Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අදටත් වඩා අර්බුද තිබුණු රටක අභියෝග ජයගත්ත සිරිමාවෝ භූමිකාව!

බණ්ඩාරනායක මැතිනියගේ භූමිකාව අරබයා ඇගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක විසින් සිදුකළ මතක ආවර්ජනයක් මෙම ලිපියට පාදක වී ඇත. “හැමදෙනාම දන්නවා පියාග...



බණ්ඩාරනායක මැතිනියගේ භූමිකාව අරබයා ඇගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක විසින් සිදුකළ මතක ආවර්ජනයක් මෙම ලිපියට පාදක වී ඇත.


“හැමදෙනාම දන්නවා පියාගේ අකල් මරණය අපේ පවුලට තද පහරක් වුණා. ඒ අවාසනාවන්ත උදෑසන අපි ඉස්කෝලේ ගිහින් හිටියේ. ගෙදරින් අපට පණිවුඩයක් එව්වා ඉක්මනට ගෙදර එන්න තාත්තාට අසනීපයි කියා. අපි ගෙදරට ඇවිත් බලනකොට තාත්තව රෝහලට ගෙනිහින්. ගෙයි බිම පුරාම ලේ. අපි හඬාවැටුණා. අපි හිතුවා තාත්තා ජීවත් වෙයි කියා. නමුත් අපේ අවාසනාවටයි රටේ අවාසනාවටයි තාත්තා නැතිවුණා.


පියාගේ මරණින් පසු අපේ අම්මාට තදබල බලපෑම් ආවා ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටෙන්නට ඉඩ නොදී ඉදිරියට ගෙන යා යුතුයි කියා. එතුමිය මුල් අවස්ථාවේදී ඒවා ප්‍රතික්ෂේප කළා. නමුත් බලපෑම බරපතළ විදියට එන්න වුණාම පක්ෂයට නායකත්වය දීමේ වගකීම බාරගත්තා.


ප්‍රථමයෙන් සෙනට් සභාවට ගිහින් අගමැති තනතුර භාර ගත්තා. දෙවනුව මැතිවරණයට ඉදිරිපත්ව ඡන්දයෙන් අගමැති තනතුරට ආවා. අම්මට ඇගේම වූ ස්වාධීන මතයක් තිබුණා. අම්මා තාත්තා දෙදෙනා පුරුද්දක් වශයෙන් හැමදාම උදේ තේ පානය කරද්දී දීර්ඝ දේශපාලන සංවාදවල නිරත වූ අයුරු මා දුටුවා. තාත්තා අගමැති තනතුරට පැමිණි මුල් කාලයේ වැඩ වර්ජන, කම්කරු අරගල නිතර ඇති වුණා. ඒ අවස්ථාවල එතුමිය තාත්තට කිව්වා


“ඔයා හරි දුර්වලයි. ඔහොම ඉඳලා බෑ තදින් ඉන්න ඕනේ කියලා “


අම්මා තාත්තට දිගට හරහට උපදෙස් දුන්නා. තාත්තා ඒවා පිළිගත්තද නැද්ද කියන්න මම දන්නෙ නෑ.


දේශපාලන විෂයයන් ගැන එතුමියට දැනීමක් තිබුණා. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව බොහොම පොඩියි. දැන් වගේ ලොකු සෙනඟක් කැබිනට්ටුවේ හිටියේ නෑ. අපේ ගෙදර පල්ලෙහා කෑම මේසේ 12 දෙනකුට විතර වාඩි වෙන්න පුළුවන්. ඒක වටේ වාඩිවෙලා සාකච්ඡා කරනවිට එතුමියත් ඇවිත් අහගෙන ඉන්නවා.


කවුරුවත් ඒකට විරුද්ධ වුණේ නැහැ. එතුමිය සාලය හරහා යන එන ගමන්, කමෙන්ට් එකක් දාගෙන යනවා. එතුමිය හොඳ දැනීමක් ලබාගෙන තිබුණා. අම්මත් තාත්තත් කවදාවත් රණ්ඩු දබර වෙලා නෑ.


“ඔව් සිරිමා. එහෙම තමයි සිරිමා.” කියලා තාත්තා සද්ද නැතුව ඉන්නවා එච්චරයි එයා කළේ.


එතුමියට නායකත්වයට සහජ හැකියාවක් පිහිටා තිබුණා. බළන්ගොඩ පවුලක බොහෝ පරිස්සමින් හදපු ගැහැනු ළමයෙක් ගෙනත් කොළඹ හතේ සෙන්ට් බි්‍රජට් පාසලේ හොස්ටල් එකේ නතර කළා. එහෙම ඉන්නකොට එතුමියට දැනෙන්න ඇති මම ඉඳලා ආපු ලෝකය මේ කොළඹ ලෝකයට වඩා මුළුමනින්ම වෙනස්. නමුත් ඒ ලෝකෙ ඉන්නවා වගේම මේ ලෝකෙටත් මම ඇතුළු වෙන්න ඕනේ කියන අදහස. ඒක හොඳ විනයගරුක පාසලක්. එතුමිය හොඳට කීකරුව ඒ පරිසරයට අනුවර්තනය වුණා.


ඊට පස්සේ එතුමියට කසාදයක් කරලා දුන්නා. එතුමිය කෙනෙක් දැකලා ආදරේ කරලා නෙමෙයි විවාහ වුණේ. හඳහන් බලලා ගොඩක් ජරමර කරලා තමයි මවුපියන් විසින් සුදුස්සා තේරුවේ. එතුමිය ඒකට හා කිව්වා. දෙන්නාගේ වයස පරතරය අවුරුදු 17ක්. එතුමිය සිතන්නට ඇති. මවුපියන්ට මම ආදරෙයි. මම ඒගොල්ලන්ට ගරු කරනවා. පවුලෙ වැඩිමලා මම. මම වැරදි විදියට හැසිරුණොත් අනිත් අයටත් බලපානවා. ඒ නිසා මම එකඟ වෙනවා කියලා.


ඊට පස්සේ කොළඹට ඇවිත් පදිංචි වුණා. ඉතා ඉක්මනින්ම ඒ පසුබිමට හැඩගැහුණා. අම්මා කවදාවත් අපේ පියාට කිව්වේ නෑ. “එහෙ යන්න එපා. මෙහෙ යන්න එපා. අරක කරන්න එපා. මේක කරන්න එපා”


අම්මා එතුමාගේ දේශපාලන ගමන කැබිනට් එක ගන්න තීරණ අනුව කරගෙන යන්න සහාය වුණා. කවදාවත් තර්ක විතර්ක කරන්න ගියේ නෑ.


තාත්තා දේශපාලඥනයන් සමඟ කරන සාකච්ඡාවලට එතුමිය සම්බන්ධ වුණේ නැහැ. අගමැති තනතුරට පැමිණෙන තෙක් එතුමියට අනෙකුත් දේශපාලනඥයන් සමඟ විශේෂ සම්බන්ධයක් තිබුණේ නැහැ.


එතුමියට පුදුමාකාර ආසාවක් තිබුණා ජාත්‍යන්තර දේශපාලනයට. ඒක අපි සියලු දෙනාටම ඉතාමත් පැහැදිලිව පෙනුණා. හරියට මලක් පිපෙනවා වගේ ඇය ජාත්‍යන්තර දේශපාලනය තුළ මතු වුණා. ලෝකෙ නායකයොත් එක්ක ඉතා හොඳ සම්බන්ධතාවක් එතුමියට තිබුණා. ඉන්දියාව, පාකිස්තානය, යුගෝස්ලාවියාව, ඊජිප්තුව, චීනය යන රටවල් එක්ක ලොකු සම්බන්ධකම් තිබුණා.


ලෝකයේ රාජ්‍ය නායකයන් එතුමියත් එක්ක කතා කරනකොට, එතුමියගේ අදහස්වලට පැහැදිලිව තේරුම් යන්න ඇති මේ පුද්ගලයා ඉතාමත් අවංක ඍජුව කතා කරන කෙනෙක් කියලා. ඔවුන් සමඟ මිත්‍ර ලීලාවෙන් අදහස් පළ කිරීම පිළිබඳව ඔවුන් ඉතාමත් සතුටු වුණා. ඒ වගේම ඉතාමත් ගරු කළා.


මට මතකයි එක් අවස්ථාවක රටේ විශාල සහල් හිඟයක් ඇතිවුණා. එවකට පාකිස්තානයේ හිටපු අපේ තානාපති කාර්යාලයේ දෙවැනියා ස්ටැන්ලි ජයවීර කියලා මහත්මයෙක්. ඔහුට පණිවුඩයක් ඇරියා අප සහල් පිළිබඳ ගැටලුවක සිටින බව පාකිස්තාන අගමැතිතුමාට දන්වන්න කියා. ඔහු මහ රෑ ගිහින් හමුවුණා පාකිස්තානයේ අගමැති සුල්ෆිකාර් අලි භූතෝ.


එතුමා මොහොතක්වත් පැකිළුණේ නෑ. ඒ වෙලාවේ පාකිස්තාන නැව් දෙකක් හෝ තුනක් ලතින් ඇමෙරිකාවට යාත්‍රා කරමින් තිබුණා මුහුද මැද. අලි භූතෝ මැතිතුමා එවේලෙම පණිවුඩයක් ඇරියා හාල් නැව් තුන හරවා වහාම ලංකාවට ගෙනියන්න කියා.


ඒ කාලේ චීනයයි, ඉන්දියාවයි අතර ලොකු අර්බුදයක් ඇති වුණා. ඒ අර්බුදය දිගටම ගියා නම් ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් එතුමියට ඒ රටවල් දෙක සමඟම හොඳ සම්බන්ධකම් තිබුණු නිසා එතුමිය ඒ දෙගොල්ලම හම්බවෙලා කතා කරලා, අම්මා කෙනෙක් දරුවන්ට කියනවා වගේ යුද්ධ කරන්න එපා. රටේ ජනතාව දුක් විඳිනවා. ඔවුන් මැරෙනවා. භෞතික සම්පත් විනාශ වෙනවා ඒක කිසිම තේරුමක් නැති නිෂ්ඵල වැඩක් කියලා. අන්තිමට දෙගොල්ලො එකඟවෙලා ප්‍රශ්න නිරාකරණය කර ගත්තා. ඉන්දු, චීන යුද්ධය වැළකුණා.


එතුමිය අගමැති තනතුරට පත්වෙලා පළමුවැනි අවුරුදු පහේ හෙමින් හෙමින් මේ කටයුත්ත මොකක්ද කියලා එහි ස්වභාවය අවබෝධ කරගෙන ඉස්සරහට ගියා. හදිසි වෙලා කිසි දෙයක් කළේ නෑ. අවුල් කර ගත්තෙ නෑ. බොහොම නිවිච්ච ආකාරයට පියතුමා ගිය ගමන ගියා. 1970 දෙවැනි වර අගමැති තනතුරට පත් වෙනකොට එතුමිය හුඟක්ම ශක්තිමත්.


ජේවීපී තරුණ කැරැල්ල 1971දී ඇති වුණා. මේක එකපාරටම ඇඟට කඩාගෙන වැටුණහම ආණ්ඩුවේ හැමෝම කලබල වුණා. පොලිසිය, හමුදාව, නාවික, ගුවන් හමුදා සියල්ලම. ඒ අය කලබල වෙලා.


“අපි කොහොමද මේවට මුහුණ දෙන්නෙ කියලා” කැබිනට් එක හොඳටම බයවුණා.


ඔහොම කැලඹිල්ලෙන් තමයි දවස් ගාණක් ගියේ කැරැල්ල මර්දනය කර ගන්නා තෙක්. ඇමැතිවරු අරලියගහ මන්දිරයට දුවගෙන එනවා.


“මැඩම් අපි මොකද කරන්නේ” කියලා කෑගහගෙන එනවා. “කලබල වෙන්න එපා ඕක අපි විසඳ ගන්නවා.” කියලා කුස්සියට ගිහිල්ලා තේ හදලා එවනවා.


එවකට ආරක්ෂක ලේකම් සේපාල ආටිගල මහත්තයත් හොඳටම කලබල වුණා. නිදහසෙන් පස්සේ ලංකාවේ එහෙම දෙයක් වෙලා නෑ. ඒක නිසා කලබල වෙලා පළමුවැනි වතාවට ලොකු යුද්ධයක් කඩා වැටුණා වගේ වුණා.


“මැඩම් මොකද කරන්නේ අපි ඉන්දියාවෙන් හරි කොහෙන් හරි හමුදාව ගෙන්වා ගනිමු” කියා යෝජනා කළා. මැතිනිය කිව්වා “අපි කොහෙන්වත් හමුදාවල් ගේන්නේ නෑ. අපිට අපේ හමුදාව එක්ක මේ සටන කරලා ජයගන්න බැරි නම් අපෙන් ඇති වැඩක් නෑ. අපි කොහෙන්වත් කවුරුවත් ගෙන්නන්නේ නෑ” කියලා කතාව එතැනින්ම ඉවර කළා.


පස්සෙ කාලෙක නංගියි, මල්ලියි, අතරේ දේශපාලන ඝට්ටන ඇති වෙනකොට මැතිනිය ගොඩක් දුක් වුණා. එතුමිය කිව්වා “මෙච්චර අමාරුවෙන් රැකගත්ත පක්ෂය කඩා වැටෙන්න දෙන්න බෑ. ඔය ගොල්ලො මේකට වගකියන්න ඕන”


එහෙම කියලා තරයේම ඒගොල්ලන්ට තරවටු කළා. එතුමිය කැමැති වුණා මේ දෙන්නා පිළිවෙළකට දේශපාලනය කළා නම්. නමුත් අක්කයි, මල්ලියි දෙන්නම සම තනතුරු ගන්න දඟලපු වෙලාවේ තමයි ප්‍රශ්න ඇති වුණේ. 1977 වෙනකොට රටේ තත්ත්වය හුඟක්ම වැටිලා තිබුණේ. ජේ. ආර් ජයවර්ධන මහත්තයා විශාල කැම්පේන් එකක් ගෙන ගියා.


අපේ ආණ්ඩුව වැරැදි වැඩක් කළා. අවුරුදු දෙකක් ආණ්ඩුවේ කාලය දික් කරගත්තා. ඒක ජයවර්ධන මහත්තයට හොඳ අවස්ථාවක් වුණා කැම්පේන් එක ඉස්සරහට ගෙනියන්න. ඒ වෙලාවේ මැතිනිය නංගිට කතා කරලා කිව්වා,


“දැන් මේ රණ්ඩු කරන වෙලාවක් නෙමේ. අපි එකමුතුව මේ මැතිවරණ කැම්පේන් එකට මුහුණ දෙමු” කියලා.


එතුමිය දැඩි ලෙස විශ්වාස කළා ප්‍රජාතන්ත්‍රවාදය. රටවල නායකයන් කටයුතු කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අනුවයි කියන එක එතුමිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පමණක් නොවේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේදීත් පෙන්වා දුන්නා.


“අපි බෝම්බ පාවිච්චි කරන්නේ නෑ. න්‍යෂ්ටික අවි පාවිච්චි කරන එක සම්පූර්ණයෙන් වැරදියි. අපි සමඟියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති ඔස්සේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කර විසඳා ගත යුතුයි” කියන මතය එතුමිය දැඩි ලෙස මුළු ලෝකයටම ප්‍රකාශ කළා. ඒ නිසා ලෝක නායකයෝ සියලු දෙනාම පාහේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ගරු කළා. ආදරය කළා.


(සිරස “පැතිකඩ” ඇසුරිනි)

No comments

Ads Place