Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉස්ලාම් අන්තවාදීන් එක්ක දීග කන්න සූදානම් ආණ්ඩුවේ අය… පාස්කු කොමිසමේ සාතන්ගේ අවතාර ගැන විමල් හෙලි කරයි.. ඔවුන් බදියුදීන්ලාට සුදුහුණු ගාමින්..

  අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීගකෑමට සිදුවෙතැයි සිතන ආණ්ඩුව තුළ සිටින දේශපාලන තක්කඩියන් පිරිසක් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය ...

 


අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීගකෑමට සිදුවෙතැයි සිතන ආණ්ඩුව තුළ සිටින දේශපාලන තක්කඩියන් පිරිසක් රිෂාඩ් බදියුදීන්ලාගේ සැබෑ ස්වරූපය සමාජය හමුවේ අනාවරණය වීම වළක්වා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණය කළේය.

කොළඹ, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති ‘ඉස්ලාම් අන්තවාදය: පාස්කු කොමිසමෙන් ඔබ්බට’ යන මැයෙන් පැවැති සිය දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“මීට වසර 02කට පමණ පෙර මුළුමහත් ජාතියේම හදවත් සසල කළ ජීවිත 400කට ආසන්න ප්‍රමාණයක් නිසල කළ පාස්කු ඉරිදාවක සිදුකළ මිනීමරු, මෘග ප්‍රහාරය තවමත් තිබෙන්නේ අපේ මතකයේ මායිමේ. ඒ මෘග ප්‍රහාරය විසින් ජාතියම සසල කළා පමණක් නොවෙයි, සිදුවූයේ කුමක්ද? සිදුවෙමින් පවතින්නේ කුමක්ද? සිදුවීමට යන්නේ කුමක්ද?’ යන ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න අපට බල කළා. ‘එතරම් දරුණු ප්‍රහාරයකදීත් ඇහැ ඇරෙන්නේ නැති මිනිසුන් හැටියට ජීවත් නොවිය යුතුයි’ කියන පණිවිඩය දරුණු ලෙස ඒ ප්‍රහාරය විසින් අපට ලබා දුන්නා. අපේ දෙපා යටින් සිදු වෙමින් පවතින විපතේ තරම දිහා නිර්දය ලෙස බලන්න සමාජයක් ලෙස අපව පොළඹවනු ලැබුවා.

‘වත්මන් රාජ්‍ය නායකයාගෙන් බලාපොරොත්තු වූ වැදගත්ම දෙය’

සිංහල සහ දෙමළ ජනකොටස්වලට පණක් නොවෙයි, මධ්‍යස්ථ මුස්ලිම් ජන සමාජය තුළත් භීතිය රජයන්න පටන් ගත්තා. ඒ නිසා තමයි අනාරක්ෂිතභාවයට එරෙහිව 2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී ජයග්‍රාහී ජනවරමක් නිර්මාණය කරන්න මේ රටේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණේ. ‘පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ඇත්ත අවතාර, එහි හිමිකරුවෝ, න්‍යායාචාර්ටයවරුන් යන සියල්ලේ අගමුල සොයලා ඒ අන්තවාදයේ බිහිසුණු ගොදුරක් බවට අපේ සමාජයේ අනාගතය පත් වීම වළකාලී’ තමයි මේ රටේ මුළුමහත් ජනතාව වත්මන් රාජ්‍ය නායකයා ඇතුළු පාලනතන්ත්‍රයෙන් බලාපොරොත්තු වුණු වැදගත්ම කාරණය. ඒ වැදගත් කාරණය ඉටු වේ යැයි බලාපොරොත්තු තබාගත් ජනයා පසුගිය දිනවල කලබල වුණේ ඒ පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමක වාර්තාවක් එළිදැක්වීමත් සමඟයි.

‘විජිත් මලල්ගොඩ නිර්දේශ’

පාස්කු ඉරිදා මෘග ප්‍රහාරයෙන් පසුව එවකට ජනාධිපතිවරයා විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ප්‍රමුඛ කමිටුවකට භාර දුන්නා මේ පිළිබඳව ගත යුතු පියවර නිර්දේශ කිරීමට. එම විජිත් මලල්ගොඩ කමිටුවෙන් ප්‍රධාන නිර්දේශ 40ක් ඉදිරිපත් කළා. පළමුවැන්න, ‘අපරාධ නීතිය අනුව වරදකරුවන්ට එරෙහිව කටයුතු කළ යුතුයි’ යන්නයි. එය කොහොමත් සිදුවිය යුතු දෙයයි. දෙවැන්න, මේ පිටුපස වන සංකීර්ණ පින්තූරය හරියට හඳුනාගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පිහිටුවීම, යන්නයි. තුන්වැන්න, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමයි. අපි දන්නවා, ඒ දවස්වලම පත්කළ ඒ තේරීම් කාරක සභාවේ නඩු අහන්න රාවුෆ් හකීම් මහත්තයාත් හිටියා. සිව්වැන්න, ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවක් පිහිටුවීම, යන්නයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් එදා ඒ ආංශික කාරක සභාව පිහිටුවනු ලැබුවා.

ඒ අනුව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය එක්තරා දුරකට අපරාධ නීතිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ජනාධිපති කොමිසමේ වාර්තාව දැන් නිකුත්ව තිබෙනවා. අර කෝලං පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පැත්තක තැබුවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව තම වාර්තාව රට හමුවේ තබා අවසන්. ඒ අනුව විජිත් මලල්ගොඩ විනිසුරුතුමන් ලබාදුන් ප්‍රධාන නිර්දේශ දෙකකට අදාළ කටයුතු දැන් අවසන්ව තිබෙනවා. සිදුවීම සිදුවී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් අපරාධ නීතිය ක්‍රියාත්මක වීම, තවමත් අවසන් නොවූ කාර්යයක් බවට පත්ව තිබෙනවා. ඕනෑම ජනසමාජයක් මෙවැනි බිහිසුණු අපරාධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් තුළ යුක්තිය පසිඳලීමේ කටයුතු සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුණොත් ඒ ජනසමාජය සියල්ල දෙස සැකයෙන් බලන්න පටන් ගන්නවා. ඒ සැකයේ වාසිය මේ මෘග ප්‍රහාරය පිටුපස වන මහ මොළකරුවන් හැර අන් කිසිවෙකුටත් ලැබෙන්නේ නැහැ. ජනාධිපති කොමිසමක් යනු අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට විකල්පයක් නොවෙයි. යුක්තිය පසිඳලීම සිදුවිය යුත්තේ අපරාධ නීතියට අනුවයි. එහිදී මිනී මරපු ස්වයං ඝාතකයන් නිර්මාණය වූ මතවාදය හදපු අය, ඒ මතවාදය ද්‍රව්‍යමය බලවේගයක් බවට පත් කිරීමට මුදල් පොම්ප කළ අය, සැකකරුවන් අත්අඩංගුවට පත්වන විට පොලීසියට බලපෑම් කරලා ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් වූ දේශපාලන බලවතුන් යන සියලුදෙනාට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

‘බෞද්ධ අන්තවාදය’ කියා එකක් මේ පොළොවේ නැහැ

කොමිෂන් සභා වාර්තාව අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අන්තවාදී අදහස් වැපිරුවේ නැතිනම් සහරාන් නිර්මාණය වන්නේ නැහැ. එහෙමනම් අයිඑස්අයිඑස් සංවිධානය හැදිලා තියෙන්නෙත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිසාද? ඉස්ලාම් අන්තවාදය කියන්නේ ලෝක ව්‍යාප්ත සාධකයක්, ව්‍යසනයක්. ‘බෞද්ධ අන්තවාදය’ කියා එකක් මේ පොළොවේ නැහැ. කඩු 6000ක් ගෙනත් බානකම් නිකම් බලා ඉන්න මිනිස්සු ඉන්න රටක් බවට මේ රට පත්වුණේ ‘බෞද්ධ අන්තවාදයක්’ කියා එකක් නැති නිසයි. ප්‍රහාරයට දින කිහිපයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු කොම්පඤ්ඤ වීදිය පැත්තේ පල්ලියකට කඩු මිටියක් ගෙන එන සීසීටීවී දර්ශන ඒ දිනවල මාධ්‍ය මගින් දැකගත හැකි වුණා. ප්‍රහාරයට දින කිහිපයකට පෙර කඩු මිටියක් පල්ලියට ගෙන යාමට උවමනා වුණේ ඇයි? ඔවුන් කල්තියා දැන සිටියාද, සමාජය ප්‍රකෝප වන ප්‍රහාරයක් සිදුවන බව? එහිදී ලැබීමට නියමිත සිංහල ප්‍රතික්‍රියාවට, ප්‍රතිප්‍රහාරය සඳහා මේ කඩු 6000 ගෙන එනු ලැබුවාද? සිංහල සමාජයෙන් එවැනි ප්‍රතික්‍රියා සිදු නොවුණේ මේ පොළොව මත ‘බෞද්ධ අන්තවාදයක්’ නොමැති නිසයි.

‘රිෂාඩ්ගේ මල්ලිගේ දුරකථන ඇමතුම්’

මේ කොමිෂන් සභා වාර්තාව මගින් නිශ්චිතව ඇපත් නොලැබෙන අන්දමට හිරේ දැමීමට නිර්දේශ කරන එකම කෙනා ඥානසාර හාමුදුරුවෝ. රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් එහි නිර්දේශය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම යටතේ පැමිණිලි විභාග කිරීම. රිෂාඩ් බදියුදීන්ගේ මල්ලි සහරාන්ට දුරකථන ඇමතුම් ගත් බව රටට කීවේ අපි නොවෙයි, එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක. එදා පොලීසියේ මහත්වරු, රිෂාඩ්ගේ මල්ලි සහරාන්ට දුරකථන ඇමතුම් ගත්තු හැටි, සහරාන්ගේ ඇමතුමෙන් පසු එයා තමන්ගේ අයියට දුරකථන ඇමතුම් ගත්තු හැටි, ඉන්පසු යළිත් සහරාන්ට ඇමතූ හැටි අපට නොවෙයි පෙන්වූයේ කාදිනල්තුමන්ටයි. අත්අඩංගුවේදී රිෂාඩ්ගේ මල්ලි කියන්නේ ‘බිස්නස් වැඩටයි කෝල් කළේ’ කියායි. රිෂාඩ්ගේ මල්ලි අත්අඩංගුවට ගන්නා විට කාදිනල්තුමන්ට කියනවා, මේ ඇමතුම් අපරාධ වරදකට අදාළ ඒවා කියා. පසුව ඇප දීලා එළියට දානවිට එම ඇමතුම් ව්‍යාපාරික කටයුත්තකට ගත්තු ඒවා වෙනවා.

‘කොමිසමේ විකාරරූපී අදහස’

මේ කොමිසම හිතනවා, ‘බෞද්ධ අන්තවාදයක්’ තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙනවා, කියා. එදා දෙමළ ඊළාම් බෙදුම්වාදී ත්‍රස්තවාදය ගැන කතා කරද්දි එයට සළුපිළි ඇන්දූ අය කීවා, ‘ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති නිසා එමගින් එල්ටීටීඊ ත්‍රස්තවාදය ඇති වුණා’ කියලා. ඔවුන් කීවා ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරු සොයන තුරු ත්‍රස්තවාදය පරාජය කළ නොහැක’ කියා. ඒ නිසා චන්ද්‍රිකා තවලම් ගියා, මංගල සුදු නෙළුම් ගත්තා, ෆෙඩරල් පැකේජ් ගෙනාවා, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා ගෙනාවා. මේ නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටියක් සහ තව ටිකක් ගෙනාවා. මෙතැනදීත් ඒ වියවුලම තමයි කරන්න හදන්නේ. ‘බෞද්ධ අන්තවාදයක් තියෙනවා, ඒ තියෙන නිසා ඉස්ලාම් අන්තවාදයක් ඇති වෙලා තියෙනවා’ කියන එකයි මෙතැනදී හදන මතය. ඒ විකාරරූපී අදහස කොමිසමේ සාමාජිකයන් තුළ තිබෙන බව පෙනෙනවා. ඒ වාර්තාව අධ්‍යයනය කළාම. එහෙම අදහසක් නොතිබුණානම් කොමිසම යා යුතුව තිබුණේ පන්සල දෙසට නොවෙයි, මුස්ලිම් දේවස්ථානය දෙසටයි. කඩු ගොඩ ගහපු පැත්තට නොයා පන්සල පැත්තට මෙයාලා චෝදනාව දමලා තිබෙනවා.

‘කොමිසමෙත් සහරාන්ගේ අවතාර සිටියාද?’

සහරාන් සමඟ මුල් කාලයේ එකට වැඩ කරපු, ‘බුදු හාමුදුරුවෝ මස් කෑවා’ කියමින් ප්‍රසිද්ධියේ අපහාස කරපු අබ්දුල් රාසික් ගැන මෙම වාර්තාවේ නිශ්චිත යමක් කියන්නේ නැහැ. මෙහි මාවනැල්ල, වනාතවිල්ලුව ප්‍රදේශවලදී ආයුධ සමඟ පොලීසියට හසු වූ අන්තවාදීන් ඒ කාලයේ පැවැති ආණ්ඩුවේ බලවතුන්ට කියලා නිදහස් කරගන්න හදපු අසාත් සාලිට කරන්න ඕන දේ නිශ්චිතව කියා නැහැ. හිස්බුල්ලා කාන්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය වපුරා තිබෙනවා, කියා වාර්තාවේ සඳහන් වූවාට ඔහුට කළ යුතු දේ නිශ්චිතව කියා නැහැ. හැබැයි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ‘වැඩේ දෙන්න’ ඕන විදිය වගන්තියක් දාලාම කියා තිබෙනවා. වෙලාවකට හිතෙනවා, ‘කොමිසම ඇතුළෙත් සහරාන්ගේ අවතාර සිටියාද?’ කියා.

‘පොළ පොතට ආ කොඩාවිගේ මිනීමරු අදහස්’

ලෝක ප්‍රකට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසූ ඊජිප්පතුවේ වෙසෙන, මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ යූසුප් අල් කොඩාවි නැමැත්තාගේ අන්තවාදී ඉගැන්වීම් මෙරට මුස්ලිම් පාසල් දරුවන්ගේ පෙළ පොත් තුළට, ගුරු අත්පොත් තුළට ඇතුළත් කරන්න මෙරට මුස්ලිම් කවුන්සිලයේ සභාපති එම්.එන්. අමීන් කටයුතු කර ඇති බව කොමිසම සිය වාර්තාවේ සඳහන් කරනවා. නමුත් අමීන්ට එරෙහිව ගතයුතු පියවර නිශ්චිතව පවසන්නේ නැහැ. මේ යූසුප් අල් කොඩාවිගේ එක් ඉගැන්වීමක් තමයි, ‘ඉස්ලාම් අවසාන අරමුණ ඉටුකර ගන්න නම් රාජ්‍ය බලය හා භූමිය අත්පත්කර ගැනීම අත්‍යවශ්‍යයි’ කියන එක. මේ දෙක නිවුන්නු ලෙසයි ඔහු හඳුන්වන්නේ. මේ පුද්ගලයාගේ මිනීමරු, අන්තවාදී අදහස් පෙළ පොතට එක් කළ අමීන්ට එරෙහිව ගතයුතු පියවර මෙහි නිශ්චිතව සඳහන්ව නැත්තේ ඇයි? ආගමික දවටනයක ඔතලා ඕනෑම මිනීමරු අදහසක් පැටවීම තමයි ඉස්ලාම් අන්තවාදයේ ස්වරූපය. ඒක හුදකලා අන්තවාදයක්, ත්‍රස්තවාදයක් නොවෙයි. රාජ්‍යයක් අත්පත් කර ගැනීම දක්වා විහිදුණු ව්‍යාපෘතියක්. එහි එක් මෙවලමක් විතරයි ත්‍රස්තවාදය. අන්තවාදී ව්‍යාප්තවාදය, ගර්භාෂ යුද්ධය, ජනගහන ප්‍රවර්ධනය, භූමිය අත්පත්කර ගැනීම ආදිය මේ ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා.

‘ඉස්ලාම් අන්තවාදය සමඟ දීග කෑමේ සූදානම’

අනාගතයේදී ඉස්ලාම් අන්තවාදය සමඟ දීග කෑමට සූදානම් තක්කඩීන් පිරිසක් ආණ්ඩුව තුළ සිටිනවා. ඔවුන් රිෂාඩ් බදියුදීන්ලා නියම ස්වරූපයෙන් සමාජගතවීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. දැන් හිස්බුල්ලා නැගෙනහිර වෙරළ තිරයේම ඉඩම් අත්පත් කර ගනිමින් සිටිනවා. රිෂාඩ් බදියුදීන්ලා මන්නාරම සියලු ඉඩම් මිලදී ගනිමින් ඉන්නවා. ඔවුන් මේ සපුරා ගන්නේ කොඩාවි කියූ අරමුණ. රාජ්‍ය බලය හා භූමිය අත්පත් කර ගැනීමේ දිසාවටයි ඔවුන් ගමන් කරමින් ඉන්නේ, රිෂාඩ් බදියුදීන් වසර 10ක් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ධුරය දරා තිබෙනවා. ඒ අවුරුදු 10 තුළ මේ රටේ සිංහල ව්‍යාපාරිකයන් දසදහස් ගණනක් වළපල්ලට යවා තිබෙනවා. සිංහල ව්‍යාපාරිකයන් අතේ තිබුණු ව්‍යාපාර වළපල්ලට යවලා ඒවා ඔවුන් අතට ගෙන තිබෙනවා. දැනුවත්ව රිෂාඩ් බදියුදීන් සිංහල ව්‍යාපාර වැට්ටුවා. ඒ කාලයේ සතොසින් කුඩු අහු වුණා. අද කාලයේ අහුවෙනවාද? ඒ කාලයේ සිංහල ව්‍යාපාරිකයකු සතොසට බඩු දැම්මානම් මාස 05ක් විතර යනවා බිල ගෙවන්න. එවිට ව්‍යාපාරය වැටෙනවා. නමුත් මුස්ලිම් ව්‍යාපාරිකයකු බඩු දැම්මාම මාසෙන් බිල ගෙවනවා. ඉතා සූක්‍ෂ්ම විදියට සිංහල ව්‍යාපාරිකයන්ගේ බලය බින්දා. මෙතැන තිබෙන්නෙත් රාජ්‍ය බලය හා භූමිය අත්පත් කර ගැනීමේ කොඩාවිගේ අවසාන අරමුණට යාමයි. මේ අයගේ ‘ධර්මය’ ඇත්තේ කුරානය තුළ නොවෙයි යූසුප් අල් කොඩාවි වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ මතවාද තුළයි.

‘සහරාන්ගේ ලිපිගොනු සහ රනිල්’

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට වේවැල් පාරක්වත් ගහන්න කියලා මේ කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරලා නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ තමයි 19 වැනි සංශෝධනයෙන් බලතල වැඩිකරගෙන ජනාධිපතිවරයාගේ අතපය බැන්දේ. ඔහු තමයි නැගෙනහිර මෙහෙයුම් සිදුකළ ගිරිතලේ හමුදා බුද්ධි අංශ කඳවුරට සීල් තැබුවේ. හමුදා බුද්ධි අංශය ඉස්ලාම් අන්තවාදය ගැන සොයනු ලැබුවේ ගිරිතලේ හමුදා කඳවුර පදනම් කරගෙනයි. එදා ඉතිහාසයේ පළමු වතාවට රහස් පොලීසිය අධිකරණ නියෝගයක් අරගෙන ගිහිල්ලා හමුදා කඳවුරක් සීල් කලා. ලිපිගොනු සියල්ල තමන් භාරයට ගත්තා. ඒ ලිපිගොනුවල සහරාන් පිළිබඳ තොරතුරු තිබුණා. හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරලා නැගෙනහිර පළාත කෙරෙහි තිබූ අවධානය බිංදුවට වැට්ටුවා. ඒ සියල්ල කෙරෙව්වේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයායි. ඥානසාර හාමුදුරුවෝ හිරේට දාන්න කියද්දි මේ රනිල් වික්‍රමසිංහට වේවැල් පාරක්වත් ගහන්න කියලා නැහැ.

‘රනිල් කළ අපරාධ’

ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න වැනි හමුදා බුද්ධි අංශ නිලධාරීන්, නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ කොමදෝරු ඩී.කේ.පී. දසනායක, වැනි නිලධාරීන් හිරේ දමලා ඔවුන් ගර්හාවට ලක් කරද්දි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට පියවර ගනිද්දි පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට සිතෙන්නේ කුමක්ද? රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට නොවෙයි, දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නයි. ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වැනි අයට ද අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බුද්ධි නිලධාරීන් දිවා රාත්‍රී දකින විට රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීමට සිතෙයි ද? කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ කැඳවපු අනුර දිසානායක, පා.ච. රණවක, වික්‍රමබාහු කරුණාරත්න පවා සාමාජිකත්වය දරපු ජාතික විධායක සභාව නම් වූ ජුන්ටාවෙන් මේ රටේ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමට තීන්දු කළා. විරුද්ධ පක්‍ෂවල නායකයන් සිරගත කිරීමට කටයුතු කළා. මේ සියල්ලේ ප්‍රතිඵල ලෙස එතෙක් ජාතික ආරක්‍ෂාව පිළිබඳ තිබූ අමිල අවධානය බිංදුවට බැස්සා. කැබිනට් අනුමැතිය පවා නොමැතිව රටේ ආරක්‍ෂක අංශ පවා දෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුමැතිය ලබා දීමට කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයායි. පූජිත ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන වැනි අය මත පමණක් වරද පැටවීමෙන් වැඩක් වෙනවාද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිරේ දමන්න නිර්දේශ කරද්දී මේ රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට බස්සලා, බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමට මූලික වූ පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහට වේවැල් පාරක්වත් ගහන්න නිර්දේශ නොකර එයාව බේරලා දෙන කොමිෂන් සභා වාර්තාවලින් යුක්තිය ඉටු කරන්න බැහැ.

‘ගොන් විපක්‍ෂයේ ගොන් කතා’

මේ දවස්වල ගොන් විපක්‍ෂය ගොන් කතා කියමින් සිටිනවා. දැන් කියනවා, මේ කොමිෂන් සභා වාර්තාව අසම්පූර්ණ එකක්ලු. මේක අසම්පූර්ණ වාර්තාවක් වෙන්න විදියක් නැහැ. පොත් 87ක් එනම් පිටු 69,770ක් මෙහි තිබෙනවා. මේක සම්පූර්ණද, අසම්පූර්ණද කියන එක නොවෙයි වාදය. එමගින් තමන්ට පැවරුණු වගකීම හරියට ඉටු කළාද, නැද්ද, කියන එකයි ප්‍රශ්න කරනවානම් ප්‍රශ්න කළ යුත්තේ. මේ ගොන් විපක්‍ෂය කියන අලුත්ම ගොන් කතාව තමයි ‘සහරාන්ව හයර් කළේ ගෝඨාභය රාජපක්ෂ’ කියන එක. ඒ දවස්වල මෙයාලා හදපු කතාව තමයි ‘සහරාන්ට බුද්ධි අංශයෙන් පඩි ගෙව්වා’ කියන එක. ඒක පුස්සක් වුණාම දැන් ආයේ බලනවා ‘ඇවන්ගාඩ් සල්ලි වියදම් කළා – ගෝඨාභය සහරාන් මෙහෙයවනු ලැබුවා’ කියන පචය සමාජගත කරන්න. මේ ත්‍රස්ත ක්‍රියාදාමයට මෙවැනි අර්ථකථන දුන්නාම වෙන්නේ මෙහි තිබෙන ඇත්ත බර යටපත් වීම. මේ විදියේ අසත්‍ය මත වැපිරීමෙන් සිදුවන්නේ මේ ත්‍රස්තවාදය පිළිබඳව වන සමාජ කතිකාවත නොමගට යැවීම. එමගින් වාසි සැලසෙන්නේ මේ අන්තවාදී, මිනීමරු මෙහෙයුමටයි. මේ විපක්‍ෂය දැන හෝ නොදැන කරන්නේ ඒ අපරාධය. මේක තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට ‘බිල දමලා’ අතපය සෝදා ගන්න පාවිච්චි කළ යුතු දේශපාලන තුරුම්පුවක් නොවෙයි. මුළුමහත් සමාජයේ විනාශය හෝ පැවැත්ම හා බැඳුණු මේ ත්‍රස්තවාදය හා ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ප්‍රශ්නය පටු දේශපාලන පැවැත්ම වෙනුවෙන් කිසිවිටකත් යොදාගත යුතු නැහැ. මේ ප්‍රශ්නය එහෙම දේශපාලන පාපන්දුවක් බවට පත්කර ගැනීමට ඉඩදිය යුතු නැහැ.

‘හාවඩ් අධ්‍යයන වාර්තාව ’

හාවඩ් විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරපු නවතම අධ්‍යයන වාර්තාවක තියෙනවා ඉස්ලාම් අන්තවාදය ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති අන්දම. යම්කිසි රටක 15%කට වඩා එම අන්තවාදය පැතිරී තිබුණොත් ඒ අන්තවාදීන් එම රාජ්‍යයේ බලය අත්පත්කර ගැනීම දක්වා යන බවයි එහි සඳහන් වන්නේ. මේක රජරට විශ්වවිද්‍යාලයෙන් එළිදක්වා තිබුණානම්, මොඩරේට්, නියෝ-ලිබරල් හා නිරාගමික අයියලා කියාවි ‘අයියෝ මේක ගෝත්‍රික වැඩක්’ කියලා. නමුත් ‘හාවඩ්’ නිසා එහෙම කියන්න එන එකක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා මේ මිනීමරු ක්‍රියාදාමය නිරාවරණය කිරීමට.

‘ජනපතිගෙන් ජාතික ආරක්‍ෂාව සුරැකීමට කැබිනට් පත්‍රිකාවක් ’

පසුගිය පෙබරවාරි 18 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ඉතාමත් හොඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ‘ප්‍රමුඛත්වය මත ක්‍රියාත්මක කළ යුතු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ යෝජනා’ නමින් එය හඳුන්වා තිබෙන්නේ. ‘යෝජනාව: පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ප්‍රහාරයක් යළි ඇති නොවීම පිණිස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අතුරින් ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඇමුණුම ‘ආ’ හි දැක්වේ’ යනුවෙන් එය ඇරඹෙනවා. ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම’ යනුවෙන් ‘ඇමුණුම ආ’ ඇරඹෙනවා.

‘අනන්‍යතාව හඳුනාගත නොහැකි මුහුණු ආවරණ භාවිතය, ආරක්‍ෂාවට තර්ජනයක් වීම වැළැක්වීම, ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික මුස්ලිම් පල්ලිවලට අමතරව විවිධ අන්තවාදී පල්ලි ඉදිකිරීම තහනම් කිරීම, ආගමික අන්තවාදයට උදව් කරන විදේශ සංවිධාන හරහා ලැබෙන අරමුදල් යොදවා අන්තවාදය පතුරන මුස්ලිම් පල්ලි ප්‍රවර්ධනය වැළැක්වීම සහ අවශ්‍ය සාම්ප්‍රදායික පල්ලි ප්‍රමාණය පවත්වාගෙන යාම නියාමනය, මුස්ලිම් ජනතාව ප්‍රධාන සමාජ ධාරාවෙන් වෙන් කිරීමට අන්තවාදී කොටස් දරන උත්සාහයන් ව්‍යර්ථ කිරීම සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන් සමඟ අන්තවාදී කණ්ඩායම් මුහු කිරීම, ඉස්ලාම් අන්තවාදී ආගමික ඉගැන්වීම් පිටු දැකීම, ළමුන්ගේ මනස අන්තවාදයට යොමු කිරීම වැළැක්වීම හා ළමා කාලය ප්‍රීතිමත්ව හා අන්‍ය ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත්වීමට ශ්‍රී ලාංකික දරුවන්ට ඉගැන්වීම, අන්තවාදීන් විසින් සයිබර් අවකාශයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය භාවිතයෙන් අන්තවාදය ප්‍රවර්ධනය කිරීම, සාමාජිකයන් බඳවා ගැනීම, ප්‍රහාර සැළසුම් කිරීම හා අරමුදල් රැස් කිරීම වැනි ක්‍රියාකාරකම් වැළැක්වීම හා එයට අවශ්‍ය වන පරිගණක සාක්ෂරතාව කුඩා කල පටන් දරුවන් වෙත ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි විවිධ විදේශ රාජ්‍යයන්හි අතකොලු ලෙස එම අරමුදල් මත ක්‍රියාකරන විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී සිදුකරන අන්තවාදී හා රාජ්‍ය විරෝධී ක්‍රියා වැළැක්වීම, රාජ්‍ය නොවන සංවිධානවල කර්තව්‍යයන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු ඉක්මවා ඒවා ක්‍රියාත්මක නොවන බව තහවුරු කිරීම, සාවද්‍ය තොරතුරු ජනගත කර ජාතීන් අතර අසමගිය අවුලුවා අන්තවාදීන්ට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට එරෙහිව ක්‍රියාකිරීමට නොහැකි පරිසරය සැකසීම, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ විනිවිදභාවය පවත්වා ගැනීම’ යනුවෙන් වන බොහොම බලවත් යෝජනා ගණනාවක් එහි අන්තර්ගත වෙනවා.

එහි අවසානයේ සඳහන් වෙනවා ‘පහත දැක්වෙන කරුණු සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමි. ජේද අංක 2.0හි යෝජනා කර ඇති පරිදි ඒ ඒ අමාත්‍යාංශ වෙතින් ක්‍රියාත්මක කිරීමට ඇති නිර්දේශයන් අදාළ අමාත්‍යාංශ වෙතින් ක්‍රියාත්මක කරවීම. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඒවාට පසුබිම් වූ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ සඳහන් අනුශාංගික කරුණු ද සුදුසු පරිදි යොදා ගැනීම’ යනුවෙන්. මේක ඉතාමත් හොඳ කැබිනට් පත්‍රිකාවක්. මේ තිබෙන්නේ මලිත් ජයතිලක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සභාපතිත්වයය දැරූ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව.(සභාවට පෙන්වයි) මේ විදියේ හොඳ පියවර ගනිමින් තිබෙනවා. නමුත් ඒ විතරක් මදි.

‘ජාතියේ හිස කඳෙන් වෙන් කිරීම’

මේ මෘග ප්‍රහාරය පිටුපස වන අන්තවාදී අනතුර මුලිනුපුටා දමන තෙක් 69 ලක්‍ෂයක ජනවරමක් ලත් අපට ඒ වගකීමෙන් පලා යන්න බැහැ. නොපෙනුණාට ජාතියේ හිස, කඳෙන් වෙන් කිරීම සඳහා කඩුව ළඟ තියාගෙනයි ඉන්නේ. කඩු 6000ක් ගෙන ඒම පිළිබඳ අපරාධ විමර්ශන කොට්ඨාසය සොයා බැලුවාම ඒ පිළිබඳ කිසිදු ලියවිල්ලක්වත් නැතිලු. ඉස්ලාම් අන්තවාදය මූල්‍යමය වශයෙන් බලවත් නිසා මිලදී ගන්නා බැරි කෙනෙක් නැහැ. කඩු 6000ක් ගෙනවිත් තිබෙන්නේ කෘෂිකාර්මික උපකරණ ලෙසයි. ඇහුවාම කියන්නේ පල්ලිවල තණකොල කපන්න ගෙන ආ බවයි. ඉන් තවමත් සොයාගෙන ඇත්තේ 600යි. ඉතිරි ප්‍රමාණය ගැන හෝඩුවාවක් හෝ නැහැ. තණකොල කැපීමට නොවෙයි ප්‍රතික්‍රියාවක් ඇතිවුවහොත් බෙල්ල කැපීමටයි ඒවා ගෙනවිත් ඇත්තේ. ඒ නිසා මේ මෘග ව්‍යාපෘතිය නැත්තටම නැති කළ යුතුයි. අපි කවර ආණ්ඩුවක හිටියත්, නැතත් මේ අන්තවාදය සැබෑ ලෙසම පරාජයට පත් කිරීම සඳහා ක්‍රියා කිරීමේ පාරිශූද්ධ වගකීමෙන් අත්මිදෙන්නට බැහැ. ඒ වගකීමෙන් අපි අත්මිදෙනවා කියන්නේ, ‘අනාගතයේ බෙල්ල කැපෙන දිනය සඳහා ආරාධනා පත්‍රය පිළියෙල කරනවා’ කියන එකයි.

‘ආයතනගත අන්තවාදය’

අන්තවාදය උගන්වන්නේ ඥානසාර හිමියන්ගේ පන්සල ඇතුළේ නොවෙයි මද්‍රසා පාසල් ඇතුළෙයි. කොඩාවි නැමති ත්‍රස්තවාදියාගේ දර්ශනය තිබෙන්නේ පන්සලේ දහම් පාසල් පොත ඇතුළේ නොවෙයි. මුස්ලිම් පාසල් පෙළ පොත සහ ගුරු අත්පොත ඇතුළේ. ඒ නිසා ‘බෞද්ධ මුවහමට තඩිබාලා’ මේ මිනීමරු අන්තවාදය සාධාරණීකරණය කළ යුතු නැහැ. නිකම් හුරතල් වෙවී ඉඳලා හරි යන්නේ නැහැ. මේ අන්තවාදය ආයතනගත වෙලා නම් එය එකී ආයතනත් සමඟම පොඩිපට්ටම් කළ යුතුයි.

‘අන්තවාදය පැරදවීම’

මේක කිතුණු බැතිමතුන්ගේ ප්‍රශ්නයක් නොවෙයි, ප්‍රහාරය කඩිනම් කිරීමට සහරාන්ට උපදෙස් ලැබුණු නිසයි කිතුණු දේවස්ථාන තෝරාගනු ලැබුවේ. නමුත් පොහොය දිනයේදී පන්සල, දළදා පෙරහැර මේ මෘග ව්‍යාපෘතිය යටතේ ස්වයංඝාතක බෝම්බ පිපිරෙන තැන් බවට පත්වීමට ඉඩ තිබුණා. මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව, රට සහ රටේ අනාගතය යන මේ සියල්ල බේරා ගැනීමට නම් පටු බෙදීම් රේඛා අතහැර මේ අන්තවාදී ආක්‍රමණය, අන්තවාදී ව්‍යාප්තවාදය, ආයතනගත අන්තවාදය පරාජයට පත් කිරීම සඳහා සියලුදෙනාම එකට පෙළගැසිය යුතුයි. රජයක් විසින් මෙය ඉටුකර දේවි කියා බලා නොසිට රජයක් විසින් මෙය ඉටුකරන තැනට අවශ්‍ය බලපෑම අපි නිර්මාණය කර දිය යුතුයි.

‘අනතුර තවමත් ජීවමානයි’

සහරාන්ලාගේ ක්‍රියාවට, ප්‍රතික්‍රියාවත් එකතු වුණානම් විදෙස් හමුදා කඩාවැදීම කියන තැන දක්වා මේ කතාව දිගේලි වෙනවා. අනතුර තවමත් ජීවමානයි. රිෂාඩ් බදියුදීන්ලා මේ අන්තවාදය පිටුපස ඉඳිමින් අන්තවාදීන් රැක්ක විදිය අධිකරණය හමුවේ ඔප්පු වන දිනය දක්වා, හකීම්ලා, අසාත් සාලිලා වැනි ඒ අන්තවාදය රකින පිසාචයන් ඊට වන්දි ගෙවන දිනය දක්වා, අපි අපේ ක්‍රියාන්විතය පෙරට ගෙන යා යුතුයි. පාස්කු ඉරිදා ප්‍රහාරය කියන්නේ හුදකලා සිදුවීමක් නොවෙයි. ඉස්ලාම් අන්තවාදයේ බිහිසුණු ප්‍රකාශනයක්. ත්‍රස්තවාදී ප්‍රකාශනයකින් තොරවත් ඉස්ලාම් අන්තවාදය වැජඹෙනවා. එය විවිධ ස්වරූපයෙන් ව්‍යාප්ත වෙනවා. ව්‍යාප්ත වෙන සෑම ස්වරූපයකින්ම එය වැළැක්විය යුතුයි. එවිටයි ඉස්ලාම් අන්තවාදය, ත්‍රස්තවාදයේ ස්වරූපයෙන් එළියට ඒම නතර වෙන්නේ. එතැනට අපේ පාලනතන්ත්‍රය පොළඹවාලීම, එතැනට අපේ නීතිය ක්‍රියාත්මක කරන බලාධිකාරයන් මෙහෙයවාලීම, දැනුවත් ප්‍රගතිශිලී බලවේග ලෙස අපේ වගකීමක්. ඒ සඳහා වන ගාමක බලවේග ලෙස පරිවර්තනය වෙමු, කියන ඉල්ලීම කරන ගමන් මිනීමරු ඉස්ලාම් අන්තවාදයට පරාජයත් ජාතික සමගියට ජයග්‍රහණයත් ප්‍රාර්ථනා කරමින් දේශනය අවසන් කරනවා”

මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කිරම විමලජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ රැසක් ද සහභාගී වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න, මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

No comments

Ads Place