Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලන්සි වත්තේ නැන්සි වගේ ඉන්න බෑ… ආණ්ඩුවේ අපි ලොකු අරගලයක ඉන්නේ…

  ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව සත්‍ය බවත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා...

 


ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව සත්‍ය බවත් ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කිරීමට නොව රැකගැනීමට බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ (02) අවිස්සාවේල්ල සාලාව කොස්වත්තර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය හා එක්වෙමිනි.


වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ ප්‍රදේශයේ ගොවිපවුල් රැසකට සිය කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජල පහසුකම් සපුරාලමින් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පැවැති උත්සව සභාව අමතමින් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.


ලන්සි වත්තේ නැන්සි ලෙස ජීවත්වෙමු ද?


වාරි සෞභාග්‍යය වැඩසටහන මේ ආණ්ඩුවේ දැවැන්තම ව්‍යාපෘතියක්. වාරිමාර්ග ටික අපි හදන්නේ ඇයි? මෙතෙක් කල් අපි හිතාගෙන හිටියේ පිට රට දේ සිරි සැප දේ කියලා. බඩුවක් ගත්ත ගමන් බලන්නේ මේඩ් ඉන් (Made In) කොහෙද කියලා. හරි ආඩම්බරයෙන් කියන්නේ පිටරට එකක් වුණාම. 77න් පස්සේ තමයි මේ සංස්කෘතිය ආවේ. දැන් ඉන්දියාවේ නම් ප්‍රධාන තේමාව තමයි බී ඉන්දියන් බයි ඉන්දියන් (Be Indian Buy Indian) ඉන්දියාවේ දේවල් මිලදී ගෙන ඉන්දියානුවෙක් වෙන්න. ඉන්දියාවේ ඉපදුණ පමණින් ඉන්දියාවේ ජීවත්වෙන පමණින් ඔබට ඉන්දියානුවෙක් වෙන්න බෑ. කන්න බොන්න අඳින්න පළඳින්න හැමදේටම ඉන්දියාවේ දෙය ගන්නවා නම් පමණයි ඔබට සැබෑ ඉන්දියානුවෙක් වෙන්න පුළුවන්. ඒකම ඕස්ට්‍රේලියාවෙ ගියාමත් කැන්ගරුවෙක් ඇඳලා ලොකු බෝඩ් ගහලා කියනවා ඔස්ට්‍රේලියානුවෙක් වෙන්න නම් ඕස්ට්‍රේලියානු දේ මිලදී ගන්න කියලා.


හැබැයි අපේ සාඩම්බරය අහවල් රටේ දේ ගත්තයි කියන එක. අපි නිකං ජීවත් වුණේ ලංසි වත්ත නැන්සි වගේ. හැමදේම වියදම් කරලා ගන්නවා. හැබැයි වියදම් කරන්න සල්ලි කෝ. අපි අවුරුද්දකට පිටරටින් බඩු ගන්නවා ඩොලර් බිලියන 20ක විතර. හැබැයි තේ රබර් පොල් ඇඟලුම් ඔක්කොම විකුණා හම්බ කරන්නේ ඩොලර් බිලියන 10 යි. ඉතින් බිලියන 10ක් හම්බ කරල බිලියන 20ක් වියදම් කරනවා කියන්නේ ලන්සි වත්තේ නැන්සි වගේ. මොකද ආදායම් වගේ වියදම දෙගුණයක්. බොරු ෂෝ එකක් තමයි කරගෙන ගිහින් තියෙන්නේ. හැමදාම මේක කරන්න බැහැ අපි ලෝකෙට ණයයි. ඩොලර් බිලියන හතළිහක් ණයයි. ණයට හිලව් වෙන්න මේ තියෙන සම්පත් එකිනෙක පිටරටට දුන්නට පස්සේ අපිට උලා කන්න වත් දෙයක් ඉතුරු වෙන්නෑ. උපන් බිමේ වහල්ලු විදිහට තමයි අපිට ජීවත් වෙන්න වෙන්නෙ.


හෙට එන ඡන්දය ද ? හෙට ඉපදෙන පරපුර ද ?


ඒක නිසා මේක අපි වෙනස් කළ යුතුයි කියලා දැකලා ගෝඨාභය ජනාධිපතිතුමන් තීරණයක් ගත්තා අපිට වවන්න පුළුවන් හැම දේම මේ පොළොවේ වවනවා. කෙතරම් දුෂ්කර වුණත් ආනයනය නතර කරනවා. අපිට හදන්න පුලුවන් සෑම දේම මේ පොළොවේ හදනවා. කෙතරම් දුෂ්කර වුණත් ආනයනය නතර කරනවා. තුවාලෙට බෙහෙත් දාද්දි රිදෙනවා තමයි. අපි පුංචි කාලේ බෙහෙත් දාන හෙදියගේ අතත් හූරනවා. අපි අඬනවා. හැබැයි රිදෙනවා වුණත් තුවාලෙට බෙහෙත් දැම්මොත් තමයි හොඳ වෙන්නේ. රිදෙනවා කියලා තුවාල ඔහේ තියෙන්න ඇරියා නම් තුවාලෙ උඩුදුවලා අපි මැරෙනවා. ජනාධිපතිතුමා ඒ රිදෙන වැඩේ පටන් අරන් තියෙන්නෙ. අපිට අමාරුයි. බනිනවා. හැබැයි රට ගොඩ ගන්න තියෙන්නේ මේ ක්‍රමය විතරයි. ඉන්දියාවේ කියලා තියෙනවා දේශපාලකයා ඊළඟ මැතිවරණය ඉලක්ක කර ගෙන තීරණ ගන්නා අතර රාජ්‍යතාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ඉලක්ක කරගෙන තීරණ ගන්නවා කියලා. අද ගෝඨාභය රාජපක්ෂ කියන රාජ්‍යතාන්ත්‍රිකයා දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා හෙට එන ඡන්දෙට මොකද වෙන්නේ කියලා නෙවෙයි හෙට ඉපදෙන පරම්පරාවට මොකද වෙන්නේ කියලා හිතලා තීරණ ගන්න නිසයි අද මේ රටේ අලුත් වෙනසක් සිද්ධ වෙන්නේ. 70 – 77 යුගයෙත් කරන්න හැදුවේ මේ ටිකම තමයි. ජනතාව දරාගන්න බෑ කියලා ආණ්ඩුව පරාජය කරලා ගෙදර යැව්වා. ඊට පස්සේ තමයි ලන්සි වත්තේ නැන්සි ගේ යුගය ආවේ.


මේ වාරිකර්මාන්තය, මේ අපේ උරුමය පිළිබඳ ප්‍රශ්නයක්. මේ අපේ තරම් විශිෂ්ට වාරි කර්මාන්තයත් ලෝක ඉතිහාසයේ බිහිවෙලා නෑ. අපේ වැව, අපේ බිසෝකොටුව, අපේ පැරණි ඇල මාර්ග වල තියෙන බැස්ම, ජය ගඟේ බැස්ම සැතපුමට අඟලක්. එහෙම කරල තියෙන්නේ ඇයි? පොස්පේට් නිධිය ජලයත් සමග මිශ්‍ර වෙලා ස්වාභාවිකවම පොහොර සහිත ජලය කුඹුරු වලට යන්න. ජෝෂප් නීඩ්හයිම් (Joseph Needham) කියන චීන ඉතිහාසය ඉංග්‍රීසියෙන් ලිව්ව මහා ඉතිහාසඥයා කියනවා චීනය තමයි ලෝකෙට වැඩිම නිර්මාණ ගානක් දායක කළේ. හැබැයි වාරි තාක්ෂණය චීනය ඉගෙන ගත්තේ සිංහලයන්ගෙන් කියලා. ඒ නිසා වාරි කර්මාන්තය වාරි තාක්ෂණය කියන්නේ අපේ සාඩම්බර උරුමයක්. ඒ උරුමය මියදෙන්න දීලා ඇළ මාර්ග ගොඩ කරලා කුඹුරු පුරන් වෙන්න ඇරපු යුගය අවසන් කරලා නැවත අපේ බත අපි හදන යුගයට තමයි වර්තමාන ආණ්ඩුව මේ රට ගෙන යමින් ඉන්නේ. ගොවිතැනට අවශ්‍ය ජලය දෙන්න වාරිමාර්ග හදන්න අද අපි මෙතනට එනකොට ඔබතුමන්ලා දැක්කා මේ පාර දිගේ ලොකු බට ටිකක් අරගෙන ලොරියක් යනවා. කාගේ ලොරියක් ද? ජල සම්පාදන මණ්ඩලයේ. කුඹුරට ඕන වතුර ටික විතරක් දීලා අපි නතර වෙන්නේ නෑ. පිරිසිදු පානීය ජලය ඔබට ලැබෙන ජල නල එලීම නුදුරු දිනකින් ආරම්භ වෙනවා කියන එක සනිටුහන් කරමින් තමයි මේ ලොරිය අවශ්‍ය බට ටික අරගෙන ගියේ. ඒ නිසා ලෝකයේ අන් රටවල් දැවැන්ත වසංගතය නිසා ඇදගෙන වැටිලා ජනතාවට කන්න දෙන්නෙ කොහොමද කියලා කෙඳිරි ගාමින් කල්පනා කරද්දී අපි අභියෝග මැද සිදුවිය යුතු සංවර්ධනයත් ඒ ලෙසටම සිදු කරනවා.


මණ්ඩලේ කචල් ද ?


සමහරු අපෙන් අහනවා ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද ද කියලා. කොළඹ නගරයට ගියාම අහන්නේ සර් මණ්ඩලේ කචල් ද කියලා. අපි ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක් කරන බව ඇත්තයි. ඒ අරගලය කරන්නේ ආණ්ඩුව නැති කරන්න නෙවෙයි ආණ්ඩුව රැකගන්න. විශේෂයෙන්ම මේ රටේ ජනතාව දුන්නු ජනවරම රැකගන්න. ජනතාව තැබූ විශ්වාසය රැකගන්න. 69 ලක්ෂයේ අභිලාෂයන් රැකගන්න. අපි දන්නවා 20 වන සංශෝධනයේ තිබුණු සමහර කරුණු ජනවරමට පටහැනියි. ජනවරම සුරකිනවනම් 20වන සංශෝධනයේ එම කරුණු එළෙසින් එන්න විදිහක් නෑ. ජනවරම සුරකිනවා නම් වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න මේ ආණ්ඩුවේ නායකයන් කිසිම කෙනෙක්ට සංකල්පයක්වත් පැළ වෙන්න බෑ. ජනවරම සුරකිනවා නම් රටේ නීතිය රකින නිලධාරීන්ව හිංසාවට පත් වෙන තීන්දු දේශපාලන නායකයන්ගෙන් ගන්න විදිහක් නෑ. මෙවා සිදුවෙනවා කියන්නේ 69 ලක්ෂයේ අභිලාෂයට එරෙහිව යනවා කියන එකයි. ජනතාව අපිට දුන්න ජනවරමට එරෙහි ව යනවා කියන එකයි. මේ ආණ්ඩුව රැකගන්න නම් අපි වරදින තැන දී හඬ නගලා ඒක නිවැරදි කරන්ඩ ඕන. මගේ ජීවිතයේ මට වැඩිපුරම බැනලා තියෙන්නෙ අම්මයි තාත්තයි වගේ අපි මේ ආණ්ඩුවට බනින්නේ ආණ්ඩුව හදාගන්න ආණ්ඩුවට තියෙන ආදරේ නිසා. මේ ආණ්ඩුව නිසි මග ගෙනයෑමේ වගකීමක් මෙම ආණ්ඩුවට ඡන්ද දෙන්න කිව්ව මේ මහා දේශපාලන ව්‍යාපාරය ආරම්භකරපු පුද්ගලයන් විදියට අපිට තියෙනවා. අන්න ඒ ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය සුරැකීමේ අරගලය තමයි අපි ආණ්ඩුව තුළ කරන්නේ. මේ ආණ්ඩුව ආ දුර කෙටියි. යා යුතු දුර දිගයි. ඒ නිසා අපි නිවැරදි විය යුතු තැන්වලදී නිවැරදි කර ගත්තොත් යා යුතු දුර ජනතා ආශිර්වාදය මැදින් ගමන් කළ හැකි වේවි කියලා අපි විශ්වාස කරනවා.


පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා, ප්‍රාදේශිය මන්ත්‍රීවරුන්, සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිලධාරීන්, ගොවි සංගම් නියෝජිතයන් සහ ගොවි මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම අත්සවය පැවැත්විණි.

lankacnews


No comments

Ads Place