Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව දුන්න නම් කොටි සිරකරුවන්ද නිදහස් කරන්න…

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ බන්ධනාගාරගතව ...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටින හෝ දිගු කලක් රඳවාගනු ලැබ සිටින සිරකරුවන් ද නිදහස් කළ යුතුව තිබූ බව හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

එමෙන්ම සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින අනෙක් සිරකරුවන් තිදෙනා ද දුමින්ද සිල්වා සමඟ නිදහස් කළ යුතුව තිබුන බව ද ඇය පවසන්නීය.

“මම කියන්නේ රටක නීතිය හැමෝටම එක හා සමානව තියෙන්න ඕනේ. අවනීතිය ක්‍රියාත්මක වෙනවා නම්, ඒකත් එක හා සමානව තියෙන්න ඕනේ,” යනුවෙන් සඳහන් කළ ඇය, “මේ රටේ පවතින්නේ අවනීතිය. ජනාධිපතිතුමාගේ නීතිය. ජනාධිපතිතුමාට අවශ්‍ය දේ තමයි නීතිය,” යනුවෙන් ද කියා සිටියාය.

දැනට සමගි ජන බලවේගයේ කාන්තා අංශයේ නායිකාවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ඒ බව කියා සිටියේ, සූම් තාක්ෂණය ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සංවාදයකට එක්වෙමිනි.

ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන්නේ නොවේදැයි බීබීසී කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, එසේ බලයක් තිබුණ ද එහිදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පිළිවෙතක් ද පවතින බවය.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව පසුගිය ජුනි 24 වෙනි දින නිදහස් කෙරිණි.

ඉන් සති කිහිපයකට පසුව ජනාධිපතිවරයා විසින් ඔහු ජාතික නිවාස අධිකාරියේ සභාපති පදවියට පත්කරනු ලැබිණ.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව බීබීසී සමඟ අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ, අදාළ සමාව ප්‍රදානය කිරීමේ දී නිසි නීතිමය ක්‍රියාමාර්ගය අනුගමනය කළේ දැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් විමසීමක් කරනු ලැබ ඇතත්, එයට මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නොමැති බවය.

“දුමින්ද සිල්වා මහත්තයට එල්ල වෙලා තියන චෝදනාවම තමයි එතුමත් එක්ක මරණ දඬුවම ලබපු අනිත් කට්ටියටත් තියෙන්නේ. එතකොට මොන ක්‍රියා පිළිවෙත යටතේ ද මෙතුමාට විතරක් විශේෂය කළේ? එහෙනම් මේ මරණය අමතක කරලා දාල, අර ඉන්න අනිත් තුන් දෙනාටත් සමාව දිය යුතුයි.”

එබැවින් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී අදාළ විනිසුරුවරුන්ගෙන්, නීතිපතිවරයාගෙන් සහ අධිකරණ ඇමතිවරයාගෙන් ද වාර්තා කැඳවා නිසි ක්‍රියාදාමය අනුගමනය කළේ දැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය බවත් ඝාතනයට ලක් වූ භාරත ලක්ෂමන් හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

ඇය පවසන්නේ, විශේෂයෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මෙවැනි සමාව දීමකට අනුමැතිය පළකරනු ඇතැයි තමන්ට විශ්වාස කළ නොහැකි බවය.

සිය උත්සාහය කිසිසේත්ම වෛරය මත පදනම් වූවක් නොවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කරයි.

“මගෙන් හැමදෙනාම අහන ප්‍රශ්නයක් ඇයි මේ වෛරය? කියල. මෙතන කිසිම වෛරය පිළිබඳ කතාවක් නෙවෙයි තියෙන්නේ. මම දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමාට මම අදහන බෞද්ධ දහම අනුව මම සමාව දීල ඉවරයි,” ඇය පැවසීය.

“මොකද එතුමාට මරණ දඬුවම ලැබුණත්, නැතත් මගේ තාත්ත නැවත මගේ ලඟට එන්නේ නෑ.”

සිය උත්සාහය නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොවන රටකට කිසිසේත්ම ඉදිරියට යාමට නොහැකි බව පෙන්වා දීම බවත් හිටු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය කියා සිටියාය.

lankacnews

No comments

Ads Place