Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

”ශ්‍රී ලංකාවේ කලාකාරිනියක විදිහට ඉපදුණ එක ගැන කනගාටු වෙනවා”

  කොවිඩ් රෝගය ශීඝ්‍රයෙන් උත්සන්න වෙන කාලයක, රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යන කාලයක, සෑම ක්ෂේත්‍රයක් ම වේගයෙන් බිඳ වැටී ගෙන යන කාලයක කලාවේ පසුබ...

 


කොවිඩ් රෝගය ශීඝ්‍රයෙන් උත්සන්න වෙන කාලයක, රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී යන කාලයක, සෑම ක්ෂේත්‍රයක් ම වේගයෙන් බිඳ වැටී ගෙන යන කාලයක කලාවේ පසුබැස්ම, බිඳවැටීම සහ සැබෑ තත්ත්වය ගැන කතා කරන්නට අපි මෙවර නිරෝෂා විරාජනී සමග සම්මුඛ වුණා. වසර තිහකට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් සම්මානනීය ගායිකාවක බවට පත්වුණු ඇය ගායක ගායිකාවන්ට මෙන් ම සමස්තයක් ලෙස සමාජයේ සියලු මිනිසුන්ට මේ මොහොතේ අත්ව ඇති සැබෑ ඉරණම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වෙනුවෙන් පෙනී සිටියා.


මේ තීරණාත්මක කාලය තුළ නිරෝෂා විරාජිණීගේ වැඩ කටයුතු සකස් වෙන්නේ කොහොම ද?


වැඩ ටිකක් හැදීගෙන එද්දි ම ආපහු හැම දේ ම නතර වෙන එක නම් කනගාටුවට කරුණක්. හැම දේ ම ටික ටික සෙට්ල් වෙමින් තමයි තිබුණේ. දැන් ආපහු මේ ආපු නව ප්‍රභේදයත් එක්ක හැම දේ ම නතර වෙනවා. අලුතෙන් ආපු concert ටිකට තිත තියන්න වෙනවා. මෙතැනින් පස්සේ තව අවුරුද්දක්වත් යනකම් එළියෙ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. indoor ක්‍රමයට විතරක් conserts කරන්න වෙනවා. කොහොම වුණත් මේ වෙලාවේ වැදගත් ම දේ survive වෙන එකනේ. නිර්මාණ කරන අයටත් නිර්මාණ කරන්න සල්ලි නැති ප්‍රශ්නයක් මේ වෙලාවෙ තිබෙනවා. අපි වුණත් දැඩි ලෙස ඒ අරගලය ඇතුළේ ඉන්නේ ලංකාවේ ඉපදුණු කලාකාරයො විදියට.


රටේ පිළිගත් කලාකාරිනියක විධියට රජය  ගෙන යන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව ඔබ දරන අදහස කුමක් ද?


එන්නත්කරණය හොඳයි. ඒක සිදුවිය යුතුයි කියන තැන තමයි මම ඉන්නේ. හැබැයි එන්නත ගැහුවා කියල virus එක බෝවෙන්නේ නැහැ කියන මානසික මට්ටමට එන්න හොඳ නෑ. අපිට යම් ප්‍රතිශක්තියක් ලැබෙයි. එන්නත නොගහපු අයට වැඩිය යම් හොඳ තත්ත්වයක් අපිට උදා කර ගන්න පුළුවන් වෙයි. රෝගය හැදුණත් survive වෙන්න පුළුවන් වෙයි. හැබැයි පරිස්සම කියන එක දිගට ම මේ විදිහට පවත්වාගෙන යන්න වෙනව එන්නත ගැහුවත් නැතත්. වෙනත් නිදන්ගත රෝග තියෙනවා නම් දැඩි ලෙස ආරක්‍ෂා වෙන්න වෙනවා. එන්නත හරහා මම හිතන විදියට ලොකුවට ම සිද්ධ වෙන්නේ මානසික මට්ටම ගොඩනගන එක. ලෙඩේ හැදුණත් මට  survive වෙන්න පුළුවන් වෙයි, අනිත් අයට වඩා බලපෑම අඩු වෙයි කියන මානසිකත්වයට ඔළුව හැදුණට පස්සේ මේකට කොහොමත් සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා රජය මේ ගෙන යන වැඩපිළිවෙළ හරි කියන තැන තමයි මම ඉන්නේ. 


මෙවැනි අර්බුදකාරී සමයක ප්‍රයෝජනයට ගන්න කලාවට ම වෙන්වුණු අරමුදලක් නැතිවීම කොච්චර දුරට අවුලක් ද?


මුලින්ම කනගාටු වෙනවා මම ලංකාවේ කලාකාරිනියක විදිහට ඉපදිච්ච එක ගැන. මම හිතන්නේ මේ වෙලාවේ කලාවට වෙන්කරපු අරමුදලක් ගැන කතා කරනවට වැඩි, කලාවට වෙන්වෙච්ච බජට් එක ගැන කතා කරනවට වැඩිය අඩු ම තරමේ සාමාන්‍ය මිනිස්සුන්ටවත් බජට් එකක් වෙන්වෙලා තියෙනව ද කියන කතාව හොයලා බලන්න ඕන. ලංකාවේ මොන රජය තිබුණත් සාමාන්‍ය මිනිසුන් පෝෂණය කරන්න පුළුවන් හැකියාවක් ඔය කාටවත් නැහැ. වෙන රටවල මේ වගේ තත්ත්වයක් ආවට පස්සේ මාස එක හමාරක් දෙකක් රට lockdown කරලා ජනතාවට අවශ්‍ය මුදල් ගෙදරට යවනවා. 


ඔවුන්ගේ බැංකු ගිණුම්වලට දානවා. අපේ රටේ දෙන්නෙ පන්දාහයි. ඒ රුපියල් 5000න් සතියක්වත් කාලා බීලා ජීවත් වෙන්න බෑ. මේ රටේ වැඩිපුර ම ඉන්නේ එදා වේල හම්බ කරගෙන කන මිනිස්සු. ඔවුන් ජීවත්  වෙන්න නම් දෛනිකව මුදල් උපයන්න ඕන. මුදල් උපයන්න රැකියාවට යන්න ඕන. එතකොට කොවිඩ් නෙමෙයි මොකක් තිබුණත් ගෙදර නවතින්න පුළුවන්කමක් ඒ අයට නෑ. හැම දේට ම වඩා මිනිස්සුන්ට බඩගින්න කියන එක ලොකුයි. මොක ද මේ හැම ගේම් එක ම ගහන්නේ කාලා බීලා ඉන්න නෙ. ඉතින් මං අර කිව්වා වගේ ඇත්තට ම මේ ගැන කනගාටු වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ. අසමත් වෙච්ච රටක ඉන්න මේ මිනිස්සුන්ට කොවිඩ් පැත්තක තියලා රස්සාවට යන්න වෙනවා.


කලාව පිළිබඳව අවබෝධයක් නැති මහ ජනතාවක් රට තුළ බිහිවීම නිසා මෙරට කලාව කොතරම් දුරට පසුගාමී වෙලා තියෙනව ද?


මම නම් කියන්නේ ලංකාවේ ලතා මංගෙෂ්කාර්ලා, මයිකල් ජැක්සන්ලා, ඉපදුණත් වැඩක් නෑ. මොක ද ඒ අයට ලැබෙන්න ඕන නිසි වටිනාකම ලංකාවේ ඉපදුණොත් ලැබෙන්නේ නෑ. අපේ රටේ කොච්චර අතිදක්‍ෂයෝ ඉන්නවා ද විවිධ ක්ෂේත්‍රවල. ඔය මොන ක්ෂේත්‍රයේ ද එයාලට ලැබිය යුතු වටිනාකම හරියට ලැබිලා තියෙන්නෙ? කලාව තුළින් මිනිස්සුන්ව මානසිකව පෝෂණය කරනවා. එයාලව මෙහෙයවනවා. හැබැයි ඒකෙනුත් ප්‍රයෝජනයක් නෑ කියලා හිතන මිනිස්සු ටිකක් තමයි මේ රටේ ඉන්නේ. ඉන්දියාව වගේ රටක මිනිස්සු කලාවට හරිම ළැදියි. හැමෝම ගායනා කරනවා හැමෝම නටනවා. ඔවුන්ට අවබෝධයක් තියෙනවා කලාව ගැන. මිනිසුන්ගේ ජානවලටම කලාව කියන එක කාවැදිලා තියෙනවා. හැබැයි මම හිතන්නේ නෑ ලංකාවේ කිසි ම වෙලාවක කලාව ගැන හරි අවබෝධයක් තියෙන පිරිසක් ඉන්නව කියලා. කලාකාරයන්ගෙ තියෙන සුවිශේෂීතාව අඳුර ගන්න පුළුවන් සවිඥානික පිරිසක් ඉන්නවා කියලා. අපේ මිනිස්සු දන්නෙ දෙයක් දැක්ක ම හොඳයි කියන්න විතරයි. එතනින් එහාට ඒකෙ සාධනීය මට්ටම විග්‍රහ කරන්න මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.


රියැලිටි තරගවලින් බිහි වන ගායක ගායිකාවන් ප්‍රබුද්ධ වේදිකාවලට නොගැළපෙන බවට ක්ෂේත්‍රය තුළ යම් දුර්මතයක් නිර්මාණය වෙලා තිබෙනවා නේද?


කොහොමත් ලංකාවේ හැම තැන ම තියෙන්නේ විනිශ්චය කිරීම් තමයි. රියැලිටිවලින් ආවට පස්සෙ මෙයා ආවේ මෙහෙම එකකින්නේ කියලා ගොඩක් වෙලාවට කොන් කරන්න බලනවා. නන්දා මාලනී මහත්මිය, අමරදේව මහත්මයා වගේ නෙමෙයි මම ක්ෂේත්‍රයට ආවේ. මම ආපු විදියට නෙමෙයි මගේ පහළ පරම්පරාව ආවේ. මම කියන්නේ කොතනින් ආවත් දක්‍ෂ කෙනා දක්‍ෂයි. අදක්‍ෂ කෙනා අදක්‍ෂයි. දක්‍ෂතාව තිබුණත්, මෙයා මෙතැනින් ආපු නිසා අතනට ගැළපෙන නෑ කියලා කිසි ම කෙනකුට කියන්න බෑ. ක්ෂේත්‍රයට නොගැළපෙන කෙනෙක් කියලා හංවඩු ගහන්න බෑ. මෙයාගේ රියැලිටි තරගයකින් ආවේ, මෙයා පරම්පරාවේ කලා කුසලතාවයෙන් ආවේ, මෙයා තාත්තා නිසා ආවේ කියලා කිසි ම කෙනකුට කිසි ම කෙනෙක්ව කොන් කරන්න බෑ. ශ්‍රේයා ගෝෂල්, අර්ජිත් සිං වගේ ගායික, ගායිකාවන් පවා ආවේ රියැලිටි තරගවලින්. නමුත් අද වෙද්දී ඔවුන් නිසි තැන ලබා ගෙන රට තුළ ස්ථාවර වෙලා තියෙනවා. අපේ රටේ විතරක් රියලිටි තරගවලින් එන අයට බැරියර් එකක් දාන එක ගොං පාට් එකක්. අනුරාධපුරයෙන් ආව ද කොළඹින් ආව ද කියන එක අදාළ නෑ. එහෙම බෙදන්න ගත්තට පස්සේ මට නම් මේ රටේ මිනිස්සු ගැන හරි කාලකණ්ණි හැඟීමක් එන්නේ.


රටේ දේශපාලන තත්ත්වය ගැන සෙසු කලාකරුවන් මෙන් කිසිවක් නොකියා ඔබ මුනිවත රකින්නේ, ඒ ගැන විවේචනයක් තියෙන නිසා ද?


මම දේශපාලනික වශයෙන් කොහොමත් කතා කරන කෙනෙක් නෙවෙයි. මං ඒ කාලේ ඉඳන් ම රටේ දේශපාලන තත්ත්වය ගැන කතා කරලා නැහැ. දේශපාලකයන්ටත් වැඩිය රටේ මිනිස්සුන්ගේ mentality එක එහෙමත් නැත්තම් ආකල්පය අවුල්වීම තමයි ගැටලුව විදියට මම නම් දකින්නේ. හෙට බුදුරජාණන් වහන්සේ පහළ වුණත්, යේසුස් වහන්සේ පහළ වුණත්, ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න බෑ. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ දේශපාලකයෝ. මිනිස්සුන්ගෙ ආකල්ප අර්බුදය ප්‍රයෝජනයට අරගෙන එයාලා තමන්ගේ ගේම් එක ගහගන්නවා. දේශපාලකයන්ට බනින්න කලින් ඒ පිළිබඳව වග කියන්න ඕන අපි ම තමයි. සවිඥානිකව මතයක් දරන නිවැරදි ආකල්පයක ඉන්න මිනිස්සු හරි ම සුළුතරයයි මේ ලංකාවේ ඉන්නේ. සුළුතරයක් කියන්නත් බෑ මොක ද ඒක ඇතුළෙ 25%ක් වත් නෑ. 


කලාකරුවෙකු “රසික තදබදය” යන කාරණාව සමග ගනුදෙනු කළ යුතු ආකාරය ගැන යම් අදහසක් දෙන්න.


මම දන්නවා මිනිස්සු මාව ගස්වල නග්ගන්න හදනවා කියලා. හැබැයි මම කවදාවත් ගස්වල නගින්නෙ නෑ. මොක ද මට මගේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දක්ෂතාව ගැන අවබෝධයක් තියෙනවා. මගේ දුර්වලතා ගැන අවබෝධයක් තියෙනවා. එතකොට කවුරුත් වැඩිපුර හැන්දකින් බෙදන්න ගියාට, මාව අන්දන්න ගියාට මම ඇඳ ගන්නේ නෑ. කොහොමත් අන්දන එක සාමාන්‍ය තත්ත්වයක්. හැම තැන ම එහෙමයි. හැබැයි ඇඳ ගන්නව ද කියන එක අපේ තීරණයක්. උපේක්ෂාවෙන් හැම දේ ම තේරුම් ගත්ත ම හරි ම ලේසියි. එතකොට ඔය රසිකයන් කළමනාකරණය කියන එක අවුලක් නෑ. මම දැන් අවුරුදු තිහකට වැඩිය මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා. ඒ කාලේ තිබ්බ ජනප්‍රියතාව තාමත් ඒ විදිහට ම තියෙනවා. ඒක හරි නැවුම්. රසික තදබදය ආවට පස්සෙ තමන්ට තමන් අමතක වීම ඇතුළේ, පෙන්වන උස ගස්වලට නැගීම් ඇතුළෙ තමයි කලාකාරයෝ, කලාකාරිනියෝ විනාශ වෙලා යන්නෙ. අන්න එතනයි අපි හදාගන්න ඕනේ.


ක්ෂේත්‍රයක් තුළ ඉහළට යනකොට, ගැහැනුකම නැති කර ගන්නේ නැතුව ගැහැනු පෞරුෂය කියන දෙය නඩත්තු කරන්නේ කොහොම ද?


ගැහැනියක් නම් සමාජය නම් බලාපොරොත්තු වෙන්නෙ හරි ම මටසිළුටු පෞරුෂයක්. හැබැයි මම කියන්නෙ එතැනින් එහාට ගිය පෞරුෂයක් ගැහැනියක් තුළ තියෙන්න ඕන. විශේෂයෙන් කිසියම් ක්ෂේත්‍රයක අරගලයක නිරත වන ගැහැනියක් නම් ඒක අනිවාර්ය වෙන්න ඕන. පෙනුම විතරක් නෙමෙයි  මෙතනට බලපෑම් සහගත වෙන්නේ. පෙනුමට එහා ගිය හැසිරීම් රටාව, අනිත් අය එක්ක ගනුදෙනු කරන විදිය කියන හැම දේ ම මෙතනට බලපෑම්සහගත වෙනවා. විනය බලපෑම්සහගත වෙනවා. හැමෝම එක්ක ම එක ම ක්‍රමයට ගනුදෙනු කරන්නේ නැතිව එක එක තැන්වල ගනුදෙනු කරන්න ඕන විදිය ඉගෙන ගන්න වෙනවා. නන්දා මාලිනිය වගේ පෞරුෂයක් හැදුණේ අන්න ඒ සීමාවෙන් පිටතට ගිහිල්ලා ඒ සෑම විට ම කටයුතු කරපු නිසා. ඇත්තට ම ඔය ගැහැනු පෞරුෂය කියන එක හදාගන්න ඕනෙ ගැහැනුකම කියන එක නැති කර ගන්නෙත්  නැතුව. මම කොච්චර පෞරුෂයක් නඩත්තු කරත් ගැහැනුකම කියන එක කොතැනකවත් නැති කරගෙන නෑ. ඒක අවශ්‍ය තැන්වලදි තියාගෙන තියෙනවා. මම හිතන්නේ ගැහැනියකට එහෙම පෞරුෂයක් හදාගන්න එක ලේසි නෑ. ඒක කාටවත් එන්නත් කරන්නත් බෑ. ඒක උපතින් ම අරගෙන එන්න ඕන.


නිරුවත සහිත කලා කෘති වැඩිපුර අලෙවි වන සමාජයක් බිහිවෙන්න මෙරට ලිංගික අධ්‍යාපනයේ මදිකම හේතුවක් වෙලා තියෙනව ද?


කෙනකුට හිතෙන්න පුළුවන් ලංකාවේ ලිංගික අධ්‍යාපනය නිසා‍ දෝ මෙහෙම වෙන්නේ කියලා. හැබැයි මම හිතන්නේ නෑ ඒක එහෙමයි කියලා. මොක ද ඇමෙරිකාව කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට වැඩිය විවෘත මනසක් තියෙන මිනිස්සු ඉන්න රටක්. ඒ වගේ රටකත් බොහෝ වෙලාවට ලිංගිකත්වය කියන එක දැඩි විදියට මාකට් කරනවා. ගැහැනුන්ගෙ කකුල් දෙක, ගැහැනුන්ගේ පියයුරු, ගැහැනුන්ගේ පස්ස පැත්ත නිර්මාණ ඔස්සේ සෑහෙන්න එළියට දානවා. මම හිතන්නේ නිරුවත කියන්නේ හොඳ marketing tool එකක්. ඒක මිනිස්සු පාවිච්චි කරනවා. එතන ලිංගික අධ්‍යාපනයේ අඩුකම හෝ වෙනත් දෙයක් නෙවෙයි තියෙන්නේ. කොහොමත් මිනිස්සු සෙක්ස් කියන එක වවා ගෙන කනවා. ලංකාවෙ නම් ටිකක් ඒක ඕවර් ගිහින් කියලා පේනවා. ඒක වෙලා තියෙන්නේ මේ සෝෂල් මීඩියා එක්ක. හැමෝගෙ ම අතට ෆෝන් එකක් යාම තුළ ලංකාවේ සෙක්ස් කියන එක “ගොඩයට මැජික්” වගේ සංකල්පයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. 


මෙවැනි කාල සීමාවක කලාකරුවෙකු තමන්ගේ පැවැත්ම රැක ගැනීම සහ සමාජ මෙහෙවර ඉටුකිරීම යන කාරණා දෙක අතර ‍දෝලනය විය යුත්තේ කෙසේ ද?


ලංකාවේ මිනිස්සු ලංකාවේ කලාකාරයො මේ වෙලාවේ සාමාජීය යුතුකම, වැඩ කොටස ගැන කතා කළාට ඒක කොයි තරම් දුරට ප්‍රායෝගික ද කියලා මම දන්නේ නෑ. ඔය සමාජයට මේ වෙලාවේ දෙයක් කරන්න ඕනේ කියන බහුතරය මේ වෙලාවේ ඉන්නේ තමන් එක්ක තනි අරගලයක. තමන්ව ජීවත් කරවන්නේ කොහොම ද කියන ප්‍රශ්නයක. අනික් අයවත් රැකබලා ගන්නවට වැඩිය, සමාජය ගැන හිතනවට වැඩිය මිනිස්සු මේ වෙලාවේ ඇත්තට ම කාලය කැප කරන්නේ තමන්ව ජීවත් කරවන්නෙ කොහොම ද කියලා හිතලා බලන්න. මම නම් එහෙමයි. මම හිතන්නේ අනිත් අයත් එහෙමයි. බහුතරය එහෙමයි. මේ වෙලාවේ තනි තනියෙන් අපි ආරක්‍ෂා වුණොත් තමයි මේ තත්ත්වය පහව ගියාට පස්සේ අපි බලාපොරොත්තු වුණු සාමාජීය වෙනස අපිට ගොඩ නගන්නට අවශ්‍ය කරන වාතාවරණය නිර්මාණය වෙන්නේ. අපි ඒක හරියට තේරුම් ගන්න ඕන.

noizetv

No comments

Ads Place