Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරටින් වාර්තා වූ ළාබාලතම කොවිඩ් මරණය

  මීට පෙර මෙරටින් සුලභ ව වාර්තා වූ දේශීය කොවිඩ් ප්‍රභේදය අභිබවා බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස ප්‍රභේදය රටපුරා ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව ශ්‍...

 


මීට පෙර මෙරටින් සුලභ ව වාර්තා වූ දේශීය කොවිඩ් ප්‍රභේදය අභිබවා බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස ප්‍රභේදය රටපුරා ඉහළ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ නවතම වාර්තාවෙන් අනාවරණ වී තිබේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනය විසින් මෙරට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳ සිදුකළ නව අධ්‍යයන වාර්තාව අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදී තිබුණි.

එම විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ "ඇල්ෆා හෙවත් බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස ප්‍රභේදය" ආසාදිත පුද්ගලයින් කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය හා රාගම යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවය.

"ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් වෛරස ප්‍රභේදය" ආසාදිත පුද්ගලයෙකු වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.

මේ අතර, කොවිඩ් ආසාදිත තවත් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) තහවුරු කළේය.

රජය විසින් එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව එය වේ.

එම මරණ අතරින් 19ක් මැයි 17 වනදා සිට මැයි 31 වනදා දක්වා කාලය තුළත් සෙසු මරණ 48 ජුනි 01 වනදා සිට ජුනි 08 දක්වා කාලය තුළත් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පුද්ගලයින් 06 දෙනෙකු නිවසේදී මියගොස් තිබූ අතර තවත් 05 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදීත් ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

රජය ඊයේ තහවුරු කළ මරණ අතරට දින 8ක බිළිඳෙකුද වන අතර කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ගම්පොළ මූලික රෝහලේදී එම බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබුණි.

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ ළාබාලතම මරණය එය බව වාර්තා වේ.

පසුගිය මැයි 25 වන දින මෙලොව උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇත.

නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල්ගත කර තිබේ.

ඉන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි බිළිඳාගේ මවට හෝ පියාට මෙතෙක් පීසීආර් පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, ඔවුන්ගෙන් දරුවාට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි වෛද්‍යවරු සැක පළ කරති.

එමෙන්ම වයස අවුරුදු 21 හා 29 වයස්වල තරුණයින් දෙදෙනෙකුද කොළඹ ජාතික රෝහලේදී හා නුවරඑළිය දිස්ත්‍රික් මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ වෙනත් රෝග තත්ත්වයන් සමග කොවිඩ් නියුමෝනියාව ආසාදනය වීමෙනි.

මේ අතර, ජූනි මාසයේ ගෙවුණු දින 09 තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 426ක් රජය තහවුරු කර ඇති  අතර එය ඉකුත් මැයි මාසයේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 50ක් ඉක්මවා යාමකි.

නව සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

උන්වහන්සේගේ රියදුරුට වෛරසය ආසාදනයවීමත් සමග සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් මේ බව තහවුරු වුණි.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ අවමංගල්‍ය අවස්ථාවටද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පසුගියදා එක්ව සිටි බව වාර්තා වේ.

මෙම අවමංගල පෙරහැර කොළඹ සිට සූරියකන්ද ඉත්තෑකන්ද දක්වා පැමිණීම හා ඊට නිරෝධායන නීතිවල සඳහන් පිරිස් සීමාව ඉක්මවා පුද්ගලයින් සහභාගි වී සිටීම සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව ඇති බව දක්නට ලැබුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැස්වීමක් සඳහා සහභාගිවීමට පැමිණි සිටි මන්ත්‍රීවරයාට සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදීය.

මේ අතර, හෝමාගම පිටිපන දෙල්ගහකන්ද ප්‍රදේශයේ නිවසක මියගිය වයෝවෘද්ධ කාන්තාවකගේ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත් ඇයගේ වාර්තා ලැබිමට පෙර බොහෝ පිරිසක් එම අවමගුල් අවස්ථාවේ පෙර සූදානම් කටයුතුවලට සහභාගි වී තිබූ අතර ඒ අතරින් 25 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

වලල්ලාවිට ගුලවිට දකුණ ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයින් නිරන්තරයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සෞඛ්‍ය අංශ විසින් පසුගිය දෙදින තුළ 101 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් 51 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ගත් බව අප වාර්තාකරු පැවසීය.

කටුබැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යන රසායනාගාරයක නිසි සෞඛ්‍යාරක්ෂිත පහසුකම්වලින් තොරව PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවට අද දෙරණට තොරතුරු වාර්තාවිය.

එහි සේවිකාවක් හෙළි කළේ නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පරීක්ෂණ සිදුකිරීම හමුවේ තමන්ට ද කොවිඩ් අසාදනය වූ බවය.

No comments

Ads Place