Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාල කැලේ වැනසූ පිරිස අතර ඇමති පුතෙක්

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා පෙරවරුවේදී ස්පෝට්ස් වර්ගයේ ජීප් රථ පහක් ඇතුළු කෙරුණු අතර,සවස් කාලයේදී එක පෙළට එම ජීප් රථ...

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා පෙරවරුවේදී ස්පෝට්ස් වර්ගයේ ජීප් රථ පහක් ඇතුළු කෙරුණු අතර,සවස් කාලයේදී එක පෙළට එම ජීප් රථ 35 ක් පැමිණියේය.එක වාහනයකට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඟ පෙන්වන්නකු බැගින් ලබා දුන්නද,වාහන 35 කට මඟපෙන්වනන් 35 ක් ලබාදීම උභතෝකෝටිකයක් විය.ඊට හේතුව වූයේ එතරම් මඟපෙන්වනන් පිරිසක් එහි නොසිටීමය.මේ නිසා යාල ජාතික වනෝද්‍යානයේ බලධාරීන් මෙම ජිප් රථ පහකට එක් මඟ පෙන්වන්නා බැගින් ලබාදීමට කටයුතු කළේය.

යාල ජාතික වනෝද්‍යානය ඇතුළත මාර්ගවල දුර කිලෝමීටර් 125 කි.ස්පෝට්ස් වර්ගයේ නවීන ජිප් රථවලින් ගමන් කළ පිරිස සියළු දෙනාම පාහේ තරුණ වයසේ පසුවන්නන්ය.ඔවුන්ට අවැසි වූයේ වනෝද්‍යානයයේ සතුන් බලනවාට වඩා සිය වාහන වලින් වැඩ පෙන්වීමටය.මෙම පිරිස අතර කැබිනට් ඇමැතිවරයෙකුගේ පුතෙකු සිටි බවද පැවසේ.ජිප් රථ හතක පිරිස යාල මාර්ගවලින් පිටතට ගොස් සතුන් ගැවසෙන ප්‍රදේශවල වාහන ධාවනය කළේ ට්‍රැක්ටර්වලින් කුඹුරු හාන පරිද්දෙනි.යාල වනජීවි බලධාරීන් කියා සිටින්නේ මඟපෙන්වන්නන්ගේ (Trackers) උපදෙස් නොතකා මෙම පිරිස වාහන ධාවනය කර තිබෙන බවය. ස්ට්‍රෝබෙරි නැමැති කොටි දෙන සහ ඇගේ පැටවුන් තිදෙනා ජීවත් වන්නේද මෙම කලාපයේය.

සෑම වාහනයකටම මඟ පෙන්වන්නෙකු යොමු කරනු ලබන්නේ මාර්ග පෙන්වීමට පමණක් නොව සංචාරකයින් අතින් වන සතුන්ට යම් හානියක් සිදු වන්නේ නම් එය පෙන්වාදී,නැවත එම වරද සිදු නොවීමට වග බලාගැනීමටය.නමුත්,මෙම පිරිස ජිප් රථ පදවා ඇත්තේ සතුන් පිළිබඳව වගේ වගක් නැතිවා සේය.


“යාල කලාප අංක දෙකට වාහන පහක් උදේ ගියා.එම වාහන සමඟ සංචාරක මඟ පෙන්වන්නන් (Trackers) තිදෙනකු යැව්වා.කලාප අංක දෙකට යන්න වෙලාව මදි වෙලා හවස තවත් ජිප් තිස් පහක් (35) ආවා.එම වාහනවලට වෙන වෙනම බලපත්‍ර 35 ක් ලබා දුන්නා.ඒ වාහන තිස් පහට සංචාරක මඟ පෙන්වන්නන් තිස් පහක් දෙන්න අපිට නෑනේ.ඒ නිසා එක් සංචාරක මඟ පෙන්වන්නෙකුට වාහන පහ බැගින් බාර දුන්නා.මේ ජීප්වල ආ පිරිස මඟදී වෙනත් මාර්ගවල ගිහින් තිබෙනවා.මේ අය අතරින් හත් දෙනකු සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් මඟහැරලා ගිහින් සතුන්ගේ හැසිරීමට බාධා වන ආකාරයට වාහන ධාවනය කරලා තියෙන්නේ.


යාලට ආවේ “අයන් මෑන්“ නමින් ඕෆ් රෝඩ් යන ටීම් එක.ඔවුන් රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්.පාර්ක් එක බලන්න එද්දී අපිට කාටවත් එපා කියන්න බෑනේ.නමුත්,පිරිස ඇතුළට ගිහින් හාපු එකෙයි ප්‍රශ්නය තියෙන්නේ.මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා එම වාහන හතේ අයිතිකරුවන්ට වරෙන්තු කිරීමට කටයුතු කරනවා.“යැයි යාල ජාතික වනෝද්‍යානයයේ භාරකරු මනෝජ් විද්‍යාරත්න පවසයි.


නමුත්, “අයන් මෑන්“ආයතනයේ හිමිකරු වන සෑම් චන්ද්‍රසෝම කියා සිටියේ මෙම සිද්ධිය වූ දිනයේදී තමාද යාල ජාතික වනෝද්‍යානයේ සිටි බවත්, මෙම සිද්ධිය සම්බන්ධව තමාගේ හෝ තම ආයතනයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.සිය ආයතනයේ සේවා ලබාගත් වාහනවලට ආයතනයේ ස්ටිකර් ඉල්ලා සිටින බවත්,එම ස්ටිකර් සහිත වාහන තිබුණාද නැතිද යන්න පිළිබඳ තමාට නිශ්චිතව ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඔහු පැවසුවේය.


ජාතික වනෝද්‍යානයට වාහන ඇතුළු කිරීම සඳහා ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකු වනජීවි අධ්‍යක්ෂක ජනරාල්වරයාට දැනුම්දී තිබෙන බවත්,ඒ අවසරය අනුව මෙම ජිප් රථ වල පැමිණි පිරිස සිත්සේ වනෝද්‍යානය තුළ හැසිරුණු බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.එමෙන්ම,මෙම සිද්ධිය පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් දැන ගෙන ඇත්තේද සමාජ මාධ්‍ය හරහා සිද්ධිය වී දිනකට පසුවය.


“කට්ටියක් ගිහින් හාලා තියෙනවා.මම නිලධාරීන්ට දැනුම් දුන්නා නඩු දාන්න කියලා.මේ වාහන පාර්ක් එකට විධිමත්ව ඇතුළු කරලා තිබෙනවා.නමුත්,පාර්ක් එක ඇතුළේදී හැසිරුණු ආකාරය ගැනයි ප්‍රශ්නය තියෙන්නේ.නැතුව ඔවුන් පාර්ක් එකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා නෑ.පාර්ක් එක ඇතුලේදී ඔවුන් අවිධිමත්ව හැසිරිලා තිබෙනවා.සමහරු කියනවා මේ කණ්ඩායමට පාර්ක් එකට වාහන ඇතුළු කිරීමට මම අවසරය දුන්නා කියලා.මම එවැනි අවසරයක් දීලා නෑ.අපේ නිලධාරිනුත් දැනගන්න ඕනේ ප්‍රශ්නයක් වුණාම ඒ ගැන අපිව දැනුවත් කරන්න.මේ පිරිස පාර්ක් එකෙන් පිටවෙලා ගිහින් ෆේස් බුක් එකේ දැම්මාට පස්සේ තමයි සිද්ධිය අනාවරණය වුණේ.“යැයි වනජීවි අධ්‍යක්ෂක චන්දන සූරියබණ්ඩාර කීවේය.


පාරිසරික නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම පිරිසට විරුද්ධව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව කටයුතු කළහැකි බවය.


“යම් කිසි කෙනෙක් අවසරයක් ලබාගෙන ජාතික වනෝද්‍යානයකට ගොස් අවසරයට අදාල කාරණා වලට එරෙහිව කටයුතු කරන්නේ නම් හෝ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ කටයුතු වලට විරුද්ධව කටයුතු කරන්නේ නම් එම පනත අනුව කටයුතු කළ හැකියි.එය කළ යුතුව තිබෙනවා.වනෝද්‍යානය තුළ සිටින මඟපෙන්වන්නන් අනීතික කටයුත්තකට උදව් කලා නම් හෝ ඒ කටයුත්ත පිළිබඳව දෙපාර්තමේන්තුවට නිසි පරිදි වාර්තා නොකළේ නම් ඒ සම්බන්ධව විනය පරීක්ෂණයක් සිදුකළ යුතුයි.“යැයි ඔහු කීවේය.


උඩවලව ජාතික වනෝද්‍යානයයේදී කැබිනට් ඇමැතිවරයෙකු ගමන් ගත් වාහනයකට මීට මාස කීපයකට ඉහතදී මුවෙක් හැපී මිය ගියේය.අද වනතුරු ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර නොමැති බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

 

No comments

Ads Place