Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

22 සංශෝධනයට කාරක සභා අවස්ථාවේ තවත් මගඩි

22 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇස් බැන්දුමක් පමනක් බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි. ඔහු මෙසේ පැවසූවේ නිදහස ජනතා සභාව විසින් නාවල පිහිටි ඔව...

22 වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇස් බැන්දුමක් පමනක් බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු මෙසේ පැවසූවේ නිදහස ජනතා සභාව විසින් නාවල පිහිටි ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකදීයි.

පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිත 22 සංශෝධනය ගැන අපේ මතය පැහැදිලි කරන්නට අවශ්‍යයි. ඊට පෙර මේ සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට හේතු පාදක වූ කරුණු අපි මතක් කරන්නට ඕනේ. අපි දන්නවා 2015 යහපාලන ආන්ඩුව 19 වෙනි සංශෝදනය කියා සංශෝධනයක් හඳුන්වා දුන්නා.ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිවරයාගේ බල තල අඩු කොට ඉන් කොටසක් අගමැතිවරයා හරහා පාර්ලිමේන්තුවට පවරන්නට කියා. නමුත් ඒ සංශෝධනය බරපතල විවේචනයට ලක් කලා එදා විපක්ෂය. ඒ අනුව 2020 පත්වූ අළුත් ආන්ඩුව 19 සංශෝධනය අවලංගු කරමින් 20 වෙනි සංශෝධනය අනුමත කර ගත්තා. ඒ අවස්ථාවේ ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජනවරමක් හා 2/3 ක පාර්ලිමේන්තු බලයක් තිබුනා. ජනාධිපතිවරයා ගැන විශාල විශ්වාසයක් තබා සිටි ජනතාව 20වන සංශෝධනය අනුමත කලා.

නමුත් වසර 2 ක් ගත වන විට ජනාධිපතිවරයා ගැන විශ්වාසය රටේ බිඳ වැටෙන්න පටන් ගත්තා. ජනතාව පාරට බැස්සා. ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස තීන්දු ගන්නා නිසා ජනාධිපති බලතල අඩු කරන්නට ඕනෑ කියන මතයක් යලිත් කරලියට ආවා . මේ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාම අප්‍රේල් මාසයේ අග කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලා 19වන ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කරන්නට ඕන කියා.ඊට අමතරව එවකට පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් පමනක්ව සිටි විජේදාස රාජපක්ෂ මංත්‍රීවරයා 21 වෙනි සංශෝධනය නමින් පුද්ගලික මංත්‍රීවරයෙක්ගේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවා ජනාධිපති බලතල අඩු කරන්නට. ඊට අමතරව සමගි ජනබලවේගයත් පුද්ගලික මංත්‍රී පනතක් ගෙනාවා ජනාධිපති දූරය සම්පූර්ණයෙන්ම අහෝසි කරනා යෝජනාවක් සමඟ.

මේ දෙකම සිද්ධ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපති. ඊට පස්සෙ අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කමෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති උනා. විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති උනා. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබුනා තමුන් සකස් කරපු පනත රජයේ යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට ගෙන එන්නට. මේ පනත සම්බන්ධයෙන් සාකච්චා වට ගානක් පැවත්වූවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය විදියට යම් යම් වෙනස් කම් එහි කරනු ලැබුවා. නමුත් පනත පාර්ලිමේන්තුවට එන්න කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාත් ගෙදර ගියා. ඊට පස්සෙ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති උනා. ඊට පස්සේ විජේදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයට අවශ්‍ය විදියට තවත් වෙනස් කම් කරලා පනත 22වන සංශෝධනය නමින් ගැසට් කරා. අපි දන්නවා ඕනෑම පනතක් ගැසට් කලාට පස්සේ එය ශේෂ්ටාධිකරණයේ අභියෝගයට ලක්වෙනවා. ඒ අනුව ශේෂ්ඨාධිකරනයත් මේ පනත විමසලා එහි යම් යම් කරුණු ව්‍යවස්ථානුකූල නෑ, යම් යම් කරුණු අනුමත කරගන්නට නම් පාර්ලිමේන්තුවේ අනුමැතියත් මදි. ඒවා සඳහා ජන මත විචාරණ අවශ්‍යයි කියා ප්‍රකාශ කලා. දැන් පාර්ලිමේන්තුවට විවාදය සඳහා ඉදිරි පත් වන්නේ මේ සියල්ල හරහා ගිය පනතක්.

මේක පාර්ලිමේන්තුවේ විවාද කලාට පසුව අනුමත වෙන ආකාරයත් සාමාන්‍ය ජනතාව වටහා ගන්නට ඕනේ. මොකද ඒක ඉතා වැදගත්.

පනතක් පාර්ලිමේන්තුවේ විවාද කිරීම කියන්නේ දෙවන වර කියවීම කියලා. සාමාන්‍ය පනතක් නම් සරල බහුතරයෙන් අනුමත උනත් 22 සංශෝධනය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනා නිසා එය සම්මත කරන්නට 2/3 අනුමැතියක් අවශ්‍යයි. 2/3 අනුමැතිය ලැබුනොත් එතැනින් වැඩේ ඉවර නෑ. මොකද ආන්ඩුවට හා විපක්ෂයට මේ පනතට තවදුරටත් සංශෝධන ඉදිරිපත් කරන්නට අවස්තාවක් තිබෙනවා. එයට කියන්නේ කාරක සභා අවස්ථාව කියලා. සාමාන්‍යයෙන් කාරක සභා අවස්ථාවේ සිද්ධ වන්නේ පනතක තිබෙන පොඩි පොඩි අඩු පාඩු සාකච්චා කොට වෙනස් කිරීම මිස බරපතල වෙනස් කම් නොවේ. නමුත් පාර්ලිමේන්තුවේ මේ සදාචාරත්මක සම්ප්‍රදායත් වෙනස් කරපු දෙපලක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා හා විජේදාස රාජපක්ෂ මහත්තයා. යහපාලන ආන්ඩුවේ අගමැති හා අධිකරණ ඇමති විදියට මේ අය කාරක සභා අවස්ථා භාවිතා කොට පනත් වලට බරපතල සංශෝධන ගෙන එන ඉතා අශිෂ්ට සම්ප්‍රධායක් හඳුන්වා දුන්නා. හොඳම උදාහරනයක් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය හඳුන්වා දුන් අවස්ථාවේ කාරක සභා අවස්ථාවේ පනත වෙනස් කරපු හැටි ඒ ගැන කල්‍යානන්ද තිරාණගම මහත්තයා පොතක් පවා ලිව්වා. ඒ නිසා මේ 22වන සංශෝධනය ගෙන එන අවස්තාවෙත් දෙවන වර කියවීම අපි ඔක්කොම එකතුවෙලා 2/3 ක අනුමැතිය දුන්නත් කාරක සභා අවස්තාවේ තව මගඩි කරන්නට උත්සාහ කරන්නට ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් තියෙනා වගන්තිය කාරක සභා අවස්ථාවේ ඉවත් කරන්නට උත්සාහ කරන්නට පුළුවන්. පාර්ලිමේන්තුව අවුරුදු 2 1/2 කට පස්සේ විසුරවන්නට පුළුවන් කියනා වගන්තිය වෙනස් කොට අවුරුදු 4 1/2 කට විසුරවන්න බෑ කියලා වගන්තියක් ගෙන එන්නට පුලුවන්. පලාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තියෙන බල තල වෙනස් කරන සංශෝධනයක් ගෙන එන්නට පුලුවන්. අපි දන්නේ නෑ මොන මොන දේවල් උත්සාහ කරයිද කියලා. ඒ කෙසේ වෙතත් කාරක සභා අවස්ථාවෙන් පසු 3 වෙනි කියවීම හෙවත් අවසාන චන්ද විමසීම තියෙනවා. ආන්ඩුව මොනවා හරි මගඩි කරන්නට උත්සාහ කලොත් කාරක සභා අවස්ථාවේ විපක්ෂය අවධියෙන් ඉන්නට ඕනේ මේක 3 වෙනි කියවීමේදී පරද්දන්නට.

පනත පාර්ලිමේන්තුවේ විවාද කලාට පස්සේ ඒක චන්ද විමසීමකට යනවා.

දැන් මම එන්නම් වැදගත්ම කාරනයට මේ 22 වෙනි සංශෝධනයෙන් අපේක්ෂිත අරමුණ වු ජනාධිපති බලතල අඩු වෙනවාද කියනා කාරණයට. උත්තරය කිසිසේත්ම නෑ කියනා එකයි. දැනට ඉදිරිපත්වෙලා තියෙන පනත නම් රටේ ජනතාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් රවටන ඇස්බැන්දුමක් පමනයි.

ඇයි අපි එහෙම කියන්නේ.

මේ පනතේ වැදගත්ම දේ තමයි ආන්ඩු ක්‍රම ව්‍යවස්තා සභාව පිහිටවීම. මේ සභාවට තමයි ජනාධිපතිවරයා සතු සමහර පත්කිරීම් වල බලය ලැබිය යුත්තේ. ජනාධිපති බලය අඩු කරන්නට නම් මේ බලගතු ආන්ඩු ක්‍රම ව්‍යවස්තා සභාව ජනාධිපතිවරයාගෙන් හා ආන්ඩුවෙන් ස්වාධීන විය යුතුයි. නමුත් මේ 22වන ව්‍යවස්ථාව අනුව එය කිසි සේත් සිදු වන්නේ නෑ. මන්ද මේ ව්‍යවස්ථා සභාවේ සාමජිකයන් 10 දෙනාගෙන් 7 දෙනෙක්ම පත් කරන්නේ ජනාධිපතිවරයා සහ ආන්ඩුවේ අභිමතය පරිදියි. ජනාධිපතිවරයා සහ ආන්ඩුව පක්ෂ දෙකක් නියෝජනය කරනා අවස්ථාවක වුනත් විරුද්ධ පක්ෂ නායකයා හා ජනාධිපතිවරයා එක පක්ෂයකනම් ජනාධිපතිවරයාට ආන්ඩු ක්‍රම ව්‍යවස්තා සභාවේ බහුතරයක් සාමාජිකයන් තීරණය කරන්නට පුලුවන්. ඉතින් කොහෙද ස්වාධීන බවක්. ජනාධිපතිවරයාගේ බල තල මින් අඩු වන්නේ නෑ.

අපි හිතමු යම් වෙලාවක ජනාධිපතිවරයාට ආන්ඩු පක්ෂයත් නෑ, විපක්ෂයත් නෑ කියා,එවැනි අවස්තාවක මේ 22 වෙනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පුලුවන් ආන්ඩු ක්‍රම ව්‍යවස්තා සභාව පත් නොකොට කල් මරන්න අවශ්‍ය නම් තම දූර කාලය පුරාම. ඒ සමබන්ධයෙන් කිසිම දෙයක් අධිකරණයටවත් කරන්නට බෑ.ඒ අනුව ආන්ඩු ක්‍රම ව්‍යවස්තා සභාව පුස්සක් බවට පත් වෙනවා.

දෙවනුව 19 වෙනි ව්‍යවස්තා සංශෝධනයේ මූලික සිද්ධාන්තයක් උනෙ ජනාධිපතිවරයා අමාත්‍ය මන්ඩලය පත් කරනා වෙලේ අගමැති වරයාගෙන් උපදෙස් ගත යුතුයි කියනා එකයි. මේක විශේෂයෙන්ම වැදගත් වන්නේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කන්ඩායම පක්ෂ දෙකකින් උනාමයි. උදාහරණයක් වශයෙන් හිතන්න එන අවුරුද්දේ මැති වරණයකින් ජනතාව පොහොට්ටුව පරද්දලා වෙනත් විකල්ප බලවේගයකට ආන්ඩු බලය දෙනවා කියා . එතකොට සදාචාරාත්මක ක්‍රමය තමයි ජනාධිපති වරයා ඒ කන්ඩායමේ නායකයා අගමැති කොට ඔහුගේ උපදෙස් අනුව කැබිනට් මන්ඩලය පත් කිරීම. නමුත් දැන් තියෙන විදියට ජනාධිපතිවරයාට පුලුවන් කැබිනට් මන්ඩලය තීරණය කරන්න. මේක වෙනස් විය යුතුයි. නමුත් 22 වෙනි ව්‍යවස්ථා සංශෝදනයෙනුත් මෙය සිදු වන්නේ නෑ.

තුන්වෙනි කාරනය තමයි ජනාධිපති වරයා වෙනත් අමාත්‍යාංශ වල ඇමති කම් නොදැරිය යුතුය යන මතය. මෙතැනදීත් කිසිම වෙනසක් වන්නේ නෑ. 22වන සංශෝධනය අනුවත් ජනාධිපතිවරයාට තම කැමති ඕනෑම ඇමති කමක් දරන්නට පුළුවන්. උදාහරනයක් වශයෙන් වෙනත් පක්ෂයක් බලයට පත්වුනත් පාර්ලිමේන්තුව තුල ඔහුට දිගටම මුදල් අමාත්‍යාංශය තියා ගන්න පුලුවන්.

ඉතින් අපි අහනවා 22වන සංශෝධනයට අපි චන්දය දිය යුත්තේ ඇයි කියා. අපට අවශ්‍ය සැබැවින්ම ජනාධිපති බලතල අඩු කරන ව්‍යවස්ථා සංශෝධනයක් මිස ජනතාවත් රවටන ජාත්‍යන්තරයට ලකුණු දාගන්න ගෙන එන බොරු ඇස්බැන්දුමක් නෙමෙයි

 

No comments

Ads Place