Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිනිගත් නෞකාවේ තෙල් කාන්දුවක් නැහැ.. ඒක පොඩි නැවක්.. පොඩි තෙල් පැල්ලම් හැම නැවකම තියෙනවා..- ගොඩහේවා…

  MV – X PRESS PEARL නැව ගැන නිරීක්ෂණය කරන්න සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිතුමියත්, වරාය අධිපතිතුමත් සමග මම නැව ආසන්නයටම ගියා. එතනදී අපට ද...


 MV – X PRESS PEARL නැව ගැන නිරීක්ෂණය කරන්න සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිතුමියත්, වරාය අධිපතිතුමත් සමග මම නැව ආසන්නයටම ගියා. එතනදී අපට දකින්නට ලැබුණා ජලයට ඩීසල් එක්වූවා වගේ කුඩා තෙල් ස්ථරයක් තිබෙන බව. මෙය ඕනෑම නැවක් වටා දැකිය හැකි දෙයක්. ඒ නිසා මම ඒ ගැන විශේෂඥ මත පළකරන්න කැමති නැහැ. නමුත් අප සමග සිටි වරාය අධිපතිතුමා ඇතුළු අනෙකුත් විශේෂඥයින් සඳහන් කළේ මෙය තෙල් කාන්දුවක් ලෙස ගන්න බැහැ. මේ වගේ තෙල් ඕනෙම නැවකින් දක්නට හැකි බවයි. ඉතින් අප මේ සම්බන්ධව දිගින් දිගටම නිරීක්ෂණය කරනවා යැයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, ස්වකීය ප්‍රතිභා කෞෂල්‍යයෙන් මෙරට නිර්මාණ ක්‍ෂෙත්‍රය අභිවර්ධනය කළ අප්‍රමාණ යුග පුරුෂයෙකු වූ මහගමසේකරයන්ගේ නමින් පිදෙන ‘තුංමං හන්දිය මහගමසේකර උද්‍යානයේ’ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

පසුගිය රජය සමයේ ප්‍රදේශවාසීන්ගේත්, මහගම සේකර විද්‍යාලයේ සිසුන් සහ ආදි ශිෂ්‍යන්ගේ ඉල්ලීම මත ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය ආණ්ඩුමාරුවත් සමග වැඩනතරව තිබූ මොහොතක රදාවන මහගමසේකර ආදිශිෂ්‍යනායක සංසදය සමග සියනෑ කතිකාවේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාගෙන් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කිරීම සිදු කරන ලදි. ඉතාමත් කෙටි කාලසීමාවක් තුළ මෙමඋද්‍යානයේ ඉදිකිරීම් නිමා කර එහි දෙවන අදියර සඳහා අවශ්‍ය සැලසුම් නිර්මාණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අදාල නිළධාරීන් හට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදෙනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මහගම සේකරයන් කියලා කියන්නේ ලංකාවේ හිටපු ඉතාමත් විශිෂ්ඨතම සාහිත්‍යධරයෙක්. ඒ වගේම දොම්පේ රදාවන කියන ප්‍රදේශය ඔහුගේ ගම. තුංමංහන්දිය නමින් ඉතාමත් ප්‍රසිද්ධ ග්‍රන්ථයක් ලියවුණා ඔහුගේ අතින්. ඒ වගේම තුංමංහන්දිය නමින් ප්‍රසිද්ධ චිත්‍රපටයකුත් ආවා. එම ඉතිහාසය අපේ සංස්කෘතියේ ඉතාමත් වැදගත් දෙයක්. මහගමසේකරයන්ගේ පිළිරුව පිහිටා තිබෙන්නේ මේ තුංමංහන්දියේ. එම පිළිරුව අවට අප කුඩා නාගරික උද්‍යානයක් නිර්මාණය කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමන් කැබිනට් අමාත්‍යවරයා වශයෙන් සිටින මාගේ අමාත්‍යාංශය යටතේ, මේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති වශයෙන් සිටින මිලාන් ජයතිලක මන්ත්‍රීතුමා අප සියළු දෙනා එක්ව මහගමසේකරයන්ට ගෞරවයක් වශයෙන් නාගරික උද්‍යානයේ වැඩකටයුතු අද ආරම්භ කළා. එසේම තම ප්‍රදේශයේ වටිනාකම් හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙම කටයුත්ත සඳහා එක් වූ සියළුම දේපාලන නියොජිතයින් රටටම වටිනා පූර්වාදර්ශයක් ලබාදීම පිළිබඳව මා ස්තූතිවන්ත වෙනවා යැයි පැවසීය.

එම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීන් විසින් නෞකාව පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ‘මෙම නැව අනතුරට පත් වුණේ මැයි මාසේ 20 වෙනිදා. නැවේ පිපිරීම ඇතිවෙලා කන්ටේනර්ස් කිහිපයක් පිටතට විසිඋනේ 22 වනදා. මේ නැව සම්බන්ධයෙන් සියළුම නිරීක්ෂණ කරලා වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුත් 22 වනදාම පටන් ගත්තා. දැන් දින 20 කට කිට්ටුයි. මේ වන තුරු අපට නැවේ තෙල් කාන්දුවක් පිළිබඳව දැන ගන්නට ලැබී නැහැ. නැවක තෙල් කාන්දුවක් කියලා කියන්නේ වතුරට ඩීසල් එක් වූවා වගේ නෙමෙයි, නැවක තිබෙන බන්කර් ඔයිල් කියලා කියන්නේ ඉතාමත්ම ඝන තාර වගේ සමුද්‍ර ජීවයට ඉතාම හානිකර දෙයක්. ඒ නිසා එම තෙල් එළියට ආවා නම් අපට පැහැදිලිව පේනවා. හුඟ දෙනෙක් මත පල කරනවා මෙතන තෙල් කාන්දුවක් තිබෙනවා කියලා. ඊයේ විදේශ මාධ්‍යයක් මගිනුත් කියලා තිබුණා සැටලයිට් පින්තූර ගත්තහම තෙල් කාන්දුවක් වගේ පේනවා කියලා. ඊට පසුව මම නාවික හමුදාපතිතුමාට කතා කරලා කිව්වා මේ ගැන සොයා බලන්න කියලා. ගිලිල තිබෙන එක්සප්‍රස් නැව වටේ තිබෙනවා නැව් පහක්. නාවික හමුදාවට, වරාය අධිකාරියට අයත් නැව් දෙකක්, ඉන්දියානු වෙරළ ආරක්‍ෂක අධිකාරියට අයත් නැව් දෙකක් හා ඊට අමතරව මේ නැව ගොඩගන්නම ආව තවත් නැවක් සමග නැව් 05 ක්. එම නැව් 05 න්ම අපි තොරතුරු ලබාගත්තා. එම නැව් 05 න්ම ලැබී තිබෙන පිළිතුර තමයි එහෙම දෙයක් දක්නට නැහැ කියන එක.

මම නැව ගැන නිරීක්ෂණය කරන්න සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිතුමියත්, වරාය අධිපතිතුමත් නැව ආසන්නයටම ගියා. එතනදී අපට දකින්නට ලැබුණා ජලයට ඩීසල් එක්වූවා වගේ කුඩා තෙල් ස්ථරයක් තිබෙනවා. මෙය ඕනෑම නැවක් වටා දැකිය හැකි දෙයක්. ඒ නිසා මම ඒ ගැන විශේෂඥ මත පළකරන්න කැමති නැහැ. නමුත් අප සමග සිටි වරාය අධිපතිතුමා ඇතුළු අනෙකුත් විශේෂඥයින් සඳහන් කළේ මෙය තෙල් කාන්දුවක් ලෙස ගන්න බැහැ. මේ වගේ තෙල් ඕනෙම නැවකින් දක්නට හැකි බවයි. ඉතින් අප මේ සම්බන්ධව දිගින් දිගටම නිරීක්ෂණය කරනවා. අප විශාල වියදමක් දරාගෙන මේ වටේට නැව් නතර කරගෙන ඉන්නේ කුමන හෝ අනතුරක් සිදුවේ දැයි නිරීක්ෂණය කිරීමටයි. තවම එවැනි තත්වයක් උදා වී නැහැ. මේ වාරකන් කාලේ මෝසම් සුළං නිසා කළ හැකි වැඩ සීමිතයි. මෝසම අවසන්වන තුරු අපට බලා සිටීමට වෙනවා මේ නැව ගොඩගෙන සිදු කිරරීමට ඇති ඉදිරි වැඩකටයුතු ගැන.

මෙය හරියට නඩුවක් වගේ. නඩුවකට උසාවි ගියොත් පැමිණිලිකාරයෙකුයි, විත්තිකාරයෙකුයි දෙදෙනෙක් සිටිනවා. දෙගොල්ලොම නිරීක්ෂණ පාවිච්චි කරනවා. සාක්ෂි එකතු කරනවා. දෙපැත්තෙන්ම සාක්ෂි කැඳවනවා. ඒ වගේ මෙතනදී අප තමයි පැමිණිලි කරුවන් වන්නේ. අප කියනවා අපට අලාභයක් සිදුව තිබෙනවා කියලා. අපි එම අලාභය තක්සේරු කරලා විධිමත්ව සියළු දේ ගණනයට කරලා කියන්න ඕනේ මෙන්න මේකයි අපට සිදුව තිබෙන අලාභය කියලා. ඒ සඳහා විශේෂඥ කමිටු ගණනාවක් පත් කර තිබෙනවා. අපි ඉදිරියට ලංකාවේ පමණක් නෙමෙයි විදේශ උපදෙස් පවා ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙම නීතිමය කටයුතු මෙහෙයවන්නට අධිකරණ අමාත්‍ය අලිසබ්රි මැතිතුමාගේ නායකත්වයෙන් නීතිපතිතුමා ඇතුළුව විශේෂ කමිටුවක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම මගේ අමාත්‍යාංශය යටතේ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පිහිටුවා තිබෙනවා අපට උපදෙස් ලබාගැනීමට. ධීවර අංශයට, පරිසරයට, සමුද්‍ර ජීවිතයට, ආර්ථිකයට සිදු වූ හානින් පිළිබඳව සහ නීතිමය පැත්තෙන් ගත යුතු කටයුතු ගැන සොයා බැලීමට අනු කමිටු පහක් අප පත් කර තිබෙනවා. ඒ අය අපේ තක්සේරුව සිදු කරද්දී ඒ සඳහා මුහුණ දීමට එම නැව් සමාගම සූදානම් වෙනවා. ඒ අය අප කියන ගානට අඩුවෙන් තක්සේරුවක් දැමීමටනේ ඒ අය කටයුතු කරන්නේ. එවිට අප ඔප්පු කළ යුතුයි අපේ ගාන හරි බවට. ඒ අය කරන වැඩ අපට පාලනය කරන්න බැහැ. නමුත් අපි අපේ වැඩකොටස ඉතාමත් නිවැරදිව, හොඳින් එකට එකමුතුව සිදු කරගෙන යනවා. අපට අවශ්‍ය අපට සිදු වූ හානිය සම්පූර්ණයෙන්ම ගණනය කිරීමටයි. ඒ නිසා තමයි විශේෂඥයින් විශාල පිරිසකගෙන් සැදුම්ලත් කමිටු ගණනාවක් පත් කර මෙම තක්සේරුව නිවැරදිව සිදු කරන්නේ. තක්සේරු කළ යුතු අංශ රාශියක් තිබෙනවා. නැවේ පිපිරීම නිසා ගොඩබිමට ගසාගෙන ආ අපද්‍රව්‍ය නිසා සමුද්‍ර ජීවිතවලට සිදු වූ හානිය. වෙරළට සිදු වූ හානිය, ධීවරයින්ට රැකියා කරගැනීමට නොහැකිව සිදු වූ හානිය, ඉදිරියේදී රටට ආර්ථික වශයෙන් සිදුවිය හැකි හානිය, අපේ රටේ කීර්ති නාමයට සිදුවිය හැකි හානිය, සංචාරක ව්‍යාපාරයට මොනවගේ හානියක් සිදුවිය හැකිද? ආදී මේ සියල්ල ගණණය කළ යුතුයි. එය අපට එකවර පැවසිය නොහැකියි. හරියාකාරව ගණනය කරලා අපට අවශ්‍ය වන්දිය ඉදිරිපත් කළ යුතුයි. අනතුරුව අප ඒ වෙනුවෙන් සටන් කරනවා.

එක දෙයක් පැහැදිලිව පැවසිය යුතුයි වරාය අධිකාරිය කිසිසේත්ම දැනගෙන සිටියේ නැහැ මේ සම්බන්ධයෙන් නැව නැංගුම්ලා පැය දහයක් යනකම්. මොකද වරායට දිනකට නැව් 20ක් 30 ක් පමණ එනවා. සමහර ඉතාමත් විශාල නැව් කන්ටේනර් 14,000 සිට 25,000 දක්වා රැගෙන එනවා. මෙය කන්ටේනර් 1,486 ක් පමණ ගෙන ආ ඉතාමත් කුඩා නෞකාවක්. වරායකට නැවක් එනවිට එහි තිබෙන සෑම කන්ටේනරයක්ම කවුරුත් ගිහින් පරීක්ෂා කරන්නේ නැහැ. ඒ නැවට වගකීමක් තිබෙනවා වරායට ඇතුළු වීමට කලින් කන්ටේනර්වල මොනවද තිබෙන්නේ, ඒවයේ ගැටළු තිබෙනවාද කියලා දැනුම් දෙන්න. ඒ කන්ටේනර්වල තිබෙන අමුද්‍රව්‍ය ගැන දැනුම් දීලා තිබුණා වරායට. නමුත් එක කන්ටේනරයක තිබෙන කාන්දුව පිළිබඳව වරායට දැන්වූයේ නැහැ. වරාය ආසන්නයට විත් නැංගුරම් දැම්මේ 19 වෙනිදා රාත්‍රියේ. 20 වෙනිදා රාත්‍රියේ තමයි බහාලුම් කටයුතු සිදු කිරීමට තිබුණේ. පැය 24 කාලයක් වරායේ නතර කිරීමට කටයුතු යොදා තිබුණා. ඔය අතර කාලය තුළ තමයි ඔවුන් වරායට දන්වා තිබුණේ බහාලුමක කාන්දුවක් තිබෙනවා. එය තිබෙන තැන වෙනස් කරගත යුතුබව. එයත් හදිසි දෙයක් බව කියා නැහැ. විද්‍යුත් පණිවිඩයක් මගින් තමයි එවා තිබුණේ. ඊට අමතරව නැවේ ගින්න පටන් ගන්නේ පැය 14 කට පසුව. ඒ නිසා වරාය අධිකාරිය මේ ගැන දැනුවත්ව හිටියේ නැහැ. හැබැයි කලින් අපට එය දැනුම් දී තිබුණා නම් වරාය අධිකාරිය පියවරක් ගත හැකිව තිබුණා. ඒ ගැන සඟවා කටයුතු කළාද, වරදක් සිදුවුණාද කියන කාරණය විමර්ෂණ කටයුතුවලදී හැඳුනාගත හැකියි. මේ පිළිබඳව මා විසින් සියළුම දේ සොයා බැලුවා. ඒ නිසා පැහැදිලිවම කියනවා වරාය අධිකාරිය මගින් වරදක් සිදු වී නොමැති බව. නැව පැත්තෙන් අතපසුවීමක් සිදු උනාද කියන එක පැහැදිලිවම කිව හැකියි පරීක්ෂණ අවසන් වූ වහාම. නැවේ රෙකෝඩ්ස්වලින් අපට සොයා ගත හැකියි නැවෙන් සන්නිවේදනය වූ දේවල්. ඒජන්තවරයාට යවන ලද පණිවිඩ පිළිබඳව සොයා බැලිය හැකියි. එය අපට වටිනා දෙයක් වේවි. නැවේ ගින්න අවසන් වූ වහාම අපේ නිලධාරීන් ගොස් නැව අත්අඩංගුවට ගනු ලැබුවා.” යැයි පැවසීය.

– ඩබ්. ඒ. උදිත පුෂ්පකුමාර


No comments

Ads Place