Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලැජ්ජයි, නින්දිතයි, කනගාටුයි; ලංකාවෙ ක්‍රිකට් කම්මුතුයි!

  ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අතර ප්‍රමුඛයා ක්‍රිකට්ය. බිලියඩ් හා කැරම්වලින් ලෝක ශූරතා දිනුවත් ක්‍රිකට් ලෝක ශූරතාවක් තරම් ඒවා වටින්නේ නැත. ක්‍රිකට්...

 


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අතර ප්‍රමුඛයා ක්‍රිකට්ය. බිලියඩ් හා කැරම්වලින් ලෝක ශූරතා දිනුවත් ක්‍රිකට් ලෝක ශූරතාවක් තරම් ඒවා වටින්නේ නැත. ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලෝක ශූරතාවක් දිනා ගැනීමෙන් පසු ලැබෙන මුදල් හා වරප්‍රසාද වලින් දශමයක්වත් බිලියඩ් ලෝක ශූරතාව දිනූ ලෆීර්ටවත් කැරම් ලෝක ශූරතාව දිනූ ක්‍රීඩකයන්ටවත් නොලැබිණි. 


මීට වසර 25කට පෙර 1996දී අර්ජුන ප්‍රමුඛ ක්‍රීඩකයන් ලෝක ශූරතාව දිනුවේ ද අහම්බයකින් නොවේ. අනුර තෙන්නකෝන්ලා, සතාසිවම්ලා, සාගෝ ජයවික්‍රමලා, මයිකල් තිසේරලා ඇතුළු බොහෝ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වසර ගණනක් මුළුල්ලේ ගොඩනඟන ලද අත්තිවාරම එයට හේතු වූ අතර අර්ජුන රණතුංගගේ විනය පෙරටු කරගත් නායකත්වය හා අනෙකුත් ක්‍රීඩකයන්ගේ කැපවීම එහි අවසන් ප්‍රතිඵලය බවට පත් වූයේ ය. 


ක්‍රිකට්වලටත් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මුදල් ගලා එන්නට පටන් ගත්තේ එයින් පසුව ය. ක්‍රීඩා සමාජ තරගවල ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් තරග දීමනාවක් ලැබෙන්නේ ඒ අනුව ය. වෙනත් කිසිදු ක්‍රීඩාවක ශ්‍රී ලංකාවේ එවැනි තරග දීමනා ගෙවන්නේ නැත. ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ අතින් වියදම් කර විශාල කැපකිරීම් කිරීමෙන් පසුව ය. ඉන් පසුව ද ලැබෙන ආර්ථික වාසියක් නැත. සාෆ්, ආසියානු හෝ කොමන්වල්ත් පදක්කමක් දිනුවොත් පමණක් ක්‍රීඩා අමාත්‍යංශය මගින් මුදලක් ගෙවනු ලබයි. ක්‍රිකට් ආයතනයේ තරම් මුදල් නොමැති නිසා අනෙකුත් ක්‍රීඩා සංගම් හෝ සම්මේලනවලට තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මීට වඩා යමක් කළ නොහැකිය. 


එසේ තිබියදීත් මෑත යුගයේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරම් වැඩි වරප්‍රසාද ඉල්ලා අඬන්නන් වෙනත් ක්‍රීඩාවල දක්නට නොලැබිණි. ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග දීමනා ලක්ෂ 8 සිට 16 දක්වා වුවත් ඒ මදිය. වාර්ෂික ගිවිසුම් දීමනාව අනුව කෝටි ගණනක් ලැබුණත් ඒ මදිය. තරග පිට තරග පැරදුණත් ඒ දීමනා වැඩි කරන මෙන් ඩිමාන්ඩ්ය. ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයන් ද දිනකට රුපියල් ‍ෙදාළොස්දහසක තරග දීමනාවක් හා වෙනත් ගිවිසුම් දීමනා ලැබුණත් ඒවා මදි යැයි කියමින් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන්නට යති. 


ලංකාවට නොපෙන්නුවත් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන්න යන ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මෙහෙට වඩා ආදායමක් උපයා ගන්නේ ඇඟ වෙහෙසා කරන බාල රැකියාවකින් උපයන පැයේ දීමනා මගිනි. මෙලෙස ජීවිකාව කර ගන්නා ගමන් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ද ලබා ගන්නා හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවකි. මෙසේ තම දිවිය ගෙවන මොවුන් එහි සිට ලංකාවේ ක්‍රිකට් විවේචනය කරමින් ක්‍රිකට් හදන්න ද කතා කිරීම විහිළුවට කරුණකි. 


මේ ඇතැම් ක්‍රීඩකයන් කලක් ඔස්ට්‍රේලියානු රජය මගින් සරණාගතයන්ට ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව ද ලබාගත් අය බව ඔස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයෝ දනිති. දුරට ඇපල් වුවත් මොවුන් ළඟට පැපොල් ය. 


අපේ රටේ ද 1996න් පසු ඇති වූ පිබිදීම නිසා ඇති වූ ක්‍රිකට් උන්මාදය මේ වනවිට ශීඝ්‍ර ලෙස ගිලිහී යමින් පවතී. ක්‍රිකට් යනු ආගමක් ලෙස සැලකූ ජාතියක් ලෙස වෙනත් රටවල මිනිසුන් ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නට පටන් ගත්තද අපේ ක්‍රීඩකයන් විසින් ම එම ආකල්ප නැති කර දමා ඇත. 


අප ලෝක ශූරයන්ව සිටි අවධියේත් සියලු ම තරග ජය ගත්තේ නැත. එහෙත් පරාජය වූයේ ගෞරවාන්විත අයුරිනි. ඒ නිසා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර පමණක් නොව බාල, මහලු, වැඩිහිටි කාගේත් ආදරය හා ගෞරවය දිනා ගන්නට එකල ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැකි විය. 


එහෙත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස් ය. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය කඩා වැටී තිබේ. ගහන ක්‍රිකට් එකේ ද කිසිදු වෘත්තීමය ස්වභාවයක් නැත. තරග පරදින්නේ අජූත ලෙසිනි. බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානයත් අද අපට වඩා ඉදිරියට ගොස් ඇත. සුද්දන්ටත් ක්‍රිකට් ඉගැන්වූ අපට දැන් බංග්ලාදේශයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් ක්‍රිකට් ඉගෙන ගැනීමට සිදුවී ඇත. 


ක්‍රිකට් පරිපාලකයන් ද බලය ලබා ගැනීමට මරා ගන්නා තත්ත්වයකට පත්ව ඇතත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයත් ක්‍රීඩාවේ මට්ටමත් අතිශයින් පහළ වැටී තිබේ. ක්‍රිකට් පරිපාලකයන්ට ද බංග්ලාදේශයෙන් හෝ පාඩම් ඉගෙන ගැනීමට සිදුව ඇත. 


පසුගිය කාලය තුළ අප පුහුණුකරුවන් තෝරා ගැනීම, ඔවුන් සමග කොන්ත්‍රාත් සකස් කිරීම, ඔවුන් සේවයෙන් පහ කිරීම, නායකයන් පත් කිරීම, සංචාර පිළියෙල කිරීම, කළමනාකරුවන් පත් කිරීම යන සියල්ලේම අඩුපාඩු රැසක් තිබිණි. 


එහෙත් වර්තමානයේ මේ සියල්ල අභිභවා ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීමට හේතුව බවට පත්ව ඇත්තේ ක්‍රීඩක විනයයි. පිත්තෙන් හෝ පන්දුවෙන් පිටිය තුළ දැක්විය යුතු ශිල්ප ඉන් පිටතදී දැක්වීමට යෑම මෙම විනය පිරිහීමේ ප්‍රධානතම හේතුවකි. විනය විරෝධී කටයුතුවලට නිසි දඬුවම් නොපැනවීම හේතුවෙන් මේ තත්ත්වය තවත් වර්ධනය විය. 


අඹ කූඩයේ සියලු අඹ කුණුවීමට ඒ අතර ඇති එක් කුණු අඹයකට හැකියාව ඇත. විනය විරෝධී ලෙස හැසිරෙන්නන්ට නිසි දඬුවම් නොදීමෙන් සිදුවන්නේ සෙසු ක්‍රීඩකයන්ට ද විනය ගැන තැකීමක් නොමැති වීමයි. 


අබු ෆුවාඩ් වැනි කළමනාකරුවන්, අර්ජුන වැනි නායකයන් නොමැති වීමෙන් විනයද වල් වැදී ඇත. අපේ ක්‍රිකට් පාලකයන් මෑත යුගයේ ක්‍ෂණිකවම විනය සම්බන්ධව ක්‍රියා මාර්ගයක් ගනු දක්නට ලැබිණි. ඒ එංගලන්තයේදී ජෛව බුබුළ කඩමින් රස්තියාදුවේ ගිය කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල පසු දින ම හරවා ලංකාවට ගෙන්වා ගැනීමෙනි. 


සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගුවන් ගමන්වලදී ලැබෙන ව්‍යාපාරික පන්තියේ අසුනක් හෝ නොමැතිව සාමාන්‍ය පන්තියේ අසුන්වල හිඳ ලංකාවට පැමිණි මොවුන්ට නිරෝධායනය සඳහා ද ලබාදී තිබුණේ තරු 3 හෝටලයකි. එහෙත් මොවුන්ට පනවන දඬුවම තවමත් දැනුම් දී නොමැත. අහන අහන සෑම අයෙක් ම වාගේ කියන්නේ අඩු තරමින් වසරකවත් තරග තහනමක් මොවුන්ට පැනවිය යුතු බවයි. මේ තිදෙනාගේ ම පසුගිය වකවානුවේ චර්යාව උසස් මට්ටමක නොතිබීම තවත් හේතුවකි. 


ධනුෂ්ක ගුණතිලක කිහිප වරක් ම ස්ත්‍රීන් සම්බන්ධ සිද්ධිවලට මැදිවූවෙකි. කුසල් මෙන්ඩිස් නිදිමතේ එළිවන ජාමයේ තම ජීප් රථයට මිනිසකු යට කර පළා ගිය අයෙකි. මීට පෙර ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද ත්‍රීවීල් රියැදුරෙකු එළිවන ජාමයේ යට කරන්නට යෙදිණි.  


එංගලන්තයේ ඩර්හැම් හෝටලයේ සිටියදී රාත්‍රීරි ඇඳිරි නීතිය හා ජෛව බුබුළ කඩමින් රාත්‍රියේ හෝටලයෙන් ඉවතට යෑමට සැරසෙද්දී තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් එසේ නොයන ලෙස මොවුන්ට අවවාද කර තිබේ.


“උඹේ පැටිස් එක කාගෙන උඹ හිටපං! අපි ඒක බලාගන්නම්!” කියමින් මොවුන් හෝටලයෙන් පිටව ගොස් තිබේ. ඉන්පසුව සිදුවූ සිද්ධීන්ගෙන් කොටසක් එහි සිටි ශ්‍රී ලාංකිකයකු විසින් කරන ලද වීඩියෝවකින් දැන් නොදැකපු අයෙක් නොමැත. පරීක්ෂණ මගින් සෙසු සිද්ධීන් ද ක්‍රිකට් බලධාරීන් විසින් සොයාගත යුතුව ඇත.


මේ අතර වාර්තා වූ තවත් සිද්ධියක් වූයේ තම රිය අනතුර ගැන ලිපියක් ලියූ ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙකුගෙන් විශාල වන්දි මුදලක් ඉල්ලා කුසල් මෙන්ඩිස් විසින් පැවරූ නඩුවයි. මෙම නඩුවට පෙනී සිටියේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් පිළිබඳ පෙනී සිටින නීතිඥයා වීම ද විශේෂත්වයකි. අදාළ මාධ්‍යවේදියා කරුණු එක්රැස් කර නඩුවට සූදානම් වෙද්දී මෙම නීතිඥයා විසින් නඩුව ඉල්ලා අස්කරගෙන ඇත.


මෙසේ විනය විරෝධීව හැසිරෙන බොහෝ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරු එක ම අයෙකු වීම ද විශේෂත්වයකි. වර්තමානයේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහීමට ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුවන් ද එක් හේතුවක් බව පැවැසේ. යම්තම් 18 හැවිරිදි විය වනවිට පිත්තක් හා ග්ලව්ස් කුට්ටමක් දී වසර පහකට තමන් සමග ගිවිසුම් ගසාගන්නා ඇතැම් පෞද්ගලික කළමනාකරුවන් වැඩි අවධානයක් යොමුකරන්නේ ක්‍රීඩකයන්ගේ චරිත වර්ධනය ගැන නොව ඔවුන් විකුණා තම 20% ලබා ගැනීම ගැනය.


ක්‍රීඩා ඇමතිවරයා මෙන් ම ක්‍රිකට් පරිපාලකයන් ද මෙම පෞද්ගලික කළමනාකරුවන් පිළිබඳ නියාමනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි.


මෙසේ පෞද්ගලික කළමනාකරුවන් සිටි යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙකු පසුගිය වසරේ 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරයක් තුළ හෝටල් කාමර තුළ මත්පැන් බී පිස්සු නැටීම නිසා හසුවිය. එහිදී හසුනොවූ තවත් ක්‍රීඩකයන් ද සිටි අතර හසුවූ ක්‍රීඩකයන් තිදෙනාට දඬුවම් ලෙස එක් සංචාරයක් අහිමි කරන ලදී. කණ්ඩායම් සඳහා කළමනාකරුවන් හා පාසල් නියෝජිතයන් පත් කරන්නේ විශේෂයෙන් ම විනය ගැන පරීක්ෂාවෙන් සිටීමට ය. එසේ තිබියදී ක්‍රීඩකයන් පිස්සු නටන්නේ නම් අදාළ කළමනාකරුවන් ද ඒ සඳහා වගකිව යුතුය.


සංචාරයකට ගොස් පැමිණෙද්දී පාසල් ක්‍රීඩකයන් අත විස්කි බෝතල් ගෙන්වා ගන්නා පාසල් බලධාරීහු ද සිටිති.


පාසල් මට්ටමේ ද ක්‍රීඩක විනය අද බොහෝසෙයින් පිරිහී තිබේ. ඒ සඳහා ඇතැම් පුහුණුකරුවන් ද ක්‍රීඩා භාර ආචාර්යවරුන් ද වගකිව යුතුව ඇත. මෙම විනය පිරිහීමේ කටයුත්තේදී ඇතැම් මවුපියන් ද ඊට දායකවීම කනගාටුදායක ය.


පසුගිය පාසල් ක්‍රිකට් වාරයේ කොළඹ එක්තරා ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් පුහුණුකරු සමග බීමට පුරුදු වූ මවුපියන් පිරිසක් හා සෙසු ක්‍රීඩකයන්ගේ මවුපියන්ට එරෙහිව දාමරිකයන් යොදවා තර්ජනය කළ බවක් ද වාර්තා විය. මෙය පොලිසි යන මට්ටමට වර්ධනය වූ නමුත් විදුහල්පතිවරයා එය හෙමිහිට ලිස්සා යෑමට ඉඩදී ඇත.


කුමන අයුරකින් හෝ තම දරුවාට කණ්ඩායමේ ස්ථානයක් සුරක්ෂිත කරදීමට හෝ නායකත්වය ලබාදීමට පුහුණුකරුවන් හා ක්‍රීඩා ආචාර්යවරුන් සමග ගේම් ගසන මවුපියන් අද සුලබය.


කෙසේ හෝ ජාත්‍යන්තර මට්ටමින් පවා කළු පැල්ලමක් එක් කළ එංගලන්තයේ විනය කැඩූ ක්‍රීඩකයන් තිදෙනාට පනවන දඬුවම ගැන සැවො ම බලා සිටිති.


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ක්‍රීඩකයන්ගේ විනය ගැන තදින් සිටිය යුතු බව පවසා තිබේ. තීරණය ඇත්තේ ක්‍රිකට් බලධාරීන් අතය. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරොවෙන් කැපීම තෙක් වර්ධනය වීමට ඉඩ නොදිය යුතු ය.

noizetv

No comments

Ads Place