Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'මා ගල් වඩුවෙකි.ඔබ ගලකි' ශිල්ප අභිමානීහීදී ඇමති විමල් කියයි

අභියෝග හමුවේ අධෛර්යයට පත් නොවීමේ, අත්හැර නොදැමීමේ සුවිශේෂ ගුණයෙන් හෙබි රජයෙන් බොහෝ දේ බලාපොරොත්තු නොවන, සිය නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය පමණක්...

අභියෝග හමුවේ අධෛර්යයට පත් නොවීමේ, අත්හැර නොදැමීමේ සුවිශේෂ ගුණයෙන් හෙබි රජයෙන් බොහෝ දේ බලාපොරොත්තු නොවන, සිය නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය පමණක් බලාපොරොත්තු වන හස්ත කර්මාන්ත නිර්මාණකරුවන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසුම පිරිස බව තම විශ්වාසය යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ‘ශිල්ප අභිමානී 2021’ ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලේදී සිය අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“මෙම උත්සවය විශේෂ වන්නේ අතිගරු ජනාධිපතිතුමන් ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම නිසා පමණක් නොවෙයි. එතුමා රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් අනතුරුව ආරම්භ කරන ලද, එතෙක් නොතිබුණු රාජ්‍ය අමාත්‍යාංශයක ප්‍රධාන උත්සවයකට එතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම ද ඊට හේතු වෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, පසුගිය දිනවල මා දැක්කා සමාජ මාධ්‍යයෙහි පළ වූ චිත්‍රයක් සමඟ වූ සටහනක්. චිත්‍රයෙහි දැක්වුණේ ගල් වඩුවකු යම් නිර්මාණයක් නෙළමින් සිටි අවස්ථාවක්. එහි පසෙකින් සටහන් වෙනවා ‘මේ අවස්ථාවේ මා ගල් වඩුවෙකි. ඔබ ගලකි. මා නිමවා අවසන් කළ පසු ඔබ දෙවියෙකි. මා කුලහීන මිනිසෙකි’ කියා. මේ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් එවැනි ඉරණමකට මුහුණ දී සිටින පිරිසක්. ඔවුන් ඉතාම නිස්සරණාධ්‍යාශයෙන්, ඉතාම ඉවසිල්ලෙන්, වෙළෙඳපොළ අභියෝග පිළිබඳව නොතකමින්, ඇතැමුන් තම නිර්මාණ කාර්යය එක්තරා ආකාරයක අධ්‍යාත්මික කාර්යයක් ලෙස සලකාගෙන මෙම හස්ත කර්මාන්තයේ නියැළෙනවා. ඔවුන් දෙවිවරුන් නිර්මාණය කරනවා. තම දක්ෂතාවෙන් බුදුන් වහන්සේගේ ප්‍රතිරූපය නිර්මාණය කරනවා. ඒ පිළිම, ප්‍රතිමාවලට මල් පහන්, හඳුන්කූරු ඇතුළු පුද පූජා සිදු කෙරෙනවා. නමුත් ඒ මහා නිර්මාණ පිටුපස සිටින අපේ මේ ග්‍රාමීය ශිල්පීන්, ශිල්පිනියන් ඉතා දුෂ්කර අභියෝග යටතේ, ඔවුන්ගේ නිර්මාණයට ලැබෙන මට්ටමේ ඇගයීමකින් තොරව සිය නිර්මාණකරණයේ නියැලී සිටිනවා. ඔවුන්ගේ යම් නිර්මාණයක් මිලදී ගන්නා පුද්ගලයා, නිර්මාණකරුවා කවුදැයි දන්නේ නැහැ. නමුත් එම නිර්මාණය තම නිවසේ හෝ විශේෂ තැනක විශේෂ ඇගයීමකට ලක් කරනවා. නිර්මාණකරුවා එලෙස ඇගයෙන්නේ නැහැ. එහිදී නිර්මාණය සහ නිර්මාණකරුවා අතර ඇති සම්බන්ධයක් අපට පෙනෙන්නේ නැහැ.

‘මරණීය වේදනාවෙන් ගලවාගැනීම’

ඒ නිසා තමයි පසුගිය කාලයේ මෙම හස්ත කර්මාන්තය එසේ නොසැලකිල්ලට භාජනය වීමෙන් එක්තරා ආකාරයක මරණීය වේදනාවකට ගොදුරුව තිබෙන්නේ. අප අරඹනු ලැබුවේ හස්ත කර්මාන්තය එම මරණීය වේදනාවෙන් ගලවා ගැනීමේ ගමනක්. නමුත් මේ වසංගත අභියෝගයත් සමග එය පහසු කාර්යයක් වූයේ නැහැ. අපි දන්නවා සංචාරක ව්‍යාපාරය බලගැන්වෙන විටයි හස්ත කර්මාන්තයට අදාළ ස්වාභාවික වෙළඳපළ ශක්තිමත් වන්නේ. සංචාරක ව්‍යාපාරය දුර්වල වන විට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ වෙළඳපළ අවකාශය හීන වෙනවා. කොවිඩ් 19 වසංගතය පැමිණියාට පසුව අප වැනි තුන්වන ලෝකයේ රටවල් වැක්සීන්කරණයට ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැහැ. නමුත් ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් සමඟ ‘කරට කර’ යමින් කොතරම් වියදමක් දරා හෝ රටවැසියාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් වැක්සීන්කරණයට ප්‍රමුඛතාව දීමට ඔබතුමන් මූලිකත්වය ගත්තු නිසා අද අපට හැකිවී තිබෙනවා, වසංගත අභියෝගය මැද වුවත් එයට මුහුණ දීමට. සංචාරක ව්‍යාපාරය බලගන්වමින් හස්ත කර්මාන්ත ශිල්පියාගේ ස්වාභාවික වෙළෙඳපොළ ක්‍රමානුකූලව නිර්මාණය කර ගැනීමට අද අපට හැකි වී තිබෙනවා. ඒ වගේම ප්‍රසන්න රණවීර ඇමතිතුමන් ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ජාතික ශිල්ප සභාව හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා වෙළෙඳපොළ අවකාශය පුළුල් කිරීමට ‘ලක් ශිල්ප’ වැනි අන්තර්ජාල වෙළඳ ද්වාර බිහිකරමින් විකල්ප මාර්ගවලට එළඹ තිබීම ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

‘ජනපති සම්මානයට සුදුසුම පිරිස’

කෙසේවෙතත් මා විශ්වාස කරනවා, මේ හස්ත කර්මාන්ත ශිල්පීන් තමා ජනාධිපති සම්මාන ලැබීමට සුදුසුම පිරිස කියා. මේ අය රජයෙන් බොහෝ දේ ඉල්ලන්නේ නැති, තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය පරිසරය පමණක් සකසා දෙන්න, කියා පමණක් ඉල්ලන පිරිසක්. ඔවුන් තුළ තිබෙන සුවිශේෂී ලක්ෂණය තමයි අධෛර්යයට පත් නොවීම. ඔවුන් අධෛර්යයට පත්වන්නවුන් නම්, අත්හැර දමන්නවුන් නම් ඔවුන්ට මේ කර්මාන්තය අත්හැර දැමීමට ඕනෑ තරම් හේතු තිබෙනවා. නමුත් මේ අය මේ කර්මාන්තයෙහි ඉතා ආදරයෙන් ගෞරවයෙන් නියැලී සිටිනවා. ඒ නිසයි ඉහත කී විශ්වාසය මා තුළ ජනිත වී තිබෙන්නේ.

‘විශේෂ කරුණක්’

මා ඔබ සියලුදෙනා ඉදිරිපිට විශේෂ කරුණක් පැවසීමට කැමතියි. මෙි වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ අතිගරු ජනාධිපතිතුමන් විසින් පිහිටුවන ලද රාජ්‍ය අමාත්‍යාංශ තුනෙන් එකක්. ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමන් ප්‍රධාන එම රාජ්‍ය අමාත්‍යාංශයේ සියලුමදෙනා තමන්ට පවරන ලද වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කැප වී සිටිනවා. ඉතාම ඉහළ උද්යෝගයකින් කටයුතු කරමින් සිටිනවා. ඒ නිසාම හස්ත කර්මාන්තය ඇතුළු සෙසු ග්‍රාමීය කර්මාන්තයන්හි සැලකිය යුතු ප්‍රබෝධයක් ඇතිකර ගැනීමට වසංගත අභියෝගය මැද වුවත් පසුගිය වසර දෙක තුළ අපට හැකිව තිබෙනවා.

ඩුබායිහි එක්ස්පෝ ප්‍රදර්ශන ශාලාවේ වසරකට වරක් පවත්වනු ලබන වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය තුළ බොහෝ වෙලාවට තිබෙන්නේ තේ, මැණික් සම්බන්ධ විස්තර හා වෙස්මුහුණු කිහිපයක් ආදී දේවල් පමණයි. අතිගරු ජනාධිපතිතුමනි, එය කනගාටුවට කරුණක්. ඔබතුමත් මෙය නරඹා තිබෙනවා, අපේ ප්‍රදර්ශන කුටිය කුඩා දේවල් කිහිපයකට සීමා වී තිබෙනවා. නමුත් මේ අපේ හස්ත කර්මාන්ත නිර්මාණකරුවන්ගේ නිර්මාණ එහි ප්‍රදර්ශනය කළහොත් එමගින් ඇති වන වෙළෙඳපොළ අවකාශය හිතාගන්නත් බැහැ. ලෝකයට දෙන්න බොහෝ දේ තිබෙන්නේ මෙවැනි නිර්මාණකරුවන් අතේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා, ‘ලබන වසරේ එක්ස්පෝ වෙළඳ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අදාළ සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් අපේ විශ්මිත නිර්මාණ ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යාමේ අවස්ථාව උදා කර දෙන්න’ කියා.

අපේ උරුමය පෙරට ගෙනයන මේ සුවිශේෂ මිනිසුන් වෙනුවෙන් තම සුරතින් සම්මාන ප්‍රදානයට පැමිණි ජනාධිපතිතුමනි, ඔබට අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා. ඒ වගේම උරෙනුර ගැටෙමින් මෙම කාර්යය සාර්ථකව ඉටු කිරීමට කැප වූ රාජ්‍ය ඇමතිතුමන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමන් ඇතුළු පිරිසට ද මාගේ කෘතවේදිත්වය පළ කර සිටිනවා. ‘අද දින ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන හස්ත කර්මාන්ත නිර්මාණකරුවනි, ඔබට මේ රටේ අනාගතය බැබළවීමට ධෛර්යය හා ශක්තිය ලැබේවා’ කියා ප්‍රාර්ථනා කරනවා.

මෙම ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලේ ඉහළතම සම්මානය වන ස්වර්ණ සම්මානයෙන් සම්ප්‍රදායික හා නූතන යන අංශ දෙක යටතේ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීහු දෙදෙනෙක් පිදුම් ලැබූහ. එම ස්වර්ණ සම්මාන ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් සිදුවිය. ප්‍රධාන ශිල්ප ක්ෂේත්‍ර 21ට අදාළ රජත සම්මාන ප්‍රදානය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් සිදු වූ අතර ප්‍රධාන ශිල්ප ක්ෂේත්‍ර 21 යටතේ වන උප ශිල්ප ක්ෂේත්‍ර 57 වෙනුවෙන් පැවැති තරගවලදී ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන හා කුසලතා දිනූ හස්ත කර්මාන්ත ශිල්පීහු ද මෙහිදී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූහ.

සම්මාන උලෙළ අමතා රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

 

No comments

Ads Place