Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් කළ හිතුවක්කාර ‘චොපින් වා’ මැටිල්ඩා හඬවයි!

  ටෝකියෝ ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ අවසන් ක්‍රීඩිකාව වන මැටිල්ඩා තනූජා කාල්සන්ගේ ‘චොපින් වා’ අශ්වයා තරගයේ 8 වැනි බාධකය පැනීමට ...

 


ටෝකියෝ ඔලිම්පික් උලෙළට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ අවසන් ක්‍රීඩිකාව වන මැටිල්ඩා තනූජා කාල්සන්ගේ ‘චොපින් වා’ අශ්වයා තරගයේ 8 වැනි බාධකය පැනීමට අකැමැත්ත ප්‍රකාශ කොට හිතුවක්කාර ලෙස හැරී යෑමෙන් ඊයේ දිනයේ පැවැති තරගයෙන් ඉවත් කරනු ලැබීය. අශ්වාරෝහක පැනීමේ ඉසව්වේ බාධක 14න් මුල් බාධක පහම ඉතා සාර්ථකව මැටිල්ඩා අසු මෙහෙයවීමට සමත් වූ අතර, 6 වැනි බාධකයේ පළමු උත්සහයේදී ‘චොපින් වා’ අසු පැනීමට කම්මැළි වීමෙන් මුල්ම අභියෝගය එල්ල විය.


එහෙත් ඇය එම 6 වැනි බාධකයේ දෙවැනි උත්සාහය සාර්ථක කර ගැනීමට අසු මෙහෙයවූ අතර, නව ජවයකින් 7 වැනි බාධකය ද සාර්ථක කර ගත්තාය. එහෙත් අටවැනි බාධකයේදී ‘චොපින් වා’ යළිත් හිතුවක්කාර ලෙස හැසිරී එම බාධකය පැනීමට අකැමැති වීමෙන් මැටිල්ඩාගේ හා ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තු සුන් විය. මේ ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9කගෙන් අටක්ම තම පෞද්ගලික දක්ෂතා හෝ වර්ධනය කර නොගෙන පරාජිත තත්ත්වයකට පත්ව සිටියදී ශ්‍රී ලංකා ධජය යටතේ සහභාගි වූ අවසන් ක්‍රීඩිකාව වූ මැටිල්ඩා තනූජා කාල්සන්ගෙන් ද බලාපොරොත්තු ඉටු නොවීම කැපී පෙනිණි. මැටිල්ඩා මෙන් මොරොක්කෝවේ අලී අහරච් හා ඊශ්‍රායලයේ අල්බර්ටෝ මිචාන් ද මේ ආකාරයෙන්ම ඉවත් කෙරිණි.


තරගයෙන් අනතුරුව මැටිල්ඩා තනූජා කාල්සන් පැවසුවේ ඉතා අවාසනාවන්ත ලෙස අතරමඟ නැවතීමට සිදු වීම කනගාටුවට කරුණක් බවයි. “මගේ මුල්ම ක්‍රීඩා උලෙළ ඔලිම්පික්. ඔලිම්පික් ආව එක ලොකු දෙයක්. ඒක මට දින්නා වගේ තමයි. මා වෙනත් මේ වගේ දැවැන්ත ක්‍රීඩා උලෙළකට තරග කොට නෑ. ඒ නිසා මට මේක විශාල අත්දැකීමක් වුණා. තරගය ආරම්භයේදී යම් චකිතයක් දැනුණා. මගේ අසු චොපින් වා හොඳ පුරුදු අශ්වයකු වූවත් ඔහුටත් මේ දැවැන්ත ක්‍රීඩා තරගය නුහුරු එකක් වෙන්න ඇති. මේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන ඉදිරියේ තරග දිනන්න පුළුවන් මානසිකත්වයක් හදා ගැනීම මගේ බලාපොරොත්තුවයි“ මැටිල්ඩා පැවසුවාය.


මේ අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් ලොව හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73ක් ටෝකියෝ ඔලිම්පික් මූලික වටයට ඇතුළත්ව සිටි අතර, අවසන් තරගයට ඉන් 30ක් තෝරා ගැනිණි. හොඳම දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 30 අද පැවැත්වෙන අවසන් වටයේ තරගයට එක් වෙති.


වසර 1900ට පසු ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක පැනීමේ ඉසව්වට ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවෙන් තරග බිමට පිවිස නැති අතර මැටිල්ඩා තනූජා කාල්සන් මේ ඉසව්වෙන් සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඔලිම්පික් ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක් කළාය. මේ තරගය වෙනුවෙන් ඇය ජර්මනියේ සිට යුරෝ මිලියන 6ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 142ක්) වටිනා අශ්වයකු ටෝකියෝ ඔලිම්පික් උලෙළට රැගෙන පැමිණ සිටියද එයින් නිසි ප්‍රයෝජන නොලැබිණි.

noizetv

No comments

Ads Place