Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවට 2/3 අහිමි වේ.. පක්‍ෂ 10ක මන්ත‍්‍රීන් ස්වාධීන වෙති..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් සන්ධානගතව සිටි හවුල්කාර පක්ෂ 10ක මන්ත්‍රිවරු 16 දෙනකු ලබන සතියේ සිට පාර්ලිමේ...



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් සන්ධානගතව සිටි හවුල්කාර පක්ෂ 10ක මන්ත්‍රිවරු 16 දෙනකු ලබන සතියේ සිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.


ශ්‍රීලනිපය හැර ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ ලෙස මෙලෙස ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසයි. පසුගිය සිකුරාදා (04) හිටපු ඇමැති විමල් වීරවංශගේ නිවසේ පැවැති මෙම පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී අදාළ තීන්දුව ගෙන තිබේ.


කෙසේ වෙතත් පසුගිය වකවානුවේදී ‘ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ’ නමින් පෙනී සිටි දේශපාලන පක්ෂ 11ක කණ්ඩායමේ ප්‍රධානම පාර්ශ්වකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අදාළ රැස්වීමට ඉදිරි පෙළ නියෝජිතයකු සහභාගි නොවීම විශේෂත්වයකි.


එදින පෙරවරුවේ ජනධිපතිවරයා විසින් ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරු, අනෙකුත් හවුල්කාර පක්ෂවල නායකයන් සමග එක්ව කොළඹදී පවත්වන ලද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකටද එය ඉදිරිපෙළ නියෝජිතයකු සහභාගි කර වීමෙන් ශ්‍රීලනිපය වැළකී සිටියේය.


විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ අනෙකුත් තීරණ අතර ‘හවුල්කාර පක්ෂ’ 10 නියෝජනය කරන මන්ත්‍රිවරුන් 16 දෙනාගේ සහභාගිත්වයෙන් ලබන සතියේ සිට රට පුරා දැනුවත් කිරීමේ රැලි මාලාවක් ආරම්භ කිරීම ප්‍රධාන වේ. එසේම ශ්‍රීලනිපය ඇතුළුව හවුල්කාර පක්ෂ 11 විසින් පසුගිය බදාදා (02) පවත්වනු ලැබූ ආන්දෝලනාත්මක රැස්වීමේදී එළිදක්වන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය මහානායක හිමිවරුන්, ප්‍රභූන් සහ රටේ සියලුම ජනතාව වෙත ලබාදීමේ කටයුතුද ලබන සතියේ සිට ආරම්භ කිරීමටද පක්ෂ නායකයෝ එකඟතාවකට පැමිණ තිබේ.


මේ අතර පසුගිය සිකුරාදා (04) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරු දෙපළ මුදල් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළහ. එසේම වත්මන් ජනාධිපතිවරයා යටතේ මින් ඉදිරියට කිසිදු ඇමැති ධුරයක් භාර ගැනීමට තමා සූදානම් නොමැති බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.


මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ආර්ථිකය පිළිබඳව ‘මෙලෝ හසරක්’ නොදන්නා පුද්ගලයකු විසින් රටේ ආර්ථිකය මෙහෙයවමින් සිටින බවත්, රටට මෙම ‘අපරාධය’ සිදු කළ පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී ලිඛිත සාක්ෂි සහිතව අනාවරණය කරන බවත්ය. එසේම රට මෙවැනි ආර්ථික අර්බුදයකට රැගෙන යෑම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.


මේ අතර අදාළ මාධ්‍ය හමුවට එක්ව සිටි ජල සම්පාදන හා ජලාපවහන ඇමැති වාසුදේව නානායක්කාර සඳහන් කරන ලද්දේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා දැනට දරන ඇමැති ධුරයේ කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කළ බවයි. එහෙත් ඇමැති ධුරයෙන් ඉවත් වීමට තමා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් සිය පක්ෂය ගන්නා තීරණය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අවසන් තීන්දුවක් ගන්නා බවයි.


– අරැණ

No comments

Ads Place