Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාළුමිරිස් කපන කලාව දන්නවාද?

  ආහාර සැකසීමේ කලාව ප්‍රගුණ කිරීම සෑම අයකුට ම ප්‍රයෝජනවත් වන්නකි. මූලික අවශ්‍යතා අතරින් ප්‍රමුඛතම අවශ්‍යතාව වන ආහාර දිව පමණක් නොව, ඇස, නහය, ...

 


ආහාර සැකසීමේ කලාව ප්‍රගුණ කිරීම සෑම අයකුට ම ප්‍රයෝජනවත් වන්නකි. මූලික අවශ්‍යතා අතරින් ප්‍රමුඛතම අවශ්‍යතාව වන ආහාර දිව පමණක් නොව, ඇස, නහය, සිත ද පිනවීමට සමත් වීම වැදගත් වේ.


ආහාරයක සුවඳ, පෙනුම, රසය, ගුණය මඟින් එම ආහාරය සිරුරට අවශෝෂණය වීම, ජීර්ණය වීම හොඳින් සිදු වේ. එමඟින් අප ආහාර ගැනීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ.


ආහාර සැකසීමේ කලාවේ දී එළවළු, පලතුරු, මස්, මාළු කැපීමේ කලාවක් ද ඇත. එසේ වන්නේ ආහාරයේ රසය වඩාත් හොඳින් ලබා ගැනීම මෙන්ම ඇතැම් ආහාරවලට හොඳ පෙනුමක් ලබා ගැනීමේ අරමුණෙනි. විවිධ ආහාර වර්ග සැකසීමේ දී එකම අමුද්‍රව්‍ය වුවද කපා ගන්නා ක්‍රම විවිධාකාර ය. එය දැන සිටීම නිවෙස්වල සිටින ආහාර පිසීමේ කලාව ප්‍රගුණ කරන සෑම සූපවේදියකුට ම එකසේ වැදගත් වනු ඇත.


මාළුමිරිස් මේ දිනවල අධික මිලකින් යුත් ආහාර ද්‍රව්‍යයක් වුවද එහි රසය නම් අමතක කිරීමට නොහැකි ය. බැදුම් වර්ග, තෙල් දැමීම්, ඉවීම, අච්චාරු වර්ග සැකසීම ආදියේ දී මාළුමිරිස්වලින් ගෙන දෙන රසයට වෙනත් ආදේශකයන් නොමැති තරම් ය. කිරට, මිරිසට, තෙලට සැකසිය හැකි මේ මාළු මිරිස් එකින් එක ආහාර වර්ග සැකසීමේ දී කපන ක්‍රම එකකට එකක් වෙනස් වේ. ඒ ගැන ඇතැම් අය දැනුම්වත්ව සිටිනවා වන්නට පුළුවන් වුවත්, එය නොදන්නා අයට අපි අද විවිධ ආහාර වර්ග සැකසීම සඳහා මාළු මිරිස් කපන ආකාරය ගැන ඔබව දැනුම්වත් කරන්නෙමු.


* ඩෙවල් වර්ග සැකසීමේ දී මාළුමිරිස් නැතිවම බැරි දෙයකි. එහි රසය මෙන්ම අලංකාරය සඳහා ද මාළුමිරිස් කරල් කිහිපයක් එක් කළ යුතුය. මේ සඳහා මාළු මිරිස් කරල කැපිය යුත්තේ මඳක් ඇද ස්වභාවක් ඇතිවන පරිදි ය. එය අඟල් භාගයක පමණ පළලකින් යුතු කැබැලි සේ කපා ගත යුතුය. මැලේ අච්චාරුව සඳහා ද මාළුමිරිස් මේ ක්‍රමයට ම කපාගනු ලබයි.


* එමෙන්ම පැටිස් පිරවුම සඳහා ද මාළුමිරිස් යොදා ගන්නේ එහි ඇති රසය නිසාවෙනි. පැටිස් පිරවුම සඳහා මාළුමිරිස් කපා ගැනීමේ දී මිලි මීටර් 5 ක ප්‍රමාණයේ කොටු ලෙස මාළුමිරිස් කපා ගත යුතුය.


* මාළු මිරිස් පුරවා ඉවීම මෙන්ම පුරවා බැදීම ද සිදු කරයි. මාළුමිරිස් පුරවා කිරට ඉවීමෙන් දැනෙන රසයට වෙනස් ම වූ රසයක් පුරවාගත් මාළුමිරිස් පිටි දවටා ගැඹුරු තෙලේ බැදීමෙන් ලැබේ. මේ ක්‍රම දෙකට ම සැකසීමට මාළුමිරිස් පිරවීම සඳහා මාළුමිරිස් කරල පැත්තකින් කැපුමක් යොදා ගනියි. මෙය සිදු කළ යුත්තේ සම්පූර්ණයෙන් ම මිරිස්කරල විවර නොවන පරිද්දෙනි. එසේ නොවුණහොත් එයට දමන පිරවුම ඉවතට යාමට හැකිය.


* පැහි සඳහා මාළුමිරිස් යොදා ගැනීමේ දී ඒවා කැපිය යුත්තේ දිග තීරු වශයෙනි. එහිදී මාළුමිරිස් කරල තීරු ලෙස හතරට කපා ගන්නවාද නැතිනම් ඊට වඩා තීරු ගණනකට කපනවාද යන්න තීරණය කළ යුත්තේ මාළුමිරිස් කරලේ ප්‍රමාණය අනුවයි.


* මාළුමිරිස් තෙල් දැමීමේ දී හෝ යම් දෙයක් තෙල් දමන විට මාළුමිරිස් කරල් ද යොදා ගන්නේ නම් ඒ සඳහා ඒවා කපා ගන්නේ අඟල් 1 1/2 ක පමණ දිග තීරු ලෙසයි. කරවල තෙල් දැමීමේ දී වුවද මාළුමිරිස් කරලක් දෙකක් එයට එක් කිරීමෙන් වැඩි රසයක් එයට ලබා ගත හැකිය. මාළුමිරිස් බැදීමේ දී එන සුවඳ, එහි වර්ණය, රසය ආහාර රුචිය වර්ධනය කිරීමට සමත් වේ.


සෑම එළවළුවක්, මස්, මාළු ආදිය මෙලෙසින් විවිධ වූ ක්‍රමවලට ඉවීමේ දී ඒ සඳහා සිදුකරන කැපුම් ක්‍රම ද විවිධ වේ. මේ දැනුම තමා සතුව තිබීමෙන් නියමාකාරයෙන් තමා සකසන ආහාරය පිළියෙල කිරීමට ඔබට හැකියාව ලැබේ. ඉවුම් පිහුම් කරන කලාව එයයි. කැපුම් ක්‍රම මේ කලාවේ එක් අංගයක් පමණි. තවත් අමුද්‍රව්‍යයක් පිසීම සඳහා සකස් කරන ආකාරය පිළිබඳ දැනුම ලබා ගැනීමට ලබන සතියේ දී ත් ඔසුකුටියට පිවිසෙන්න.


නිරෝගී බවම වේවා..

tharunee

No comments

Ads Place