Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් - 19 එන්නතට ඔබ තවත් බයද?

  සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේශ් කොග්ගලගේ කොවිඩ්- 19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩා විඳින ජනතාවග...

 


සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේශ් කොග්ගලගේ


කොවිඩ්- 19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩා විඳින ජනතාවගේ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම උදෙසා මේ වනවිට රටවල් කිහිපයක්ම විවිධ එන්නත් නිපදවා ඇත. මේ වනවිට අවුරුදු 30ට වැඩි, 60ට වැඩි පුදුගලයන් හට එන්නත ලබා දුන් අතර අද සිට 18ත් 30ත් අතර බස්නාහිර පලාතේ පුද්ගලයන්ට එන්නත්කරණය ඇරඹිණි.


එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (කොවිශීල්ඩ්), චීනයේ සයිනෆාම් සහ රුසියාවේ ස්පුට්නික් -V, ෆයිසර් එන්නත් මූලික වශයෙන් අප රට තුළ එන්නත්කරණය සඳහා යොදා ගනී. මේවනවිට මොඩර්නා එන්නතද සුදුසු බවට නිර්දේශව ඇත. මාත්‍රා දෙකකින් යුත් මේ සියලුම එන්නත් කොවිඩ්-19 රෝග පාලනය සහ සංකුලතා අවම කිරීම සඳහා සාධනීය ශක්‍යතාවකින් යුත් අතර එන්නත් අතරේ සුළු වෙනස්කම් පමණක් පවතී. පොදුවේ ගත් විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සහ සයිනෆාම් පළමු සහ දෙවැනි මාත්‍රා එකම එන්නතෙන් ලබාදෙන අතර ස්පුට්නික් -V එන්නතේ පළමු මාත්‍රාව එක සoඝටකයකිනුත් දෙවැනි මාත්‍රාව වෙනත් සoඝටකයකිනුත් දෙනු ලැබේ.


එන්නත් මාත්‍රා දෙකකින් සමන්විත එන්නතක පළමු මාත්‍රාවෙන් පසුව වුවද සති කිහිපයක් ගතවීමෙන් අනතුරුව සැලකිය යුතු තරමේ ප්‍රතිශක්තියක් සිරුර තුළ නිර්මාණය වන බව වාර්තාවේ.මේ වනවිට ලොව පුරා වසංගතයක්ව පැතිර යන කොවිඩ් -19 රෝගය මර්දනය පිණිස වෙනත් විවිධ එන්නත් වර්ගද ලොව පුරා භාවිත කරන අතර අපේ රටේද මේ වන විට එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිදු කෙරෙමින් පවතී.


ශීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දෛනිකව විශාල වශයෙන් ආසාධිතයන් වාර්තා වීම සහ සැලකිය යුතු පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුවීම හමුවේ වුවද ඇතමකු මෙම එන්නත්කරණයට බිය වී ඇත. කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ හැකියාව නැතහොත් ප්‍රතිශක්තිය දියුණු කිරීම එන්නත් මගින් සිදුකළද ඇතමකු කොවිඩ් -19 එන්නත් ලබා ගැනීම සඳහා තවමත් දක්වන්නේ ඉතා උදාසීනභාවයකි. එන්නත් පිළිබඳව විවිධ දුර්මත සමාජයේ පැතිරීම නිසා ඔවුන් එන්නත්කරණය තව තවත් ප්‍රමාද කරමින් හෝ ’ මඟ හරිමින් කටයුතු කරන බව පෙනී යයි.එබැවින් වසංගතයක් මෙල්ල කිරීමට මෙවැනි එන්නත්කරණයක ඇති වැදගත්කම ගැන දැනුම්වත් වීම මේ මොහොතෙහි ඉතා අත්‍යවශ්‍ය මෙන්ම කාලෝචිත කරුණකි.


කොවිඩ් - 19රෝගය සඳහා විවිධ රටවල නිෂ්පාදනය කර මේ වනවිට ශ්‍රී ලංකාව තුළ භාවිත කරන සියලුම එන්නත් නිසි සායනික පරීක්ෂා කිරීම්වලට ලක්කර ඇති ඒවා වන අතර භාවිතයට සුදුසු සාර්ථක සහ ආරක්‍ෂිත එන්නත් බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික උපදේශක කමිටුවක් මගින් නිර්දේශ කර ඇත. එමනිසා මෙවන් තීරණාත්මක මොහොතක එබඳු එන්නතක වටිනාකාම, සාර්ථකභාවය සහ ආරක්ෂිතභාවය පිළිබඳව සැහීමකට පත්විය හැකිය.


වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සඳහාද එන්නත් ලබා ගැනීම නිර්දේශකර ඇත්තේ කොවිඩ් -19 රෝගය ඔවුනට බොහෝ සංකූලතා ඇතිකළ හැකි නිසාවෙනි. වයෝවෘද පුද්ගලයන් සහ බෝ නොවන නිදන්ගත රෝගාදියට ගොදුරුව ඇති පුද්ගලයන් හට කොවිඩ් -19 රෝගය වැළඳීමෙන් එම තත්ත්වය උග්‍ර අතට හැරී ඔවුන්ගේ ජීවිතය පවා අවදානමට ලක්වීමේ ප්‍රවනතාව වැඩිය. එමනිසා සියලු දුර්මත ඉවතලා කොවිඩ්- 19 සඳහා එන්නත්කරණයට යොමුවීම ඉතාමත් වැදගත්වේ.


කොවිඩ් - 19 එන්නත පමණක් නොව අනෙකුත් රෝග සඳහා වන ප්‍රතිශක්තීකරණ එන්නත්වලද සුළු අපහසුතාවන් වාර්තාවේ. මඳ උණ ගතිය, හිසරදය, එන්නත් කළ ස්ථානයේ සුළු රිදීමක් හෝ ඉදිමීමක් වැනි ලක්ෂණ බොහෝම සාමාන්‍යයයි. මේවා එන්නත සිරුර තුළ සක්‍රීය බව දනවන ඉඟිය. ඉතාමත් කලාතුරකින් ඕනෑම එන්නතකින් දරුණු අතුරු අබාධයක් ඇති විය හැකි වුවද මෙය ඉතාමත් විරලව සිදුවිය හැක්කකි.මෙවන් දරුණු වසංගත සමයකදී, ඇතිවිය හැකි සුළු අපහසුතාවන් නොසලකා හැර ඔබට ලැබෙන පළමු අවස්ථාවේදීම කොවිඩ් -19 එන්නත ලබාගැනීමෙන් ඔබත් ඔබගේ ආදරණීයනුත් ආරක්ෂා කරගැනීම ඔබගේ යුතුකම සහ වගකීම වන්නේය. කිසිවිටෙකත් සමාජයීය දුර්මත, අනිසි බිය හමුවේ එන්නත ලබා ගැනීම ප්‍රතික්ශේප නොකරන්න. මෙම එන්නත් සියල්ලම පාහේ නිපදවා ඇත්තේ විධිමත් පර්යේෂණවලට අනුකූලවයි. මේවායෙහි ප්‍රතිදේහ නිපදවීම ගැන පුළුල්ව සලකා බලා ප්‍රගතිය පිළිබඳ සායනික පර්යේෂණ මගින් තහවුරු කර ඇත. එන්නතක් නිෂ්පාදනය කළ විගසින්ම මහජනතාවට ලබා නොදේ. එය මෙරටේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ තාක්ෂණික ඇගයීමකට ලක් කර, එනම් එන්නතේ සාර්ථකත්වය, සුරක්ෂිතභාවය ආදිය පිළිබඳ සියලු දත්ත සලකා බැලීමෙන් අනතුරුව පමණක් එය භාවිතයට නිර්දේශය ලබාදෙයි.පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එන්නත අවැසි පුද්ගලයන් සහ ලබා නොදිය යුතු පුද්ගලයන් ප්‍රමුඛතාගත කෙරේ. ඒ අනුව එන්නත ලබා නොදිය යුතු වන්නේ කුමන කාරණා මතද යන්න විශ්ලේෂණය වේ. මීට පෙරාතුව ලබා ගත් එන්නත්වලට හෝ ඖෂධවලට දක්වන ලද අසාත්මිකතාවන්, ඔවුන්ගේ වෙනත් රෝග තත්ත්ව/ වෛද්‍ය වාර්තා සහ වෙනත් ලබා ගන්නා ඖෂධ ආදි කරුණු විශේෂ අවස්ථා වලදී සලකා බලනු ලැබේ. ඒ අනුව වෛද්‍යමය හේතුමත යම් අවදානමක් සහිත පුද්ගලයන්ට කොවිඩ් -19 එන්නත ලබාදීමේදී සාමාන්‍ය එන්නත්කරණ මධ්‍යස්ථානවලදී ලබා නොදී, ඔවුන්ව හදිසි ප්‍රතිකාර සඳහා පහසුකම් සහිත රෝහලකදී එන්නත්කරණය සඳහා යොමුකරනු ඇත.


වැඩිහිටි පුද්ගලයන් මෙන්ම ගර්භණී සහ කිරි දෙන මවුවරුන්ද එන්නත ලබා ගැනීම සුදුසු බව මේ වනවිට නිර්දේශ කර ඇත. දැනට සිදු කර ඇති පරීක්ෂණ මගින් තහවුරු කර ඇත්තේ ඉහත අවදානම් ඛාන්ඩවලටද නිසි එන්නත්කරණය මගින් උපරිම ආරක්ෂාවක් සැලසෙන බවයි. කිරි දෙන මවක් එන්නත ලබා ගැනීමෙන් පසුවද අඛණ්ඩවම බිලින්දාට මවු කිරි ලබා දීම සිදුකළ යුතුය. එය කිසිසේත්ම බිලින්දාට හානිකර බවට වාර්තාවී නැත.


එන්නත් මාත්‍රාවන් නිසිලෙස සම්පූර්ණ කර තිබුණද ඕනෑම පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ යම්කිසි සුළු හැකියාවක් පැවතිය හැකි බවද මෙහිලා සඳහන් කළ යුතුය. එසේ වුවද වැදගත්ම කරුණ වන්නේ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයෙකු එසේ අසාදනය වුවද ඔහුගේ රෝග තත්ත්වය තීව්‍ර මට්ටමක් කරා නොයාමයි.ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්වීමට හෝ සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වීමට හැකිය.එමනිසා තීව්‍ර රෝග ලක්ෂණ මතුවී සංකුලතා ඇති වීමත් එමගින් මරණයට පත්වීමේ හැකියාවත් ඉතාමත් අවම කරයි.එන්නත්කරණය සම්පූර්ණ වුවද කොවිඩ් - 19 රෝගය නොවැළඳේ යන සියයට සියයේ සහතිකය ලබා දිය නොහැකි අතර ඔබ ආසාදනය වුව හොත් ඔබගෙන් තවත් නිරෝගී පුද්ගලයකුට වුවද රෝගය සම්ප්‍රේශනය වීමේ අවදානම පවතී. එමනිසා එන්නත්කරණය සම්පූර්ණ කළද ඔබ විසින් නිවැරැදිව මුව ආවරණ පැළැඳීම, නිරන්තරයෙන් දෙඅත් පිරිසුදුව තබා ගැනීම, සමාජ දුරස්තභාවය රැක ගැනීම, කිවිසුම් යාමේදී වැළමිට ආධාර කර ගැනීම ආදී යහපත් සෞඛය පුරුදු අඛණ්ඩව පවත්වා ගැනීම ඉතාමත් වැදගත්වේ.


සත්‍ය සෞඛ්‍ය තොරතුරු මත පදනම්ව සමාජයේ පැතිර බොහෝ පවත්නා දුර්මත ඉවතලා කොවිඩ් -19 රෝග මර්දනයට ඔබත් සහාය වන්න. ඔබට ‘පළමුව ලැබෙන එන්නත හොඳම එන්නත’ ලෙස සිතමින් එන්නත්කරණයට යොමු වීමෙන් ඔබත් ඔබගේ ආදරණීයනුත් කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා කර ගන්න.

lankadeepa

No comments

Ads Place