Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුවන් තොටුපලේ නෙළුම් මල,කෙහෙල් කොළය කරන්න මිලියන 661ක්...

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලබන්නේ රටේ  අනාගත පරපුර යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අගමැතිවරයා මෙසේ පැවසුවේ  කටුනායක බණ්ඩාරනායක ජා...

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලබන්නේ රටේ  අනාගත පරපුර යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර  ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන අතර ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්තය. ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු මේ වන විට කඩිනම් කර ඇත. විවෘත කෙරුණු ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් බිලියන 6.1ක මුදලක් වැය කර ඇති අතර ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා ණය ප්‍රධානය කර ඇත. මෙතෙක් ගුවන් යානා 25ක් නවතා තැබීම සඳහා වූ පර්යන්තයේ අද සිට ගුවන් යානා 48ක් නවතා තැබිම සඳහා පහසුකම් සැළසේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ ද පැවසීය.

ආසියාවේ කේන්ද්‍රීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් විදියට අපේ ගුවන්තොටුපොළ සංවර්ධනය කරන්න අපි තීරණය කළේ 2010 දී. අපිට අවශ්‍ය වුනේ ගුවන්තොටුපොළ වර්තමානයට ගැලපෙන විදියට සංවර්ධනය කරන්න. ඒවගේම තවත් වසර 20ක් එහා අනාගතය ගැනත් හිතලයි එදා අපි මේ සංවර්ධන සැලසුම් හැදුවේ.  ජපානයේ හිටපු අගමැති ශින්ෂුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කළේ 2014 වර්ෂයේදියි. සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ආයෝජකයෝ  එක්ක ගිවිසුම් පවා අත්සන් කරලා තිබුණ වෙලාවකයි 2015 දි අපේ රජය පෙරලුණේ.

ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර දෙකකින් අවසන් කරන්න ඒ වන විටත් සැළසුම් සකස් කරල තිබ්බේ. ‍ 2015 දී බලයට පත් වුන යහපාලන රජය මේ ව්‍යාපෘති නියමිත පරිදි කරගෙන ගියේ නැහැ. අපේ  රජය බලයට ඇවිත් 2020 මාර්තු මාසෙදී තමයි පළමු අදියරේ වැඩ ආරම්භ කළේ.

අද අපි මහජනතාවට විවෘත කරන මේ අදියරේ වැඩ ආරම්භ කිරීමත් යහපාලන ආණ්ඩුව ප්‍රමාද කළා. මේ ගොඩනැගිල්ලේ වහලයේ සැළසුම වෙනස් කරන්න ඒ අයට අවශ්‍ය වුනා. මුල් සැළසුමේ නෙලුම් මලක හැඩයට වහලය ඉදිකරන්න නියමිතව තිබුණා. ඒ වෙනුවට ශාක පත්‍රයක හැඩයට වහලයේ සැළසුම වෙනස් කරන්න විතරක් යහපාලන ආණ්ඩුව රුපියල් මිලියන 661ක් වියදම් කළා.  ඒ විදියට සැළසුම වෙනස් කරන්න ගිය නිසා තමයි දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරන්න ප්‍රමාද වුනේ.

අද ඉදන් ගුවන්තොටුපොළේ ගුවන්යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 48ක් බවට පත්වෙනවා. මේ වෙනකල් තිබුණේ අංගන 25යි. මේ දක්වා එක අවුරුද්දකට මගීන් මිලියන 6ක් හැසිරවීමේ ධාරිතාව 2023 ඉදන් වර්ෂයකට මිලියන 15ක් දක්වා වැඩි වෙනවා. ඔබට මතක ඇති කටුනායක ගුවන්තොටුපොළට කොටි ත්‍රස්තවාදින්ගෙන් එල්ල වුන මිලේච්ඡ ප්‍රහාරය. එදා ගුවන්තොටුපොළේ සේවය කරපු අය ඒ ප්‍රහාරයේ බිහිසුනු බව අත්වින්දා. එදා ඇති වුන හදිසි තත්ත්වයේදී ලංකාවට එමින් සිටි ගුවන්යානා යොමු කරන්න වෙනත් ගුවන්තොටුපොළක් අපිට තිබුණේ නැහැ. මේ නිසා ආසන්න රටවලට ඒ ගුවන්යානා යොමු කරන්න සිදුවුනා. එදා තමයි අපේ රටට අතිරේක ගුවන්තොටුපොළක අවශ්‍යතාවය තදින්ම දැනුන දවස. ඒ අනුව තමයි අපේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අතිරේකව තවත් ගුවන්තොටුපොළක අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කළේ. ඒ අනුව අපි මත්තල ගුවන් තොටුපළ හැදුවා.

2015 දී බලයට ආපු යහපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපොළ ආර්ථික සංවර්ධනයට දායක කර ගන්නවා වෙනුවට රාජපක්ෂලාගෙන් පළිගන්න වී ගබඩා කළා. ඒ වගේ බංකොළොත් මට්ටමකට වැටුණු යහපාලන ආණ්ඩුව පුළුවන් තරම් ණය අරගත්තා. හැබැයි කරපු දෙයක් නැහැ. ණයක් ගත්තා නම් ඒ ණය මුදල් ආයෝජනය කරලා කරපු දෙයක් ‍තියෙන්න ඕනේ. මත්තල ගුවන්තොටු‍පොළ විනිමය උපයන්නේ අපේ රටට. ඒවා අපේ රටේ සම්පත්.

යහපාලන ආණ්ඩුවට කිසිම සංවර්ධන සැලසුමක්, සංවර්ධන ඉලක්කයක් තිබුණේ නැහැ. මානුෂීය මෙහෙයුම මඟින් ත්‍රස්තවාදය අවසන් කරලා, රටට සාමය උදා වුනාට පස්සේ අපේ රටට එන සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිවුනා. ඇත්තටම සංචාරක කර්මාන්තය මෙරට විනිමය ඉපයීමේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට පත්වුණා. අපේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩිවෙනවාත් එක්කම ක්‍රමයෙන් ගුවන්තොටුපොළ පරිහරණය කරන ගුවන් මගීන් ප්‍රමාණය ද  වැඩිවුණා.

කොවිඩ් වසංගතයත් එක්ක ජනතාවගේ ආරක්ෂාවට මූලිකත්වය දීලා කටයුතු කළ නිසා පහුගිය කාලයේ ගුවන්තොටුපොළ වසා දැමුවා. රටවල් අතර ගමනාගමනය නතර වෙලා අපේ රටට සංචාරකයින්ගේ පැමිණීමත් නතර වුනා.

සංචාරක ව්‍යාපාරය කඩා වැටුනා කියලා ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු අඩාල වෙන්න අපේ ඇමැතිතුමන්ලා ඉඩ තිබ්බේ නැහැ. ජනතාව‍ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව තිබුණාටත් වඩා හොදින් සංචාරක ව්‍යාපාරය පවත්වා ගෙන යන්න සුදුසු පරිසරය සකස් කරන්න සංචාරක ඇමැතිතුමා පියවර ගත්තා. අපේ රජයන් බලයට පැමිණි හැම කාලයකදිම වැඩ කලේ ඉදිරි දැක්මක් සහිතව ක්‍රමාණුකුලවයි. එදා මහින්ද චින්තන වැඩපිළවෙල යටතේ ගුවන්‍‍තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික පසුබිම සකස් කරලා, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන තැනටම ගෙනාවා.

මෙවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල මඟින් ද කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කරන බව කිව්වා. කියනවා වගේම අපේ රජයන් බලයට පත්වුනාම වැඩ කරලාත් පෙන්වනවා. අපි කරන සෑම සංවර්ධන ව්‍යාපෘතියකම ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ අනාගත පරපුරට බව ප්‍රකාශ කරන්න ඕනේ.

ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී,වී චානක මහතා

 

වසංගතය ආපු වෙලාවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් එන්නත්කරණ වැඩපිළිවෙලට මුල් තැන දුන්නා. රට වහලා තියෙන වෙලාවෙත් මේ ව්‍යාපෘති කරගෙන යන්න කියලා අපිට නියෝග කළා. රටේ සංවර්ධනය ඉදිරියට යන්න ඕනේ කියන අගමැතිතුමාගේ දර්ශනයයි ඉදිරියට ගෙන ගියේ. මේ ව්‍යාපෘතිය එකතැන නතර වෙලා තිබුණේ. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා අමාත්‍යධූරයට පත්වුනාට පස්සේ තමයි නැවත මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. මේ ව්‍යාපෘතිය දිහා බැලුවම ලේසියි වගේ පෙනුනාට වැඩ කරන්න ගියාම අසිරු අවස්ථා සෑහෙන්න තිබුණා. ලෝකයේ තියෙන ලොකුම ගුවන්යානය වුනත් ඇවිත් නතර කරන්න පහසුකම් තියෙන්න ඕනේ තැනක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය භාරව හිටිය ව්‍යාපෘති ප්‍රධානියාගේ සිට කම්කරුවා දක්වා මේ කාර්ය අභියෝගයක් වුනා. කොරෝනා මැද්දේ අභියෝග භාර අරන් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ලබා දුන්න ශක්තිය අපි මතක් කරන්න ඕනේ. ලංකාවේ සංවර්ධනය දිහා බැලුවාම යම් සංවර්ධනයක් වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා  කළ ව්‍යාපෘති විතරයි. ගොාඩබිම බැලුවත්, මුහුද බැලුවත්, ගුවන බැලුවත් පේන්න තියෙන්නේ එතුමා කරපු දේවල්. හම්බන්තොට වරාය හැදුවේ, ගොඩබිම හයිවේ ටික හැදුවා, පාරවල් කාපට් කළා. මත්තල ගුවන්තොටුපොළ හැදුවා. එදා ගුවන්තොටුපොළේ  ගුවන් මගින්ට පහසුකම් ප්‍රමාණවත් නැති බව මහින්ද රාජපක්ෂ මහතා දැක්කා. මිලියන 6ක් ගුවන් මගින් මෙහෙයවන තැනක් නෙවෙයි ගුවන්තොටුපොළ මගීන් මිලියන 15ක් මෙහෙයවන තැනක් වෙන්න ඕනේ කියලා පහසුකම් සංවර්ධනය කරන්න තීරණය කළේ එතුමායි.

ගුවන් යානා 23 වෙනුවට ගුවන් යානා 50ක් නතර කරන්න අවශ්‍ය පහසුකම් හදන්න කිව්වා. 2017 විවෘත කරන්න තිබුණ එකක් තමයි මේ ඇදි ඇදි ආවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවට පස්සේ තමයි නැවත මේ ව්‍යාපෘතිය ආරම්භ කලේ. නියමිත පරිදි ව්‍යාපෘතියේ වැඩ අවසන් වෙලා තිබුණානම් ගෙවුනු වසර 4දි අපිට කෝටි 1600ට වැඩි මුදලක් ලැබෙන්න තිබුණා. ඒ මුදල් අහිමි වුනේ රටට.

පහුගිය කෙටි කාලයේදී ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතම ගුවන්තොටුපලවල් 100 අතරට අපි එකතු වුනා. මත්තල ගුවන්තොටුපොළත් ඒකට එකතුවුනා. මත්තල කියන්නේ අද ප්‍රධාන ගුවන් සමාගමක් 23ක් එන ගුවන් තොටුපොලක්. ඉදිරි මාස තුනේදි විතරක් මත්තල ගුවන්තොටුපොල හරහා සංචාරකයින් 20000ට වැඩිය එනවා. ඒ වගේ අනාගතය දිහා බලලයි මහින්ද රාජපක්ෂ මහතා සංවර්ධන වැඩපිළිවෙල සකස් කලේ. ගුවන් තොටුපොලට එන සංචාරකයින්ට අපි හොදින් සලකන්න ඕනේ. පහසුකම් සලසන්න ඕනේ. අනාගතය වෙනුවෙන් අපි සූදනම් වෙන්න ඕනේ. ඒ සදහා සංවර්ධනය ඉදිරියට ගෙනියන්න අපි සූදානම්.

ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රීලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි මහතා

මෙම දැවැන්ත ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට හා එය සාර්ථකව නිම කිරීම සඳහා සක්‍රීයව මගපෙන්වීමට ලැබීම මට ඉමහත් ආඩම්බරයකි. සත්‍යවශයෙන්ම, එවැනි සංවර්ධනයක් ගුවන් සේවා කර්මාන්තයේ වර්ධනයට සහ එහි ව්‍යාපෘතියට ඉතා වැදගත් වේ. අපේ ජීවිතවලට සැලකිය යුතු ලෙස බලපෑ ගෝලීය වසංගතය අපේ ජීවිත වලට බලපෑම් එල්ල කලා.  ඒත් අපි නැවත නැගී සිටිය යුතුයි. නව ගුවන් අංගනය ප්‍රදේශය සංවර්ධන ව්‍යාපෘතිය අභියෝග රැසක් මධ්‍යයේ සිදු කෙරුණේ. ඒ වුනත් නියමිත පරිදි මෙහෙයුම් නිම කිරීමට අපට හැකිවුණා. සියලු බලාපොරොත්තු සහ ඉලක්ක නියමික කාලරාමු තුල ඉටුකරමින් මෙම ව්‍යාපෘතිය ඉතාමත් ම සාර්ථකව නිමකිරීමට සම්බන්ධ වූ ඉංජිනේරුවරුන්, කාර්මික ශිල්පීන් හා සෙසු සියලුම මට්ටම්වල තම වගකීම් නිසි පරිදි ඉටුකෙරූ සහ මේ සඳහා වෙහෙස වූ දෙනාටත්, වෘත්තීය සමිති නියෝජිතයින්ටත් මාගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා.

අග්‍රාමාත්‍යතුමන්ගේ අභීත නායකත්වයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් 2009 මැයි මාසයේදී තිස් වසරක යුද්ධය නිමාවීමත් සමග මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහල ගියා. 2015 දි සංචාරක පැමිණීම මිලියන 11 දක්වා වැඩිවුණා. ඒ කාලයේදි තමයි එදා පැවැති රජය නව පර්යන්තය ඉදි කිරීම සඳහා අවැසි මූලික කටයුතු ආරම්භ කළේ.

ඒ අනුව එදා  පැවැති රජය 2012 වර්ෂයේදී මෙම නව පර්යන්තය ඉදිකිරීම සඳහා වූ ගිවිසුම අත්සන් කරලා, 2014 සැප්තැම්බර් මස 07 දින මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මුල්ගල් තබා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ. නමුත්, 2015 වර්ෂයේදී පත්වූ නව රජය වසර 5 ක කාලයක් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අකර්මර්ණය කළා.  නියමිත පරිදි එම ව්‍යාපෘතිය ආරම්භක දිනයේ සිට මේ දක්වා නිසි පරිදි නිසි අධීක්ෂණයකින් යුතුව ක්‍රියාත්මක වුනා නම් 2017 වර්ෂය අවසාන වන විට සම්පූර්ණයෙන්ම වැඩ නිමවා ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට හැකියාව තිබුණා.

එදා එහෙම වුනා නම් අද නවීන අංගෝපාංගයන්ගෙන් හා නවීන තාක්ෂණයෙන් යුක්ත වූ ආසියාවේ නවීනතම ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූනු ගුවන්තොටුපොළ රටට විදේශ විනිමය ගලා එන ජාතික සම්පතක්.

ගෝලීය වසංගත තත්වය හමුවේ වුනත් වැඩබිම් හා සමාගම් සේවකයින්ද ආරක්ෂා කර ගනිමින් මෙහි මූලික කැණීම් හා ඉදිකිරීම් කටයුතු නැවත 2020 නොවැම්බර් මස 18 වන දා සිට ආරම්භ කලෙත් අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම නව ගුවන්යානා නැවතුම් අංගනය තුල ගුවන් යානා නැවැත්වීමේ නව ස්ථාන 23ක් ඇතුළත්ය. ඒ අනුව ගුවන් තොටුපළේ සම්පූර්ණ ගුවන්යානා නැවතුම් ධාරිතාව 48 දක්වා වැඩි කෙරෙනවා.

දැඩි අභියෝග හමුවේ ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කරන්න අපි කටයුතු කළා වගේම පළමු අදියරේ වැඩ කටයුතු නියමිත දිනට අවසන් කරන්න අපි කැපවී කටයුතු කරනවා.

මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී  ලංකා තානාපති හිදේකි මිසුකොශී (HIDEKI MIZUKOSHI) මහතා සහ  සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ ශ්‍රී  ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

No comments

Ads Place