගේ අනාවැකි ද පුදුම වීමට තරම් කරුණක් නොවන බව වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ඔස්ට්‍රේලියාවේ පැවැති ටී.20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ දුෂ්මන්ත චමීර සහ ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් දෙදෙනාට අවුරුදු දෙකක කාලයක් තිස්සේ බරපතළ ආබාධ තිබී ඇති මුත් (එක්කෙනෙකුට වළලුකරෙහි ආබාධයක් සහ අනෙක් අයට කකුලෙහි මස් පිඬු වේදනා) ශාරීරික යෝග්‍යතා කළමනාකරණය කරමින් ටී.20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි කළ බවට පවසා ඇත. ඒ අනුව, බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයා ක්‍රීඩා පිටියේදී තුවාල වන බවට කරනු ලබන අනාවැකිය, පුදුමයට කරුණක් නොවේ.

මේ අතර කණ්ඩායමේ සිටින බෞද්ධයකු වන චාමික කරුණාරත්න බෝර්න් අගේන් පාස්ටර්වරයකු වන ‘ජෙරී’ නමැත්තකු විසින් එම ආගමට හරවා ගැනීමට ගත් උත්සහයක් ගැන ඉඟියක් ද මෙම වාර්තාවේ සඳහන් වේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින බෝර්න් අගේන් අනුගාමිකයන් සම්බන්ධව සාක්ෂකරුවන් සාක්ෂි ලබා නොදීම හෝ කරුණු වසන් කිරීමක් නිරීක්ෂණය වූ බව මෙන්ම ඇතැම් ක්‍රීඩකයන් තම අනාගතයට බලපෑමක් වේය යන බිය මත අදාළ සාක්ෂි දීමෙන් වැලකී සිටි බව ද නිරීක්ෂණය වූ බවත් ඒ හේතුවෙන් කණ්ඩායමට බෝර්න් අගේන් බලපෑම සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට ඒමට නොහැකි බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත.

එසේ වුවද ‘බෝර්න් අගේන්’ ආගම හේතුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වන බවත්, ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවත් පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත.


(උපුටා ගැනීම – අරුණ පුවත්පත)

No comments

Ads Place