Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනය, බ්‍රිතාන්‍ය,ඉන්දියාව,ලෙබනනය බලශක්ති අර්බුධයක..ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතිකයි

මෙරට සතු තෙල් හා ගෑස් සම්පත ගොඩ ගෙන භාවිතයට ගැනීම සඳහා පක්ෂ භේද අතහැර ජාතියක් ලෙස සමගිව කටයුතු කළ යුතුයැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්ප...

මෙරට සතු තෙල් හා ගෑස් සම්පත ගොඩ ගෙන භාවිතයට ගැනීම සඳහා පක්ෂ භේද අතහැර ජාතියක් ලෙස සමගිව කටයුතු කළ යුතුයැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන්කර සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අය වැය පිළිබද කාරකසභා විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය

2022 වසරට බලශක්ති අමාත්‍යාංශයට මුදල් වෙන් කරන අද දින පිළිතුරු කතාව කරන්න මා නැගී සිටින්නේ නිහතමානි ආඩම්බරයකින්. 2022 වසරට මුදල් වෙන් කර ගැනීම සඳහා මෙම ගරු සභාව ඉදිරියේ මා කතා කරන්නේ 2021 වසරේ අපට වෙන් කරපු පුංචි මුදලින් අපි කරපු ලොකු වැඩ තොගය පිළිබඳ ප්‍රගති වාර්තා වත් අතින් අරන්. කොරෝනා වසංගතයෙන්, ඩොලර් අර්බුදයෙන්, රුපියල් අර්බුදයෙන් බැටකමින් එදා වේල සපයා ගැනීම පිළිබඳ මහා අර්බුදයක සිරවී මිරිකී ඉන්න අපේ රටේ ජනතාව සමස්ත ජාතියේම අනාගතය අඳුරු වලාවකින් වැහිල තියෙන මොහොතක ඒ අඳුරු වලා මැදින් රිදී රේඛාවක් මතු කර ගැනීමට අපේ අමාත්‍යංශය සමත් වුණු වසරක් ලෙස 2021 වසර අපිට හඳුන්වන්න පුළුවන්.

මව්බිමේ තෙල් සම්පත යථාර්ථයක් ද?

සෞදි අරාබිය, කටාරය, කුවේටය කියන්නේ කඨෝර මහා කාන්තාරයේ බිහිවුණු රටවල්. කාන්තාරේ නිසාම දුක් විඳි රටවල්. නමුත් මේ තෙල් සම්පත ගොඩ ගැනීමෙන් පස්සේ මේ රටවල් ඉතාම කෙටි කාලයකින් ලෝකයේ තිබෙන ධනවත්ම රටවල් බවට පත් වෙන්නට හැකියාව ලැබුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ ආනයන වියදම 25% ක් ම වැය කරන්නේ ඉන්ධන ආනයනය සඳහා. ඊට වැඩි මිසක් අඩු නෑ. අපේ සහෝදර සහෝදරියො විදේශ රටවල් වල කාන්තාර මැද දුක් විඳිමින් හම්බ කරන ඩොලර් ටික රටට ආවහම ඒකෙන් ලොකුම කුට්ටිය ආපහු අපි ඒ රටවල් වලටම යවනවා මේ ඉන්ධන ආනයනය කරන්න. නමුත් ඒ යුගය අවසන් කරන්නට කාලය එළඹිලා කියන එක අපි රටට ඉතාම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. දීර්ඝ කාලයක් පුරාවට මේ මහ මුහුද පතුලේ සැඟවිලා තියෙන මේ ගෑස් සහ තෙල් සම්පත ගොඩගැනීම පිළිබඳ අපි කතා කරා. නමුත් අපිට ඒක යථාර්ථයක් කරගැනීමට පුළුවන් වුණේ නෑ. ඒකට හේතු වුනේ මේ මහා සම්පත ගොඩ ගන්න අවශ්‍ය තාක්ෂණික දැනුම, අරමුදල් සම්භාරය අපිට නැතුවා විතරක් නෙමෙයි. ඒ දේ තිබෙන දැවැන්ත ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළට ආකර්ෂණය කරගන්න අවශ්‍ය විශ්වාසය ගොඩනගන්නත් අපි සමත් වුණේ නැති නිසා.

තෙල් ගවේෂණයට අවශ්‍ය දැවැන්ත ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන එන්න නම් මේ රට එවැනි දැවැන්ත ආයෝජනයකට සුරක්ෂිතයි කියන හැඟීම ලබාදිය හැකි නීතිමය රාමුවක් අපි බිහිකරගත යුතුයි .අන්න ඒ නීතිමය රාමුව 2021 අංක 21 දරණ ඛනිජ තෙල් සම්පත් පනත ලෙස අපිට මේක ගරු සභාවේ සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා. එතනින් නවතින්නේ නැතුව ඉතාම කෙටි කාලයකින් ඒ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටවලා ඇමතිවරයා සතු නියාමන බලතල සියල්ලම අපේ අධිකාරියට මාරු කරා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඇමතිවරයා විසින් අධ්‍යක්ෂක මණ්ඩලයට තිබිය යුතු සුදුසුකම් ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා ඇමතිවරයා නම් කරන සාමාජිකයන්ට ඒ සුදුසුකම් තිබෙන බවට ඇමති මණ්ඩලය තහවුරු කරලා අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් වන ලංකාවේ එකම ආයතනය ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියයි කියන එක මේ ගරු සභාවට මම ප්‍රකාශ කරන්න කැමතියි.

ඒ වගේම අතිවිශාල බිම් කැබලි විස්සකට හදල තිබුන අපේ තෙල් ගවේෂණ ප්‍රදේශ නැවත එකතු කරලා කුඩා කැබලි 873කට වෙන්කරලා අපි ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. අතීතයේදී නම් ලංකාවේ තෙල් ගවේෂණයකට වරකට එන්න පුළුවන් ආයෝජකයන් විසි දෙනෙකුට පමණයි. නමුත් නව තත්ත්වය තුළ ආයෝජකයන් 873 දෙනකුට එකවර ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව උදා කිරීමෙන් ශ්‍රී ලංකාව අද වඩාත් ආකර්ෂණීය ස්ථානයක් බවට අපි පත් කරලා තියෙනවා. ඇත්තටම අපේ රටේ තෙල් සම්පත තිබෙනවාද කියලා සමහරු තවමත් ප්‍රශ්න කරනවා. අපි මෙතෙක් ගවේෂණ කටයුතු කළේ ගැඹුරු මුහුදේ, මන්නාරම් ද්‍රෝණියේ, ලංකා ද්‍රෝණියේ එහි තෙල් ගොඩ ගන්න විශාල වියදමක් දරන්න වෙනවා. නොගැඹුරු මුහුදේ මීටර් 300 ට වඩා ගැඹුරින් අඩු කාවේරි ද්‍රෝණියේ අපිට තෙල් ගවේෂණය කරන්න පුළුවන් වුණේ නැත්තේ නොගැඹුරු මුහුදේ ඒ නැව් වලට ගමනාගමනය කරන්න බැරි නිසා. ඒ නිසාම නැව් වලින් පමණයි මෙතෙක් ගවේෂණ සිදු කළේ. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකාවේ බෙල්ජියෝ ස්පේස් සමාගමත් සමග එකතු වෙලා ලංකා ආණ්ඩුවට සතයක්වත් වැය වෙන්නේ නැතුව අපි දැන් කාවේරි ද්‍රෝණියේ ගවේෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ සමඟම අපේ මුහුදු පත්ලේ විතරක් නෙවෙයි යාපනය අර්ධද්වීපයේත් තෙල් තිබිය හැකි බවට සාධක මතුවෙමින් තිබෙනවා. තවත් මාස තුනකින් අපිට ලැබිච්ච දත්ත විශ්ලේෂණය කරාට පස්සේ ඉතාම නිශ්චිතව අපිට කියන්න පුළුවන් යාපනයේ අර්ධද්වීපයේත් අපට තෙල් සම්පත තියෙනවද නැද්ද කියන එක.

තෙල් ගවේෂණයේ දේශීය හවුල්කරු

ඒ වගේම තෙල් ගවේෂණය දේශීය හවුල්කරුවා වන තෙල් කැණීමේ ජාතික මෙහෙයුම්කරු වන ශ්‍රී ලංකා ජාතික තෙල් සහ ගෑස් සමාගම ස්ථාපිත කිරීමට අපට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. ලංකාවේ තෙල් ගැනීමට එන ඕනෑම විදේශීය සමාගමක් මේ ජාතික මෙහෙයුම්කරු සමග හවුල් ව්‍යාපාරයක් ගොඩ නගලයි තෙල් කැණීම කළ යුත්තේ. එතකොට අලුත් ව්‍යාපාරයෙ 15% දක්වා කොටස් ජාතික මෙහෙයුම් කරුට ලබා දෙන්න ඕනේ. අධ්‍යක්ෂක මණ්ඩලය එක තනතුරක් දෙන්න ඕනේ. එහෙම ලබා දුන්නට පස්සේ වසර දහයක් යනකොට අපිට තෙල් ගවේෂණයට අවශ්‍ය අරමුදල් තාක්ෂණික දැනුම මේ සියල්ලම අපේ ජාතික මෙහෙයුම්කරුවා සතු වෙනවා. අනාගතයේ දී අපට වෙනත් රටවල සහායකයින් තොරව අපේ තෙල් සහ ගෑස් සම්පත කැණීම අපටම කරගන්න පුළුවන් අවස්ථාවක් ඒකත් සමග උදාවෙනවා. මැලේසියාවේ පෙට්‍රොනාත්, ඉන්දියාවේ NOGC වැනි ආයතන බිහි වුණේ මේ ආකාරයටයි කියන එක අපි මේ ගරු සභාවට සිහිපත් කරන්න කැමැතියි. එහෙම බලද්දී 2021 කියන්නේ බලශක්ති ක්ෂේත්‍රයේ ජයග්‍රාහී වසරක්.

තෙල් සංස්ථාව නැව් තෙල් වෙලදාම අවතීර්ණ වෙයි

මන්ත්‍රීතුමන්ලා ගණනාවක් මේ සභාවේ දී ඉතාම නිවැරදිව සඳහන් කළා පෞද්ගලීකරණය නාමයෙන් සිද්ධ වුණේ තෙල් සංස්ථාව සතු ලාභදායී අංශ සියල්ලම පෞද්ගලීකරණය කරලා රොඩ්ඩ විතරක් තෙල් සංස්ථාවට ඉතුරු කරන එක. එහෙම පෞද්ගලික අංශයට භාරදුන් අතිශය ලාභදායී ව්‍යාපාරයක් තමයි නැව් තෙල් වෙළඳාම. මේ වසරේදී නැවතත් තෙල් සංස්ථාව නැව් තෙල් වෙලදාම කියන අතිශය ලාභදායී ව්‍යාපාරයට අවතීර්ණ වුණාය කියන එක බොහොම සතුටින් අපි මේ සභාවට දැනුවත් කරන්න කැමතියි.ආයෙත් බලයට ඇවිල්ලා මේකත් පුළුවන්නම් පෞද්ගලීකරණය කරන්න කියලා මං අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලාට කියනවා.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක්

ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි චීනය ,මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව ඒ වගේම ලෙබනනය වගේ රටවලත් අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කරගන්න බැරුව අර්බුදයකට ලක් වී තියන මොහොතක ශ්‍රී ලංකාව තුළ මේ දක්වාම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න අපිට පුළුවන් වුණාය කියන එක අපි ඉතාම සතුටින් සිහිපත් කරනවා. බොහෝ දෙනෙක් සිතුවේ මුලින්ම ඉන්ධන සැපයුම කඩා වැටෙන්නේ ලංකාවෙයි කියලා. ඇයි දෙයියනේ රටේ ඩොලර් සංචිතයකුත් නෑ, රට තුල ඉන්ධන ඇත්තෙත් නෑ, ගෙනල්ල ගබඩා කරන්න මහා ටැංකි පද්ධතියකුත් නෑ. ඒ නිසා විපක්ෂය හිතුවා හරි වැඩේ ලංකාවේ තමයි මුලින්ම ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ කියලා. ඒ නිසා අපේ විපක්ෂ නායකතුමා හිටපු අග්‍රාමාත්‍යතුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් අර අට සමත් විශ්‍රාමිකයාගේ ලණුවක් කාලා මේ සභාවේත් මාධ්‍ය ඉදිරියේත් ප්‍රකාශ කළා ඔන්න ලඟදිම ඉන්ධන හිඟයක් ඇති වෙනවා කියලා. රටේ ඉන්ධන හිඟයක් ඇති වෙන බවට විපක්ෂය මුලින්ම කිව්වෙ ජූලි මාසෙ මුල. දැන් මාස පහකට විතර කලින්. විපක්ෂයේ සිහින බොඳ කරමින් මේ රටේ තෙල් හිඟයක් ඇති වෙන්න අපි ඉඩ තැබුවේ නෑ.

ඇත්තෙන්ම තෙල් හිඟය තිවෙනවා කියන බොරු ප්‍රකාශය පැතිරුණාම මේ රටේ ජනතාව තමන් විශ්වාස කරන මාධ්‍යයේ ඒක ප්‍රචාරණය උනහම ඉන්ධන මිළ දී ගන්න වහාම යනවා. ගිහිල්ලා ටැංකිය පිරෙන ඉන්ධන ගහගන්නවා. මුළු රටම එක පාරට ඉන්ධන පිරවුම්හල් ඉදිරියට ගියාම අනිවාර්යෙන් දිග පෝලිම් ඇතිවෙනවා තමයි. එකම මොහොතේ මුළු රටම ඇවිල්ලා ඉන්ධන හල් වලින් තමන්ගේ වාහන පුරව ගත්තහම ඉන්ධන හල් වල ඉන්ධන හිඟයක් ඇති වෙනවා තමයි. නැවත සෑම ඉන්ධන හලකටම ඉන්ධන ලබා දෙන්න දින තුනක් හතරක් ගත වන නිසා තාවකාලිකව ඉන්ධන හිඟයක් ඇති වෙන බව ඇත්තයි. ඒකට හේතුව අර බොරු ප්‍රචාරය විතරමයි. රටේ සැබෑ ඉන්ධන හිඟයක් ඇති වෙනවා නම් ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ ඉන්ධන පිරවුම්හල්වල නොවෙයි. අපේ ඉන්ධන ගබඩා වලයි. අපේ ඉන්ධන ගබඩා වලින් තෙල් පුරවගන්න යන තෙල් බවුසරයක් ඉන්ධන නැහැයි කියලා හරවල එවනව නම් අන්න රටේත් සැබෑ තෙල් හිඟයක් ඇති වෙලා තියෙනවා. එහෙම මිසක් ඉන්ධන පිරවුම්හල් වල ඇතිවෙන තාවකාලික හිඟය රටේ ඉන්ධන හිඟයක් ලෙස වැරදියට අර්ථකථනය කරන්න නරකයි. ඒ නිසා මේ විපක්ෂයේ බොරු ප්‍රචාරයන් මැදත් විදේශ විනිමය අර්බුදය මැදත් ලෝකෙ සැපයුම් ජාල බිඳවැටී තියන අභියෝගය මැදත් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික වුණු 2021 බලශක්ති ක්ෂේත්‍රයේ ජයග්‍රාහී වසරක්.

කොමිස් බොරුවට පිළිතුරක්

කොමිස් මුදලක් මත ඩොලර් බිලියන 2.5ක ණයක් ලබා ගන්න හදනවා කියලා මීට කලිනුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කරා. අපි ඒවට උත්තර දුන්නා. අද මේ සභාවේත් මන්ත්‍රීවරුන් ගණනාවක් එකම බොරුව දිගටම කිව්වා. ඒ පැහැදිලි කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.

ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට ඩොලර් බිලියන 3.6ක් රාජ්‍ය බැංකු දෙකට ණයයි.අපි අරන් තියෙන්නේ 5.5% පොලියට. මේ දැවැන්ත ණය රාජ්‍ය බැංකු දෙකේ විදේශ විනිමය ද්‍රවශීලතාවයට වගේම බැංකුවේ මූල්‍ය ස්ථාවරයටත් දැවැන්ත බාධාවක්. මේ අතරේ ඒ පොලියට වඩා අඩු පොලියට ණය ලබා දීමේ නොකැදවූ වූ යෝජනා පහුගිය අවුරුදු අටක් පුරාවට පාර්ශවයන් විසිතුනක් ඉදිරිපත් කරලා තිබුණා තෙල් සංස්ථාවට. එක පැත්තකින් අපි ඉහළ ණය ඇරගෙන ඩොලර් අර්බුදයක ඉන්නවා. ඩොලර් දෙන්න කැමතියි කියලා යම් පිරිසක් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ යෝජනා පිළිබඳ ක්‍රියාත්මක නොවුනොත් ඩොලර් අර්බුදය විසඳ ගන්න හැකියාව තිබියදී අඩු පොලියට ණය ගන්න හැකියාව තිබියදී අපි නිහඩව හිටියා කියලා චෝදනා එල්ල විය හැකි නිසා මෙම යෝජනා පැත්තක තියලා පත්තරේක ප්‍රසිද්ධ දැන්වීමක් දාලා යෝජනා යළි කැදවීමට මම අමාත්‍ය මණ්ඩලයෙන් අවසර ඉල්ලුවා. හැබැයි මුදල් අමාත්‍යංශ නිරීක්ෂණයෙන් කිව්වේ මේ වෙලාවේ ඩොලර් ණය ගන්න පත්තරේ දැන්වීමක් දාලා හදිස්සියෙවත් කවුරුවත් ආවෙ නැති උනොත් මුදල් අමාත්‍යංශය විසින් ගැනීමට බලාපොරොත්තු වන ඩොලර් ණය ගැනීමට මේක බාධාවක් වෙන්න පුළුවන් ඒ නිසා පත්තරේ දැන්වීම් දාන්න එපා අපි මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කරලා ලැබිලා තියෙන යෝජනා අධ්‍යයනය කරලා හොඳ යෝජනාවක් තියෙනවා නම් ක්‍රියාත්මක කරමුයි කියලා සඳහන් කළා. මුදල් අමාත්‍යංශය පත්කරපු කමිටුව විසින් මේ යෝජනා පරික්ෂා කරද්දී යෝජනා බහුතරයක තිබුණේ එක්කෝ ත්‍රිත්ව ඒ බැංකුවක ඇපකරයක් අවශ්‍යයි නැත්නම් ලෝකයේ ඉහළම බැංකු 25න් එකකින් ඇපකරයක් අවශ්‍යයි කියලා. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්වෛරී ඇපකරයක් මත ණය දීමට ඉදිරිපත් වෙලා තිබුනේ එකම එක සමාගමයි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි වල පිහිටි පී එස් එල් ඇමෙරික‍ා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පත්කළ කමිටුව මේ සමාගමෙන් ණය ලබා ගැනීමට නිර්දේශ කරල කමිටු වාර්තා මට ඉදිරිපත් කළා ඇමති මණ්ඩලයට දාන්න. විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළ ආකාරයට 7% ක ගාස්තුවක් ඔවුන් කපාගන්න බවට තිබුණු බව ඇත්තක්.

ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරපු ඒ කමිටු වාර්තාව මට ඉදිරිපත් කළ අවස්ථාවේ මමත් ඒ කමිටුවේ සාමාජිකයින් ගෙන් ඇහුවා මේ සීයට හතක් කපාගන්න ඇයි? අය කිව්වා අපිත් ඔය ප්‍රශ්නය ඇහුවා මේ යෝජනාව ගෙනාපු අයගෙන් ඒ අය කිව්වා. තෙල් සංස්ථාව කියන්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයක තියෙන ආයතනයක්. ශ්‍රී ලංකාව කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම් වල ඉතාම පහළ අඩියෙ තියෙන රටක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ තියෙන මූල්‍ය අර්බුදයක තියන ආයතනයකට ණය දීම දැවැන්ත අවදානමක්. ඒ නිසා මේ ආයතන ණය දීම ණය යළි අය කර ගැනීම රක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා ඒ රක්ෂණය සඳහා වැය වන මුදල මේ සීයට 7% තුළ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට අමතරව විවිධ පරිපාලන නීති ගාස්තු තියෙනවා කියලා. අපිට මේ 7%ක් ණය ලැබෙන කොටම ගාස්තුවක් විදිහට කපා හැරෙනවා කියන්නේ අපට ලැබෙන්නේ 100ක් නෙමෙයි 93 යි. මේකෙ පොලිය 3%යි .3% යි කියන්නේ ලැබෙන්නේ අනු තුනයි නම් 93 ට අපි පොලී ගෙවනවා 3.23% ක් දැන් අපි බැංකු දෙකට පොලී ගෙවනවා 5.5 ක් ඒ අයට ඒ 7% ගාස්තුව ගෙව්වටත් පස්සෙ අපිට වැයවෙන්නේ 3.23%යි. එතකොට තෙල් සංස්ථාව පැත්තෙන් මේක ආකර්ෂණීය යෝජනාවක්. ඒ නිසා මේ යෝජනාව ඉදිරිපත් කරන්න තීරණය කළා ඇමති මණ්ඩලය අනුමැතියට. මම ඇමති මණ්ඩලයටත් කිව්වා මේක විශ්වාස කරන්න හොඳ වැඩි යෝජනාවක්.

ලංකාව වගේ අවදානම් රටක 3.23% ට ඩොලර් බිලියන 2.5 ක් දෙයි කියලා මම හිතන්නේ නෑ. හැබැයි මේක මං ඉදිරිපත් කලේ නැත්නම් අඩු පොලියට ණය ගන්න තිබුණ අවස්ථාව මම මග ඇරියා කියන චෝදනාව එල්ල වෙනවා. මං මේ කාරණය අමාත්‍ය මණ්ඩලයටත් කිව්වා. මා මිත්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා මාත් එක්ක පෞද්ගලිකව කතා කරාමත් මම කිව්වා. ඒ වගේම ඔක්තෝම්බර් මාසෙ එකොළොස් වැනි දා මාධ්‍ය හමුවකදී කිව්වා මේ ණය නම් ලැබෙන එකක් නෙමෙයි මේ කතා විශ්වාස කරන්න හොඳ වැඩියි නමුත් මම මේ ඉදිරිපත් නොකලොත් මම මේක මග ඇරියා කියන චෝදනාව එල්ල වෙනවා ඒකයි මම මේක ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ කියලා.

මම අනාවැකිය පළ කළ අයුරින් මේ ණය නම් අපට මේ දක්වා ලැබුණේ නෑ. ඒ කියන්නේ මෙවැනි යෝජනාවක් ආවා ගියා විතරයි. කවුරුවත් කොමිස් අරගෙනත් නෑ ඒක කොමිස් එකකුත් නෙමෙයි දැවැන්ත රක්ෂණයක් කළ යුතුයි. ද ලංකාවේ සාමාන්‍යයෙන් බැඳුම්කර නිකුත් කලත් 8% ගෙවන්න වෙනවා. ඉතිං 3.23% ණයත් ගන්න පුළුවන් නම් 7% රක්ෂණ ගාස්තුව ගෙවලා හරි ඒක රටට දැවැන්ත වාසියක්. මං කිව්වා මෙතරම් දැවැන්ත මුදලක් මෙතරම් අඩු පොලියට නම් කීයටවත් හම්බ වෙන්නේ නෑ කියලා අනාවැකිය සැබෑ වෙලා ඒ ණය ලැබුණේ නැහැ. නමුත් හීනෙන් නැගිට්ට වගේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වරින්වර නැගිටලා කොමිස් මුදලක් එක්ක ණයක් ගත්තෝ කියලා කියන නිසා තමයි මේ කාරණය මම පැහැදිලි කළේ.

කබීර්ගේ බොරුව

ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වසර බලශක්ති අමාත්‍යාංශයට ජයග්‍රාහී වසරක් උනාට විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් නම් ලණු කාපු නොමඟ ගිය නන්නත්තාර උන වසරක්.

තෙල් ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති මේ සභාවට පුරුද්දක් විදියට බොරු කියන මගේ ආරාධනාව පිළිගන්නෙ නැතුව කලින්ම පැනලා ගියා කබීර්හෂීම් ගරු මන්ත්‍රී තුමා. එතුමා හිටියා නම් හරි අගෙයි. අනේ එතුමා පැනලා ගිහිල්ලා. එතුමා කිව්වා පළපුරුදු සමාගම් බොර තෙල් සැපයීමේ ටෙන්ඩරයකට ඉදිරිපත් වී සිටියදී තෙල් සංස්ථාවේ සභාපතිතුමා සහ කළමණාකාර අධ්‍යක්ෂක තුමාගේ බලපෑම් මත බොරතෙල් සැපයීමේ ටෙන්ඩරයක් නයිජීරියාවේ කොන්සියෝ කියන සමාගමට දුන්නයි කියලා. ඒක ඩීල් එකක් කියලා චෝදනා කළා. ඕක කබීර් මන්ත්‍රීතුමාගේ තවත් එක් බොරුවක්. ඇයි මේ ටෙන්ඩරයට ඉදිරිපත් වෙලා තිබුනේ සමාගම් පහයි නෙමෙයි දෙකයි. බී බී එනජි සමාගමයි ඒ වගේම නයිජීරියාවේ කොන්සියෝ කියන සමාගමයි. ටෙන්ඩර් කොන්දේසි සියල්ලම මේ සමාගම් දෙකම සම්පූර්ණ කරලා තිබුණා. අඩුම ලන්සුව ඉදිරිපත් කරලා තිබුණේ නයිජීරියාවේ කොන්සියෝ සමාගම ඒ අනුව අමාත්‍ය මණ්ඩලය පත් කරපු ප්‍රසම්පාදක මණ්ඩලය නයිජීරියාවේ කොන්සියෝ සමාගමට ටෙන්ඩරය ලබා දීලා තිබුණා. කොන්දේසි සියල්ල සම්පූර්ණ කල අඩුම ලංසුවට ටෙන්ඩරය ප්‍රදානය කිරීම මගඩියක්ද? ඒක මගඩියක් වෙන්නෙ කොහොමද? කබීර් මන්ත්‍රීතුමෝ පැහැදිලි කරනු මැනවි.

එහෙම නම් මේ ටෙන්ඩරයේ මොකක් හරි වංචාවක් දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා නම් සාක්ෂි සහිතව කරුණාකර මට ඉදිරිපත් කරන්න. මම සූදානම් මේ ගැන විමර්ශනයක් කරන්න. එහෙම නැත්තං ගිහිල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න. හරියට කරුණු අධ්‍යනය නොකර විෂය නොදන්න අයගේ කේලම් අහලා මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ කිරීම පාර්ලිමේන්තුවට කරන අපහසයක් විදිහටයි අපි සලකන්නේ.

මම පිරිපහදුව පාඩුයි කියල වසල දැම්මා කියන කතාව අපේ ගයන්ත මන්ත්‍රීතුමාත් සඳහන් කළා. ඊට පස්සේ පිරිපහදුව ලාබයි කියලා සංඛ්‍යා ලේඛන පෙන්නුවා. ගරු මන්ත්‍රීතුමනි මගේ කතාව අහන්න. මම කිව්වේ නෑ පිරිපහදුව පාඩුයි කියලා. පිරිපහදුව පාඩුයි නම් වහන්න ඕනේ තාවකාලිකව නෙමේ සදාකාලිකව. මම කිව්වේ සීමිත ඩොලර් කළමනාකරණය කිරීමේදී බොරතෙල් ගෙනල්ලා 37% හැදෙන දැවි තෙල් සහ නැප්තා ප්‍රයෝජනයට නොගෙන ටැංකිවල ගබඩා කරලා 43% ක් වන පෙට්‍රල් සහ ඩීසල් භාවිතා කිරීම ඩොලර් කළමණාකරනයේදී පාඩුයි කියලා. ඉතින් පිරිපහදුව පාඩුයි කියන එකයි ඩොලර් කළමණාකරනයේදී පාඩුයි කියන එකයි දෙකක් මිස එකක් නෙවෙයි.

අපේ කබීර් මන්ත්‍රිතුමා නම් පුංචි කාලේ තුනේ පන්තියේ සිංහල පන්තියත් මග ඇරලා තියෙනවා. එතුමාට ඒ වචන දෙකේ තේරුම දන්නේ නෑ. ඒ වගේම හදල දුන්න ගාන එතුමාට පැහැදිලි වෙලා තිබ්බෙ නෑ. 2.32ක් බොරතෙල් බැරල් ඕනෙ කොහොමද පෙට්‍රල් ඩීසල් බැරලයක් හදන්න කියලා. හතරෙ පන්තියේ දි තමයි අපි ඔය බෙදීම සහ ප්‍රතිෂත ඉගෙන ගත්තෙ. බැලින්නම් කබීර් මන්ත්‍රිතුමා හතරේ පන්තියේ පන්තිය කට් කරලා. ඉතින් එතුමාට මේවා තේරෙන්නැති එක ගැන අපි පුදුම වෙන්නේ නෑ.

ඒ වගේම අවසාන වශයෙන් පැහැදිලි කරන්න ඕනේ මගේ හිතවත් නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා මතු කළා අට සමත් විශ්‍රාමිකයෙක් කියලා අපහාස කරන්න එපා අධ්‍යාපන දැනුම නැතත් සමහර අය පළපුරුද්දෙන් ලබාගන්න දැනුම තියෙනවා, පළපුරුද්ද වටිනවා කියලා. ඔබ උදාහරණයට ගෙනාවා මමත් බොහොම ගරු කරන සිංහරාජයේ දීර්ඝ කාලයක් සේවය කළ මාටින් මහත්තයා.මාර්ටින් මහත්තයා මේ විෂය ගැන උගත් කමක් නැති වුණාට ගැඹුරු දැනුමක් තියෙන පුද්ගලයෙක්. මහා අත්දැකීම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක්. ඔබතුමාලගේ පක්ෂයේ වරක් නායකයා වුණු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මහා බුද්ධිමතෙක්. හැබැයි අධ්‍යාපනික සුදුසුකම් එතුමා ළඟ තිබුණෙ නෑ. කවුරුවත් එතුමාගෙන් අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කළෙත් නෑ. මොකද එතුමගේ මහා දැනුම් සම්භාරයක් තිබුණ නිසා. නවලෝක මුදලාලි මහත්තයා පොතේ පතේ අධ්‍යාපනයක් නෑ හැබැයි වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, නීතිඥයින්, ගණකාධිකාරවරුන් සිය දහස් ගණනක් තමන් යටතේ සේවය කරන ආයතනයක ප්‍රධානියෙක් වෙන්න තරම් දැනුමක් හැකියාවක් තිබුණා හැබැයි මාර්ටින් මහත්තයත් එක්ක තමුන්නාන්සේලාගේ වෘත්තීය සහකාර ලේකම්තුමා සංසන්දනය කරලා මාර්ටින් මහත්තයට අපහාස කරන්න එපා කියලා මා මිත්‍ර නලින් බණ්ඩාර මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඇයි මම එහෙම කියන්නේ එතුමා මේ විෂය ගැන දන්නේ නෑ. දන්නෙ නැති හින්ද කට ඇරියොත් කියන්නේ බොරු. තමුන්නාසේලාට දුන්නොත් දෙන්නෙ ලණු.

අට සමත් විශ්‍රාමිකයෙක් මාස පහට බොරු 11ක් කියයි

මං කියන්නම් පහුගිය මාස පහේ විතරක් කිව්වා බොරු 11ක්. රටේ ඉන්ධන හිගයක් ඇතිවෙනවා කියලා හතර වතාවක් කිව්වා. ඉන්දියාවේ විදේශ ලේකම් ලංකාවට ආවේ මාත් සමඟ ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ගිවිසුමක් අස්සන් කරන්න කියලා බොරුවක් කිවුවා. දැන් බොරු පහයි. මම ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්න යනවා කිව්වා. 2003දී තමුන්නාන්සේලාගේ ආණ්ඩුව අවුරුදු 35කට ම දීලා ඉවරයි. මට තියෙන්නෙ ගන්න එක මිසක් දෙන එක නෙවෙයි දැන් කීයද බොරු හයයි. තෙල් ගවේෂණය පිළිබඳ පනත ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා මං මේ පාර්ලිමේන්තුවට ගෙනාවහම තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ පනතක් ගෙනාවයි කිව්වා දැන් හතයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සදා නොනිමෙන දැල්ල 2021 නොවැම්බර් මාසයේ නිමා දැමුවා කිව්වා. මාර්තු මාසේ දින තිස් පහකට නිවිලා තිබ්බා.දන්නෙ නෑ එතුමා විශ්‍රාමිකයිනේ දැන් 8යි. ඊළඟට පිරිපහදුවේ දෛනික බොර තෙල් පිරිපහදු කිරීම ටොන් 6500ක් පිරිපහදු කරනවා කිව්වා. ඇත්තෙන්ම 2012 න් පස්සේ 6500ක් පිරිපහදු කරන්න බෑ. මොකද ඉරානියන් ලයිට් කියන බොර තෙල් වර්ග අපට ලැබෙන්නේ නැති නිසා දැන් නමයයි. ඊළඟට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 900 ක ණයක් ගන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් වල තෙල් විකිනීමේ ඒකාධිකාරිය ඉන්දියාවට දෙන්නයි කියලා කිව්වා දැන් 10 යි. මම උපරිම වශයෙන් දින පනහකට තෙල් පිරිපහදු වහනවා කිව්වම ඇයි එහෙනම් ලඟදි අරින්න යන්නේ කියලා ප්‍රශ්න කළා බොරු 11යි. මාස පහට බොරු 11යි. ඉතින් එවැනි කෙනෙක්ගෙන් ලනු කාලා විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා අමාරුවෙ වැටෙන්න එපා. ඔබතුමාන්ලට අපි ගරු කරනවා. ඔබතුමන්ලා මේ විෂයන් ගැන අවබෝධයෙන් කතා කරන මන්ත්‍රීතුමන්ලා ඒ නිසා අපේ විපක්ෂ නායකතුමාට අලුතෙන් සහකාර ලේකම් කෙනෙක් අරගෙන මේ ප්‍රශ්නය විසඳගමුයි කියලා විපක්ෂයට යෝජනා කරමින් එහෙම කළොත් අපිට හරවත් විවාදයක් කරගන්න පුළුවන් වෙනවා.

2050 වර්ෂයෙන් පස්සේ තෙල් යුගය අවසන් වෙනවාය කියලා ලෝකයේ බලශක්ති විශේෂඥයන් පැහැදිලි කරනවා. එහෙනම් වසර දස ලක්ෂ ගණනක් මේ මහ පොළොව යට සැගවිලා තිබෙන තෙල් හා ගෑස් සම්පත් ගොඩ දාලා අපේ රට ගොඩ දාන්න අපිට තියෙන්නේ සීමිත කාලයයි. ඒ සඳහා පක්ෂ භේද අතහැරලා අපි ජාතියක් විදිහට සමගිව කටයුතු කළ යුතුයි. ඒ නිසා තමයි මේ වැඩපිළිවෙළ පැහැදිලි කරලා ඒ පිළිබඳ විපක්ෂයේ අදහස් ලබාගන්න සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය හමුවෙන්න එන්න මට අවස්ථාවක් ලබා දෙන්න කියලා මා ඒ පක්ෂවලින් මේ සභාවේ දී ඉල්ලුවා, ලියුම් ලියලා ලිඛිතව ඉල්ලුවා. අපට ඒ අවස්ථාව ලැබුණේ නෑ. ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුනි අපි මේ හිටවන අඹ ඇටය ඵල එන්නෙ අද හෙට නෙමෙයි අනාගතයේදී. ඒ නිසා මේක අපේ වැඩක් වත් ඔබේ වැඩක් වත් නෙමෙයි රටේ වැඩක් කියලා හිතලා අපි ඔක්කොම එකට එකතු වෙලා මේ තෙල් සහ ගෑස් සම්පත ගොඩ දාලා අපේ පුංචි රට ගොඩ දාමු ඒ කියන යෝජනාව කරමින් මම නිහඩ වෙනවා.

 

No comments

Ads Place