Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අතිරේක මුදල් දෙන්න හැකියාවක් නෑ..අලුත් වාහන,කාර්යයමණ්ඩල බෑ...-මුදල් ඇමති

රසායනික පොහොර ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර දී ඇතත්, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව මුදල් අමාත්‍ය...

රසායනික පොහොර ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර දී ඇතත්, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම හරිත කෘෂිකාර්මික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අප සියලුදෙනා වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවිධකාරයේ පීඩනයන්ට ලක්වෙමින්, හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව සතුටු වන බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

පශූ සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ දියර කිරිවලින් ස්වයංපෝෂිත රටක් සඳහා වූ වැඩමුළුවකට සහභාගීවෙමින් මුදල් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක කරන සංවර්ධන යෝජනා සඳහා මුදල් වෙන්කර දීමේ බලය දිසාපතිවරුන්ට පවරා දී ඇති බැවින්, බොහෝ ව්‍යාපෘති කඩිනමින් බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“මෙවර අයවැය සම්මත වුණොත් අපිට රට තුළ අලුත් වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැනට අපේ රටේ විදේශ විනිමය හිඟයක් තිබෙනවා. අප සතුව තිබූ සංචිතවලින් අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, ඉන්ධන ආනයනය කිරීමටත්, විදේශ ණය ගෙවන්නටත් වැය වුණා. විශේෂයෙන් පසුගිය වසරක කාලය තුළ මෙරටට විදේශ විනිමය ගලා ඒම විශාල වශයෙන් අඩුවෙලා. පසුගිය කාලයේ වසරකට විදෙස් ශ්‍රමිකයන් 2,30,000ක් පිටත් කර තිබෙනවා. පසුගිය වසරේ එය 53,000 දක්වා අඩුවෙලා. ලබන වසරේදී එය ලක්ෂ 3 දක්වා වැඩිකර ගන්න අපි උත්සාහ කරනවා. අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණීය ආහාර නිෂ්පාදනය කරන්න මේ වසරේ අපි විශාල මුදලක් වෙන්කර තිබෙනවා. පිටරටින් ආනයනය කරන කිරිපිටි නතරකර, මෙරට දියර කිරි නිෂ්පාදනය වැඩි කරගන්න සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ වසරේ අපි සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. දිසාපතිවරුන්ට රුපියල් මිලියන 85,000ක් අයවැයෙන් වෙන්කර දී තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, කොට්ඨාසවලට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවලට මුදල් ලබා දී තිබෙනවා. මේ සියලු මුදල් යොදාගෙන මෙරටේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි කියලා අපි අපේක්ෂා කරනවා. කිසිම අවස්ථාවක අතිරේක මුදල් ලබා ගැනීමට හැකියාවක් නෑ. අලුතින් වාහන, කාර්ය මණ්ඩල ලබා ගන්න අනුමැතිය ලබාදෙන්න බෑ. මේ රටේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්න තරමට මේස පුටුවක්වත් නැහැ. ඒ නිසා ඒ සියලු මානව සම්පත් යොදාගෙන, මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, පිටිකිරි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පශු සම්පත් සංවර්ධනය සම්බන්ධ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහිනදානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ, මෙරට බිහිවු මුදල් අමාත්‍යවරුන්ගෙන් වැඩිපුරම ගමට මුදල් දුන් මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා වන බවයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට මිලියන 03ක් ද, ප්‍රාදේශීය පළාත් සභා කොට්ඨාසයකට මිලියන 04ක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන 100ක්ද බැගින් ගමේ සංවර්ධනයට විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර දී තිබෙනවා. මීට අමතරව පළාත් සභාවලට ද විශාල මුදලක් වෙන්කර දී තිබෙනවා. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට බෝග ගම්මාන 365ක්, බීජ ගම්මාන 365ක්, පොහොර ගම්මාන 365ක්, ආදී වශයෙන් මෙරටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. බීජ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර, මෙරටට අවශ්‍ය බීජ මෙරටේදීම නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කර තිබෙනවා. අල, ලුණු, මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම නතර කර, මේ රටට අවශ්‍ය අල, ලුණු, මිරිස් මෙරටදීම නිෂ්පාදන කිරීම ආරම්භ කර තිබෙනවා. මෙරටට අවශ්‍ය දියර කිරිවලින් 40%ක් නිෂ්පාදනය කරනවා. 60%ක් අපි පිටිකිරි ආනයනය කරනවා. මේ තත්ත්වය වෙනස් කරලා, මෙරටට අවශ්‍ය දියර කිරිවලින් 80% ඉදිරි තෙවසර තුළ නිෂ්පාදනය කරන්න අපි අපේක්ෂා කරනවා යැයිද අමාත්‍යවරයා කීවේය.

කිරිවලින් ස්වයංපෝෂිත රටක් බිහිකර, දියර කිරි ප්‍රචලිත කිරීම සදහා පළාත් මට්ටමින් තොරතුරු ලබා ගැනීමට පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කර තිබු මෙම වැඩමුළුවේදී පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, මෙවර අයවැයෙන් ලබා දී ඇති විශාල මුදල ප්‍රයෝජනයට ගෙන, දියර කිරි නිෂ්පාදන ඉලක්කය දිනකට ලීටර ලක්ෂය දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් ගවයින් 5 -10 අතර සිටින පවුල් සඳහා රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ද, ගවයින් 10-25 අතර සිටින පවුල් සඳහා රුපියල් 150000ක මුදලක් ද, ආධාර මුදල් ලෙස ලබා දීමට පියවර ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750ක් වුවද, ඉන් ලීටර් මිලියන 336ක්ම හිඟ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම හිඟය මඟ හරවා ගැනීමට දිවයින පුරා පිහිටි පශූ වෛද්‍ය කාර්යාල 337ට සම්බන්ධ කිරි ගොවියන් හඳුනාගෙන ඔවුන්ට පහසුකම් ලබා දීමට ක්‍රියාකරන බව ද ප්‍රකාශ කළේය. ලබන වසර තුළ දැනට මෙරට සිටින කිරි ගවයින්ගෙන් එක් ගවයෙක්ගෙන් දිනකට කිරි ලීටර් 1ක් වැඩි කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

මෙම වැඩමුළුට දිවයිනේ පළාත් නවයේ ප්‍රධාන ලේකම්වරුන්ද, පළාත් පශු සම්පත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ද, පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ද සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, පශූ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමරදිවාකාර යන මහතුන් සමඟ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂවරු සහභාගී වී සටියහ

 

No comments

Ads Place