Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකයේ අනෙක් රටවල් අපට වඩා විශාල අර්බුධ වලට මූණ දී තියෙනවා...

අපේ රටට බොහොම ආදරයෙන් වැඩකරන පිටරට හිටියත් අපේ රට ගැන හිතන අපේ රට විරුවෝ ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. අපි ඉදිරියේදී මධ්‍යම පාන්තික නිවාස සාදන...

අපේ රටට බොහොම ආදරයෙන් වැඩකරන පිටරට හිටියත් අපේ රට ගැන හිතන අපේ රට විරුවෝ ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. අපි ඉදිරියේදී මධ්‍යම පාන්තික නිවාස සාදන විට විදේශ රටවල වැඩකරන අපේ ශ‍්‍රමිකයන්ට ඒ නිවාස වලින් යම්කිසි ප‍්‍රතිශතයක් ඔවුන්ට ප‍්‍රමුඛතාවය දී වෙන් කරන්න කියලා මම නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා’ යැයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, කොළඹ 05, පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ ඉදිකරන ලද නිවාස 528 කින් සමන්විත ‘කොලොම්තොට සරසවි උයන’ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරුණු අවස්ථාවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

‘අපි ඇත්ත වශයෙන් ම මේ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2014 ට කලින් පටන් අරං තිබූ වැඩ ඉදිරියට ගෙනයාමක් කියලා කිව්වොත් ඒක ඉතාමත් නිවැරදියි. අපි හැමෝම දන්නවා 2014 වන විට මහින්ද රාජපක්ෂ 5 වන විධායක ජනාධිපතිතුමා යටතේ එවකට අපේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් හිටපු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ යුද්ධයෙන් පස්සේ අති විශාල නාගරික සංවර්ධනයක් මේ රටේ ඇතිවුණා. විශේෂයෙන්ම කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය කියලා සම්මාන පවා දිනාගෙන හිටියා. බැලූ බැලූ අත වැඩ තිබෙන වැඩබිමක් බවට මේ රටම පත්වෙලා තිබුණා. මහා වරායවල් හැදෙමින් තිබුණා. ගුවන් තොටුපලවල් හැදෙමින් තිබුණා. අධිවේගී මාර්ග හැදෙමින් තිබුණා. වැව් අමුණු හැදෙමින් තිබුණා. වාරිමාර්ග, විදුලි බලාගාර හැදෙමින් තිබුණා. සෑම ආකාරයකම යටිතල පහසුකම් සංවර්ධනය වෙමින් තිබුණා. අවාසනාවකට වගේ 2015 න් පස්සේ ඒ වැඩබිම මුඩු බිමක් බවට පත් වුණා. ඒ ව්‍යාපෘති සියල්ලම වගේ හරියට තරහකට, මේ රට ගැන යම්කිසි අමනාපයකින් කරපු දෙයක් වගේ නවතා දමනු ලැබුවා. කොළඹ වරාය නගරය සංවර්ධනය නතර කරලා පටන් ගත්ත වැඩපිළිවෙල අධිවේගී මාර්ග, මාර්ග, වැව් අමුණු මේ සියල්ල නතර කරන තත්වයකට ආවා. 2019 වන විට මේ රටේ සංවර්ධන කටයුතු තිබුණේ ඉතාම දුර්වල මට්ටමක.

2019 ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමා පත්වුණාට පස්සේ අපට පුළුවන් උනා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඒ සියල්ල යළි ආරම්භ කරන්නට. මා හිතනවා අග‍්‍රාමාත්‍යතුමනි ඔබතුමාට ආඩම්බර වන්නට පුළුවන්. මේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය අමාත්‍යාංශ මේ වසර එකහමාරක කාලය තුළ මේ රටට අප විසින් ඉටුකළ යුතු යුතුකම හරියාකාරව ඉටුකරපු අමාත්‍යාංශයක් කියලා. මොකද අපි සතියේ දවස් හතම වැඩකරන අමාත්‍යාංශයක්. ලංකාවේ සෑම තැනකම, සෑම කොනකම යම්කිසි ව්‍යාපෘතියක් හැම වෙලේම කි‍්‍රයාත්මක වෙනවා. 2021 වසරේ අපි ව්‍යාපෘති 300 කට වඩා ආරම්භ කරලා ඒ බොහෝමයක් අවසාන මට්ටමට ගෙනල්ලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම කොරෝනා ප‍්‍රශ්නය නාවානම් ඒ සියල්ල අවසන් වන්නට තිබුණා. නමුත් කොරෝනා නිසා වෙච්ච යම්කිසි ප‍්‍රමාදයන් නිසා ජනවාරි පෙබරවාරි වෙනකොට ඒ සියල්ලම වගේ අවසන් වෙනවා. ඒ අතර විවිධාකාර ව්‍යාපෘති තිබෙනවා. ඒ අතර නගර සංවර්ධන ව්‍යාපෘති, නිවාස ව්‍යාපෘති, ඇවිදින මංතීරු, පොදු වෙළෙඳපොලවල්, බස්නැවතුම්පලවල්, බහුකාර්ය මධ්‍යස්ථාන ආදී වශයෙන් විවිධාකාර සංවර්ධන ව්‍යාපෘති මේ ව්‍යාපෘති 300 අතරේ තිබෙනවා.

ඒ අතරින් සුවිශේෂීම ව්‍යාපෘතියක් වුණේ නිවාස සංවර්ධනය. අපි දන්නවා නාගරිකරණය වන රටේ වර්ග කිලෝමීටර් 65000 ක් තිබෙන මේ භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටරයකට මිනිස්සු 340 ක් පමණ ජීවත්වන අධික ජනඝනත්වයක් තිබෙන මේ රටේ අනාගතයේ අපට නිවාස සාදන කොට හැකිතාක් දුරට මහල් නිවාසවලට යන්නට සිදුවෙනවා. මොකද අපට තවදුරටත් තනි තට්ටුවේ නිවාස හදන්නට මේ රටේ ඉඩ නැහැ. ඒ නිසා අපේ රටේ තිබෙන සාමාන්‍ය සම්ප‍්‍රදාය, සාමාන්‍ය කැමැත්ත වන ඉඩමක් අරගෙන ඒකේ ගෙයක් හදන තත්වය අපි ඉදිරියට වෙනස් කරලා පුළුවන් තරම් මේ මහල් නිවාස ප‍්‍රවර්ධනය කරන්නට ඕනේ. ඒ සඳහා ජනතාව ආකර්ෂණය කර ගන්නට ඕනේ. ඒ සම්බන්ධයෙන් මා හිතනවා පසුගිය වසර එකහමාරක කාලය තුළ අපට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් උනා. අපි මහල් නිවාස 10500 ක් සෑදීම පටන් ගත්තා මේ කාලය තුළ. ඉදිරි වසර කිහිපය තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒ අපි විසින් කරන්නා වූ නිවාස ප‍්‍රමාණය තිස්දහසක පමණ සීමාවකට ගෙනයන්නට. හැබැයි අපි තව දෙයක් මතක තබා ගත යුතුයි මේ සාදන නිවාස ප‍්‍රමාණය මේ රටේ නිවාස අවශ්‍යතාවයට බෙහෙවින්ම මදි. අපේ රටේ මේ වන විට පවුල් කුටුම්බ තිබෙනවා මිලියන 6ක් පමණ. ලක්ෂ 61 ක් පමණ. ඒ අතින් නිවාස තිබෙන්නේ ලක්ෂ 52 කට පමණයි. ඒ නිවාස ලක්ෂ 52 ත් සර්ව සම්පූර්ණ නිවාස නෙමෙයි. ඒ අතර බොහෝ තිබෙනවා අර්ධ සම්පූර්ණ නිවාස. පැල්පත් නිවාස, වැනි අඩු පහසුකම් තිබෙන නිවාසවලටත් අපි විසඳුම් සොයන්නට ඕනේ. අපි බැලූවොත් මිලියන දෙකකට වඩා නිවාස අවශ්‍යතාවයක් මේ රටේ තිබෙනවා. ඒ සමස්ථ නිවාස අවශ්‍යතාවය සපුරන්නට රජයට තනිවම බැහැ. ඇත්ත වශයෙන්ම වර්තමාන රජය ඉතාමත් ඉහළ ඉලක්කයක් තබාගෙන තිබෙනවා අප විසින් සාදන්නා වූ නිවාස සම්බන්ධයෙන්. නමුත් අපි මේ අවශ්‍යතාවය දිහා බලලා තේරුම් අරන් තිබෙනවා මේ කාර්යය ඉටු කිරීම සඳහා රජයත් සමග අපි පෞද්ගලික අංශයත් සම්බන්ධ කර ගන්න ඕනේ කියන එක. ඒනිසා අපි දැනටමත් පෞද්ගලික අංශයත් සමග සම්බන්ධ වෙලා රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන වශයෙන් නිවාස සංකීර්ණ සෑදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. ඉදිරියේදී අපි විශ්වාස කරනවා මේ හරහා විශාල නිවාස ප‍්‍රමාණයක් රටපුරා ඉදිකරන්න පුළළුවන් කියලා. එතනදී රජයේ ආයෝජනය වන්නේ ඉඩම. මොකද රටපුරාම රජය සතු ඉඩම් ඉතාමත් හොඳ ස්ථානවල තිබෙනවා. මේ ඉඩකඩම්වලට අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයට ආරාධනා කරන්න ඇවිල්ලා ඔවුන්ගේ මුදල් ගෙනල්ලා ඒ නිවාස ඉදිකරන්න කියලා. අපි විශ්වාස කරනවා අපි දෙගොල්ලො එකතු වෙලා වැඩ කළොත් සෑහෙන නිවාස ප‍්‍රමාණයක් ඉදිරි වසර දෙක තුළ නිම කරන්න පුළුවන් වෙයි කියලා.

ඊට අමතරව අපි සම්බන්ධ උනත් නැතත් පුද්ගලික අංශයෙන් කරන්නා වූ නිවාස ව්‍යාපෘති සඳහා, නිවාස සංවර්ධනය සඳහා නියාමන ආයතනය වශයෙනුත් අපි බලාපොරොත්තු වෙනවා ඔවුනට අවශ්‍ය කරන උපරිම සහය ලබාදෙන්න. ඒ නිසා ඔවුනට අනුමැතීන් ලබාදීම සඳහා වූ අපේ යාන්ත‍්‍රණය මේ වන විටත් සම්පූර්ණයෙන්ම පරිණක ගත කරලා තිබෙනවා. අද ඕනෑම ව්‍යාපෘතියකට, ආයතනයකට අවශ්‍ය අනුමැතීන් ඔන්ලයින් ක‍්‍රමයට ලබාගැනීම හැකියාව අපි ලබාදී තිබෙනවා. අපි මේ ක‍්‍රමය තවත් කාර්යක්ෂම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් දෙකම එකට එකතුවෙලා වැඩ කළොත් පමණයි මේ අරමුණ අපට ඉටු කරගන්න පුළුවන් වෙන්නේ.

2014 ට පෙර අපේ අමාත්‍යාංශයෙන් නිවාස සංවර්ධනය ගැන කතා කරන කොට අපි විශේෂයෙන්ම අවධානය දුන්නේ අඩු ආදායම්ලාභීන් සම්බන්ධයෙන්. රජයේ විවිධ සංවර්ධන කටයුතු නිසා නිවාස අහිමිවන අයට නිවාස ලබාදෙන්නට තමයි නිවාස සෑදීමේ ව්‍යාපෘති පටන් ගත්තේ. ඒ ව්‍යාපෘති අපි දිගටම කරගෙන යනවා. පසුගිය වසර එකහමාර තුළත් අපි නිවාස 7000 ක් පමණ මේ යටතේ ආරම්භ කරලා තිබෙනවා. අපි අලූතින් වැඩි අවධානයක් දෙනවා මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස සකස් කිරීම සඳහා අපේ රටේ විශාල වෘත්තිකයන් පිරිසක් ඉන්නවා. ව්‍යාපාරිකයන් පිරිසක් සිටිනවා. තරුණ ප‍්‍රජාවක් සිටිනවා. මේ අයගේ නිවාස අවශ්‍යතාවය ගැනත් අපි බලන්නට ඕනේ. ඒ නිසා තමයි අපි මැදි ආදායම්ලාභීන් සඳහා නිවාස සෑදීම සඳහා 2021 අයවැයෙන් නිවාස 5000 ක් සඳහා ප‍්‍රතිපාදන අනුමත කරගෙන මේ වන විටත් 3000 කට වඩා නිවාස ඉදිකිරීම් ආරම්භ කරලා තිබෙන්නේ.

මේ කටයුත්ත කරගෙන යනකොට තවත් එක පිරිසක් ගැන අපි අමතක කරන්න හොඳ නැහැ. මා හිතනවා අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන අපේ රටට බොහොම ආදරයෙන් වැඩකරන පිටරට හිටියත් අපේ රට ගැන හිතන අපේ රට විරුවෝ ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරලා තිබෙනවා අපි ඉදිරියේදී මේ මධ්‍යම පාන්තික නිවාස සාදන විට විදේශ රටවල වැඩකරන අපේ ශ‍්‍රමිකයන්ට ඒ නිවාස වලින් යම්කිසි ප‍්‍රතිශතයක් ඔවුන්ට ප‍්‍රමුඛතාවය දී වෙන් කරන්න කියලා මම නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. අපි විවිධ ක්‍ෂෙත‍්‍රවල ජනතාව හඳුනා ගනිද්දි නිවාස අවශ්‍යතාවය සපුරාලන්නට මේ රට විරුවන් වෙනුවෙනුත් අපේ රජය විශේෂ කැපකිරීමක් කරන්නට, ඔවුනට උදව් කරන්නට සූදානම් වෙලා ඉන්නවා කියන කාරණය අපි මතක් කරන්නට කැමතියි.

අපි දන්නවා මේ අවස්ථාවේදී මේ රටේ ප‍්‍රශ්න තිබෙනවා, අර්බුද තිබෙනවා, විවේචන තිබෙනවා. අපට භාර දුන්න වගකීම හරියට ඉටු කරනවා නම් මම හිතන්නේ අපි සියළු දෙනාම එකතු වෙලා මෙම අර්බුදයෙන් ගොඩ එන්න අපට පුළුවන්. කිසිම අර්බුදයක්, කිසිම ගැටළුවක් සදාකාලික නැහැ. ලෝකයේ අනෙක් රටවල් අපට වඩා විශාල අර්බුදවලට මුහුණ දීලා තිබෙනවා. ලෝකයේ රටවල් යුද්ධවලින් පැරදිලා විනාශ වෙලා අලූ දූලි වෙලා තිබෙනවා. හැබැයි ඒ රටවල් ඒ රටවල ජනතාව එකට එකතු වෙලා කැපවීමෙන් ගොඩනැගුවා. මම හිතන්නේ 2009 ත් අතිගරු මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අපි යුද්ධය අවසන් කරාට පස්සේ අපි ඒ වගේ කැපවීමකින් වැඩ කළා. මේ රටේ හැම කෙනෙක්ම එකට එකතු වෙලා රට ගොඩනැගීමේ කාර්යයට දායක වුණා. වර්තමාන අර්බුදයත් ඒ විදිහටම බලලා අපේ රටේ සියළු දෙනා එකට එකතු වෙලා විවේචන, ප‍්‍රශ්න ගැන කතා කරන එක පැත්තක දාලා මේ රට ගොඩනැගීමේ කාර්යයට එකතු වෙන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය අධිනීතීඥ සුසිල් පේ‍්‍රමජයන්ත ඇතුළු මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප‍්‍රියශාන්ත ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ නිවාස ලාභීන් සහභාගී විය.

 

No comments

Ads Place