Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ළමා අපචාරවලට පාවාඩ එළන වෙබ් අඩවි ජාවාරම!

  පහළොස් හැවිරිදි බාලවයස්කාර දියණියක් තම නීත්‍යානුකූල භාරකාරත්වය විසින් ලිංගික ශ්‍රමිකත්වයේ යෙදවීම ගැන මේ දිනවල නොයෙකුත් කතාය. සමහර අය භාරකා...

 


පහළොස් හැවිරිදි බාලවයස්කාර දියණියක් තම නීත්‍යානුකූල භාරකාරත්වය විසින් ලිංගික ශ්‍රමිකත්වයේ යෙදවීම ගැන මේ දිනවල නොයෙකුත් කතාය. සමහර අය භාරකාරත්වයට චෝදනා නගති. තවත් අය අතවර කළ අයට චෝදනා නගති. ඊටත් වඩා හදවත රිදුම් දෙන්නේ මේ වැඩිහිටියන්ගේ ගොදුරක් වූ දරුවාට වෛශ්‍යාව ලෙස බොහෝ කාන්තාවන් පිරිමින් විසින් ආමන්ත්‍රණය කිරීමය. එය අපේ රටේ බහුතරයකගේ සරල ක්‍රමය වී ඇත. එහෙත් එකී දරුවාගේ ආත්මකථනය ගැන කිසිවකුට වගේ වගක් නැත. (ප්‍රශ්නය තමන්ගේ  නොවනතාක් පිළිතුර දාර්ශනික) යැයි කතාවක් ඇත. ඒ නිසා මේ ගැන ඕනෑම අයකුට ඕනෑම දෙයක් කීමට හැකියාව ඇත.


කෙසේ වෙතත් මෙම සිද්ධියට ව්‍යාපාරිකයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක් සහ චීවරධාරියකු ඇතුළු 34 දෙනෙක් පසුගිය 8 වැනිදා වනවිට පොලීසියට කොටුවී සිටියහ. විශේෂම දෙය වන්නේ මේ සිද්ධියේ අත්අඩංගුවට පත්වූ මාලදිවයින් ජාතිකයාය. ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් පොලීසිය දැන නොසිටියත් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව හෙළිවුණේ ඔහු මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා බවය. මේ නිසා මෙරට පමණක් නොව එතෙර පවා මේ ප්‍රවෘත්තිය පළවන්නට විය.


මෙම මාලදිවයින් රාජ්‍ය අමාත්‍යවරයා මෙරටට පැමිණ ඇත්තේ 2018 වසරේදීය. එරට ඩිරාගු ආයතයේ සභාපතිවරයාත්, තොරතුරු තාක්ෂණ මාධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළ මොහු නමින් මොහොමඩ් අෂ්මලී ශිෂ්‍ය වීසාවක් ලබාගනිමින් මෙරටට පැමිණ ඇති මෙම අමාත්‍යවරයා මෙම දැරිය සොයාගෙන ඇත්තේ අන්තර්ජාලයේ වෙබ් අඩවියක පළවූ දැන්වීමක් හරහා බව සැකකරු දන්වා ඇත. www.lankaads.com නැමැති එම වෙබ් අඩවිය හරහා රුපියල් 20,000කට එම තරුණිය මිලදී ගෙන ඇති අතර ඒ සම්බාහනයක් සඳහා බව සැකකරු සාක්ෂි දෙමින් පාපෝච්චාරණය කර තිබේ. ඇයව රැගෙන කොළඹ මරීනා බීච් හෝටලයට ගිය බවත් එහිදී තරුණිය සම්බාහනය සඳහා යොදාගත් තෙල්වලට ඔහු විරුද්ධ වූ බවත් ඔහුගේ නීතීඥයන් දන්වා ඇත. කෙසේ වෙතත් ලිංගිකව හැසිරීම සඳහා රුපියල් 30,000 – 40,000ත් අතර මුදලක් තැරැව්කරුවන් විසින් ඉල්ලා ඇති බවත් නීතීඥයන් පවසා තිබේ.


කෙසේ වෙතත් මෙහි සොයා බැලිය යුතු ප්‍රධාන දේ වන්නේ මෙම දැරියව විකුණා ඇත්තේ අන්තර්ජාලය හරහා වීමය. එනම් ඇයගේ මිල ගණන් සඳහන් කරමින් ප්‍රචාරය ලබාදී ඇත්තේ වෙබ් අඩවි හරහාය. මෙම සිද්ධියට අදාළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට ගත්තත් ඔහුට අවසානයේ දැඩි කොන්දේසි යටතේ ඇප දෙන්නට සිදුවිය.



මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මගින් සිදුකරනු ලැබූ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙරට කාන්තාවන් අලෙවි කිරීමේ වෙබ් අඩවි ගණනාවක් පවත්වාගෙන යන බවය. එවැනි වෙබ් අඩවි අටක් රහස් පොලීසිය මගින් තහවුරු කරගෙන ඇති බවද දැනගන්නට ඇත. එහෙත් පුදුමය නම් මේ සියල්ල රහස් පොලීසිය මගින් සොයාගන්නා තෙක් රටේ ජනතාව දැන නොසිටියාද යන්නය. එවිට ජනතාව නැවත අපෙන් මාධ්‍යවේදීන් ලෙස තමුන්ලා දැන සිටියාද? යන්න ප්‍රශ්න කරනු ඇත. එකී ප්‍රශ්නයට කිව හැකි එකම පිළිතුර වන්නේ මෙකී වෙබ් අඩවි ගැන අප කිහිප වතාවක් අනාවරණය කළ බවය. මේ හරහා සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් කිහිප වතාවක් අප අනාවරණය කළ අතර එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවකුගේ හෝ අවධානය යොමු නොවීම ගැන මේ සිද්ධියත් සමඟ කම්පා වන්නෙමු.


මෙම වෙබ් අඩවි අතර කාන්තාවන් මුදලට විකිණීම පමණක් නොව ඇතැම් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප, වීඩීයෝ පට පවා ප්‍රචාර කර ඇති අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. කෙසේ හෝ විවිධ ක්‍රම මගින් විවිධ පුද්ගලයන් හරහා ලබාගන්න වීඩියෝ පට ප්‍රචාරය කරමින් ආදායම් ලබා ගැනීම මොවුන්ගේ ප්‍රධාන ක්‍රමය වී ඇත. මේ ජාවාරම්කාරයන්ට වයසක් නීතියක් අදාළ නැත. ඔවුන් සිදුකරන්නේ සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී අයුරින් මුදල් ගසා කෑම පමණි. මේ නිසා ඇතැම් තරැණියන් ජීවිතය පවා අහිමි කරගත් අවස්ථා ඇත. ඒ මානසික පීඩනය නිසාය.


ඇතැම් වෙබ් අඩවි මෙරට ඒවා වන අතර සමහර වෙබ් අඩවි වෙනත් රටවල සිට ක්‍රියාත්මක වෙයි. පුදුමය නම් මේ සියල්ල වසර ගණනාවක සිට එළිපිට සිදුවුණත් ඒ ගැන කිසිදු අංශයක අවධානය මෙතෙක් යොමු වී නොතිබීමය. ළමයින් කාන්තාවන් වෙනුවෙන් වගකීම් දරණ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ආයතන ඇති තරම් තිබුණත් මේ සිද්ධිය සිදුවන තෙක් කිසිදු දෙයක් දන්නේ නැත. දැනගත්තත් ගණන් ගෙන නැත. එහෙත් දැන් නැට්ට ගිනි ගත්තා සේ දඟලමින් වෙබ් අඩවි සොයන්නේ වියයුතු සියල්ල සිදුවුණායින් පසුවය.


මේ දිනවල කුඩා ළමුන් ඔන්ලයින් අධ්‍යාපනයේ නිරතවෙමින් සිටිති. නිතර අන්තර්ජාලයේ සැරිසරමින් සිටිති. ඒ නිසා මෙවැනි වෙබ් අඩවි ඔස්සේ මෙවැනි අසහනකාරි පුද්ගලයන් නිතර හමුවනු ඇත. පසුගිය සතියේ මාතර ප්‍රදේශයෙන් එවැනි සිද්ධියක් වාර්තා වුණි. එනම් දුරකථන සමාගමක සේවකයෙක් පාසල් ළමුන්ට නොමිලේ ඩේටා දෙන බව පවසා ඔවුන් අන්තර්ජාලය හරහා අපයෝජන කිරීමය. ඒ තත්ත්වය බැරෑරුම්ය. එකී තත්ත්වයට තාවකාලික පැලැස්තරවලට වඩා අවශ්‍ය වන්නේ ස්ථීර විසඳුම්ය. එසේ නොවන තාක් මෙවැනි සිදුවීම්, මෙවැනි වෙබ් අඩවි රට වටේ හතු මෙන් පිපෙනු ඇත. එහෙත් ඒවා ගැන නොසොයා සිටින ආයතන දෙපාර්තමේන්තු අනාගතයේත් ක්‍රියාත්මක වනු ඇත. ඔවුන් ජනතාවගේ බදු මුදලින් කනු බොනු ඇත. පළමුවෙන්ම කළ යුත්තේ එසේ වැඩක් නොකරන ආයතන නැවත ක්‍රියාත්මක කිරීමය. ඊට පසු මේවා පාලනය කිරීම ලෙහෙසි වනු ඇත.

noizetv

No comments

Ads Place