Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත්ට ටොසී ගැන මුල සිට උගන්වයි..

  ටොසිලිසුමැබ් ඖෂධය ගෙන ඒම පැහැර ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන ප්‍රකාශයට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන...

 


ටොසිලිසුමැබ් ඖෂධය ගෙන ඒම පැහැර ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන ප්‍රකාශයට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය FACEBOOK ගිණුමේ තබා තිබු සටහන පහත දැක් වේ.

ටොසිලිසුමැබ් නම් ඖෂධය COVID-19 රෝගීන්ට ලබා දෙන බවත් එහි හිගයක් ඇති බවත්, එහි වගකීම අප බාර ගත යුතු බවත් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කළේය. ඒ සඳහා මම එදිනම එතුමන්ට පිළිතුරක් ලබා දුන්නෙමි. අද නැවතත් සජිත් ප්‍රේමදාස මැතිතුමා “බරපතල ඖෂධ හිගය මැද ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු” යනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහි සාවද්‍ය කරුණු ගණනාවක් අඩංගු වන අතර ඒ සඳහා වෙනම පිළිතුරක් ලබා දීමට බලාපොරොත්තු වෙමි. කෙසේ වෙතත් ටොසිලිසුමැබ් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අප්‍රමාදීයව සිදු කළ යුතු බව හැඟේ.

ටොසිලිසුමැබ් පළමු වරට නිපැයුවේ ජපානයේ ඔසාකා සරසවියේ ය. එය ඉන්ටර්ලියුකේන්-6 නම් සයිටොකයිනයට අදාලවන ප්‍රතිග්‍රාහකය නිෂේධනය කරයි. ඉන්ටර්ලියුකේන් 6 ප්‍රතිග්‍රාහකය පිලිබඳ අනාවරණය කළේ ද ඔසාකා සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමකි. ආසාදනයක දී ඉන්ටර්ලියුකේන්- 6 සයිටොකයිනය ප්‍රබල මැදිහත්කරුවෙක් වන හෙයින් ඇතැම් රෝගී තත්වවලදී එය බැඳෙන ප්‍රතිග්‍රාහකය නිශේධනය මගින් ආසාදන තත්වයේ ඉක්මන් අඩුවීමක් නිරීක්ෂණය කර ඇත. මේ නිසා ඇතැම් හන්දිපත් රෝග සඳහා භාවිතා කිරීමට ටොසිලිසුමැබ් සඳහා 2010 වසරේදී පේටන්ට් බලපත්‍ර හිමි විය. එහි අයිතිය ලැබුනේ ස්විට්සර්ලන්තයේ රෝච් සමාගමටයි. Actemra වෙළද නාමයෙන් ටොසිලිසුමැබ් අලෙවි කරයි.

COVID-19 නියුමෝනියාව වැළදුණු රෝගීන්ගේ ද උග්‍ර රෝගී තත්වයේදී ඉන්ටර්ලියුකේන්-6 මැදිහත්වන හෙයින් 2020 මාර්තු මාසයේ චීනය ටොසිලිසුමැබ් රෝගීන්ට ලබා දීම ඇරඹීය. එහෙත් ආරම්භයේදී ඒ සඳහා එතරම් ඉල්ලුමක් නොවීය. කෙසේ නමුත් නව ප්‍රභේද බිහිවෙමින් COVID-19 රෝගී තත්වය උග්‍ර වීමත් සමග ටොසිලිසුමැබ් පිලිබඳ අවධානය නැවතත් යොමු විය. විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන්ට අවසන් ප්‍රතිකර්මය ලෙස ටොසිලිසුමැබ් යොදා ගැනීමට නැඹුරු විය. ඇ.එ. ජනපද FDA ආයතනය අසාධ්‍ය COVID-19 රෝගීන්ට හදිසි භාවිතය සඳහා ටොසිලිසුමැබ් අනුමත කළේය. ඒ සමග ටොසිලිසුමැබ් සදහා ලොව පුරා ඉහල ඉල්ලුමක් ඇති විය. ටොසිලිසුමැබ් පේටන්ට් අයිතිය හිමි රෝච් සමාගමට මෙය මහා ධන උල්පතක් බවට පත් විය (පේටන්ට් අයිතිය හිමි රෝච් සමාගම පමණක් Actemrea නමින් ඖෂධය නිපදවයි). ලොව පුරා ඉහල ඉල්ලුම නිසා ටොසිලිසුමැබ් ඒ ඒ රටවලට කෝටාවක් වෙන් කර සීමිත ප්‍රමාණයක් පමණක් ලබා දීමට පියවර ගැනුනි.

ටොසිලිසුමැබ් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අවසරය ඇත්තේ රෝච් නියෝජිතයා ලෙස කටයුතු කරන පෞද්ගලික සමාගමකට ය. වසර කිහිපයක සිට ආතරයිටිස් රෝගීන්ට ලබා දීමට සීමිත ටොසිලිසුමැබ් ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය මෙකී පෞද්ගලික ආයතනය හරහා ලබා ගනී.
කෙසේ නමුත් මෙම ඖෂධයේ වැදගත්කම පිලිබඳ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය 2021 මැයි මස 06 දින මා සහ අප අමාත්‍යංශයේ ලේකම් හමු වී කරුණු දැක්වීය. කරුණු විමසා බැලූ මම කඩිනමින් ටොසිලිසුමැබ් ඖෂධය වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් උපදෙස් ලබා දුන්නෙමි. එදිනම අප ලේකම් වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවට ටොසිලිසුමැබ් 200 mg කුප්පි 2000ක් සහ 400mg කුප්පි 4000 ක් ලබා ගැනීමට උපදෙස් ලබා දුන්නේය (එම ලිපිය මෙහි දැක්වේ).

ඒ අනුව අදාල ප්‍රසම්පාදන කටයුතු සිදු කර ටොසිලිසුමැබ් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට එම ආයතන කටයුතු යෙදීය. (ටොසිලිසුමැබ් 200 mg කුප්පියක තොග මිළ රු. 50,500 ක් සහ 400mg කුප්පියක තොග මිළ රු.105,000 පමණ වේ) කෙසේ නමුත් ලොව පුරා අධික ඉල්ලුම නිසා රෝච් ආයතනය ටොසිලිසුමැබ් ලබා දෙන්නේ මාසිකව කෝටා ක්‍රමයකටය. එනම් ශ්‍රී ලංකාව කෙතරම් ඇනවුම් කළ ද අපට ලැබෙන්නේ සීමිත ප්‍රමානයක් පමණි. මෙය අපේ පාලනයෙන් එපිට ඇති තත්වයකි. මේ ගැන අද දින ලෝක සෞඛ්‍ය සංවිධානයද නිවේදනයක් නිකුත් කරමින් රෝච් සමාගමට දැනුම් දී ඇත්තේ පහල හා මැදි ආදායම් ලබන රටවලට ටොසිලිසුමැබ් සාධාරණව බෙදී යන වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසයි.

Link 1 
Link 2

ටොසිලිසුමැබ් ලබා ගැනීම ශ්‍රී ලංකාවට පමණක් ඇති වූ ගැටළුවක් නොවේ. ඇ.එ. ජනපදයට පවා එය ලබා ගැනීමේ දුෂ්කරතාවක් ඇත (Roche said this week it has already sold out of the drug in the US in 200mg and 400mg formulations, while 80mg versions would likely run out by the end of this week. New stock should arrive by the end of the month). මැයි මාසයේ සිට වැඩි ප්‍රමානයක් ලබා ගැනීමට කටයුතු කල හෙයින් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල සැලකියයුතු ටොසිලිසුමැබ් මාත්‍රා ප්‍රමානයක් තිබිණි. පෞද්ගලික රෝහල් සතුව ටොසිලිසුමැබ් නැති නම් එය අපේ වරදක් නොවේ. කෙසේ නමුත් පෞද්ගලික රෝහල්වලට ද ටොසිලිසුමැබ් සීමිත ප්‍රමානයක් නිකුත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු යෙදීය. තවද ටොසිලිසුමැබ් වෙනත් රටක කෝටාවකින් හෝ ලබා ගත හැකි දැයි සොයා බලා ඒ සඳහාද කටයුතු යොදා ඇත. බොහෝ විට ලබන සතියේ එම කටයුත්ත සාර්ථක වනු ඇත.

මේ කිසිවක් අධ්‍යයනය නොකළ විපක්ෂනායකතුමා ටොසිලිසුමැබ් නොමැති බවත්, අප වගකීම් පහර ඇති බවත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටත් අවිචාරශීලීව හඬ නගයි.

– චන්න ජයසුමන FB

lankacnews

No comments

Ads Place