Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඥානසාර හිමියන්ට බුද්ධි අංශයේ උපදේශක තනතුරක් ?

  කල යුත්තේ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට නඩු පැවරීම නොව බුද්ධි අංශ වල ප්‍රධාන උපදේශකයෙක් බවට උන්වහන්සේ පත්කරගැනීම යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ ...

 


කල යුත්තේ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට නඩු පැවරීම නොව බුද්ධි අංශ වල ප්‍රධාන උපදේශකයෙක් බවට උන්වහන්සේ පත්කරගැනීම යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය හා එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

රිෂාඩ් ට පිළිතුරක්

මම කැමතියි විවාදය ආරම්භ කරන්න මේ සභාවේ ප්‍රශ්නයක් නගපු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමාට පිළිතුරු දෙමින්. එතුමා ප්‍රශ්න කරනවා ජමියතුල්ලා උලමා සංවිධානය වහාබ් වාදීන් විසින් නතු කරගත් සංවිධානයක් කියලා මේ වාර්තාවේ කොතනකවත් නැහැ. එහෙම තියනවනම් තියෙන්නේ කොතැනදැයි පෙන්වන්න කියලා අතුරලියේ රතන ස්වාමීන්වහන්සේට අභියෝග කළා. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා මෙම වාර්තාව කියවා නැති බවයි සභාවේ එවැනි අභියෝගයක් කිරීමෙන් පෙනී යන්නේ. මුළු වාර්තාව නම් ටිකක් ලොකුයි. කියවගන්නත් වෙලාව නැතිවුණායි කියමු. එහෙත් වැඩිය ඈතක නෙමෙයි මේක තියෙන්නෙ. 44 වෙනි පිටුවේ. ඔබතුමාගේ පහසුවතකා මම කියන්නම්.

1991 දී සමස්ත ලංකා ජමෙයිතුල් උලමා හි සභාපති මව්ලානා මවුලවි අබ්දුල් සමත් අලින් විසින් ලිපියක් ලිවීමෙන් ඉල්ලා අස්විය. එහිදී ඔහු සඳහන් කළේ වහාබ් විශාරදඉන් සමස්ත ලංකා ජයමිතුල්ලා උලමා බාරගෙන ඇති බවත් ඔවුන් සමඟ සටන් කිරීමට තරම් වයස නොමැති බවත්, ඉල්ලා අස්වන බවත්, සාක්ෂි ලෙස මෙම ලිපියේ පිටපතක් පරීක්ෂණ කොමිසන් සභාවට ඉදිරිපත් කරන ලදී. මේ මම නෙවෙයි කියන්නේ. කොමිසම නෙවෙයි කියන්නේ. උලමාවරුන්ගේ සංවිධානයේ සභාපතිවරයා තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියෙන් කියන්නේ. ජමෙයිතුල්ලා උලමා සංවිධානය සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගෙන් උදුරාගත් අවස්ථාවේ එහි සභාපති වරයා ඉල්ලා අස්වෙන්නේ තමන්ට සටන් කිරීමට වේලාව නොමැති බව සඳහන් කරමින්.

ජනාධිපති කොමිෂන් සභාවක් කුමකට ද?

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව මටත් විවේචනයක් ඉදිරිපත් කිරීමට තියෙනවා. නමුත් එම විවේචන ඉදිරිපත් කිරීමට පෙර කොමිෂන් සභාවක සීමිතතාවන් මොනවාදැයි අප හඳුනා ගන්නට ඕන. නැත්නම් රැල්ලට ගිහිල්ලා අපටත් බැට දීගෙන යන්න පුලුවන්. කොමිෂන් සභාවක් පත් කරද්දී ජනාධිපතිතුමන් නිශ්චිත කාලසීමාවක් දෙනවා මෙන්න මේ දිනයට පෙර තමන්ට වාර්තාව ලබාදිය යුතු බවට. නමුත් පොලිස් විමර්ශනයකට නිශ්චිත කාල සීමාවක් නැහැ. අහවල් දිනයට කලින් විමර්ශනය අවසන් කරලා අහවල් දිනයට කලින් වාර්තාව දිය යුතුයි කියලා පීඩනයක් පොලිසියට නැහැ. ඒවගේම පොලිසියට නම්‍යශීලීව වැඩ කරන්න පුළුවන්. වෙස් වලාගෙන ගිහිල්ලා තොරතුරු හොයන්නට පුළුවන්. ලුහු බැඳගෙන ගිහිල්ලා තොරතුරු හොයන්නට පුළුවන්. නමුත් ජනාධිපති කොමිසමක ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට වෙස් වලා ගෙන යන්නට බැහැ. සැකකරුවන් පස්සේ ලුහු බැඳගෙන යන්නත් බැහැ. ඒ නිසා කොමිෂන් සභාවකට සීමිතතා තියනවා.

එහෙම නම් ඇයි කොමිෂන් සභා පත් කරන්නේ. පොලිස් පරීක්ෂණ සිදු වෙනවා. නමුත් යමක පරීක්ෂණ නිසි ලෙස සිදු නොවේවි යැයි, යම් කරුණු යටපත් කරාවි යැයි, රටේ ජනතාවට සැකයක් පවතීනම් අන්න ඒ වෙලාවට ජනාධිපති කොමිසමක් පත් කරනවා. මන්ද පොලිසියක වාර්තාවක් ලියැවෙන්නේ පෞද්ගලිකව. ඉහළින් බලපෑම් එන්නට පුළුවන් මෙන්න මේ ටික ලියන්න එපා කියලා. අල්ලස් අරගෙන යම් දේවල් යටපත් කළා යැයි පොලිස් නිලධාරීන්ට චෝදනා එන්නත් පුළුවන්. ජනාධිපති කොමිෂන් සභාවක් කටයුතු කරන්නේ ජනතාව ඉදිරියේ මාධ්‍ය ඉදිරියේ. රටට හොරෙන් එතැන කිසිවක් සිදු වන්නට බැහැ. අන්න ඒ නිසයි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නේ.

අමාත්‍ය අනුකමිටුව කුමකට ද?

කොමිෂන් සභාවේ නිර්දේශ ගැන අපි කතා කරමු. නිර්දේශ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනපතිතුමන්ට සහ අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා ජනාධිපතිතුමන් අමාත්‍ය අනුකමිටුව පත්කළා. අනු කමිටුව පිළිබඳව ද ලොකු විවේචනයක් ආවා. විනිසුරුවරුන්ගේ තීන්දු තීරණ අධ්‍යයනය කර සමාලෝචනය කිරීමට මන්ත්‍රීවරුන්ට පුළුවන් ද කියන ප්‍රශ්නය පැන නැගුණා.

අප එතන විනිසුරුවන්ගේ නිර්දේශයන් දිහා බලන්නේ නැහැ. මෙහි නිර්දේශ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තියෙන්නේ නීතිපතිතුමාට. ඒවාට රජය ඇඟිලි ගහන්නේ නැහැ. නීතිපතිතුමා තමයි තීරණය කරන්නේ කාටද නඩු දාන්නේ මොන චෝදනාව මත ද නඩු දාන්නේ කියන එක. ඒකට ආණ්ඩුවේ කිසිම ඇඟිලි ගැසීමක් සිදු වන්නේ නෑ. මෙහි විශාල නිර්දේශ තොගයක් ඉදිරිපත් කරල තියෙන්නෙ ආණ්ඩුවටයි. මේ නිර්දේශ ප්‍රායෝගිකව කළ හැකිද නැද්ද ? කරනවානම් එය කෙසේ කළ යුතුද ? උදාහරණයක් මම කියන්නම්. මෙහි එක් නිර්දේශයක් තියෙනවා ශ්‍රී ලංකාවේ සෑම පාසලකම ශිෂ්‍ය ගහනය ජාතික ආගමික අනුපාතය පවත්වා ගත යුතුය කියලා. සාමාන්‍ය විදිහට කියනවා නම් සෑම පාසලකම බෞද්ධයන් සියයට හැත්තෑවක් ඉස්ලාම් භක්තික ශිෂ්‍යයන් සියයට දහයක් යනාදි වශයෙන් සිටිය යුතුය. බැලු බැල්මට හොඳයි. නමුත් නමුත් ප්‍රායෝගිකව කළ හැකිද ? මොණරාගල සියයට සියයක් බෞද්ධයන් සිටින ගම්මානයක් අසල තියෙන විද්‍යාලයක බෞද්ධ ප්‍රතිශතය සියයට 70 දක්වා අඩු කළොත් ඉතිරි සියයට 30 ට එන්න ළමයින් ඉන්නවද ? පේදුරුතුඩුවේ හාඩ්ලි විද්‍යාලයේ සියයට හැත්තෑවක් බෞද්ධ ළමයින් දාන්න පුලුවන්ද ? සියයට හැත්තෑවක් නෙමෙයි සීයට එකක් වත් බැහැ. මේ නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ද යන්න තේරුම් ගත හැක්කේ සමාජය ගැන දේශපාලනය ගැන අවබෝධය තියෙන ජනතාව තෝරගත්ත ජනතා නියෝජිතයින්ටයි. අන්න ඒ නිර්දේශ දෙස බලන්නයි ජනපතිතුමන් කමිටුවක් පත්කලේ.

ඒ වගේම යෝජනා කරලා තියෙනවා ආගමික ප්‍රකාශ නියාමනය කලයුතු බවට. එය කරන්නේ කොහොමද ? රෙගුලාසි ගේනවද ? නැතිනම් ග්‍රන්ථ ප්‍රකාශන නියාමන කොමිසමක් පත් කරනවා ද? මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල මේක කරන්නේ කොහොමද කියන එක අනිවාර්යයෙන්ම රජය අධ්‍යනය කළ යුතුයි. අමාත්‍ය අනුකමිටුව විසින් සිදු කරන්නේ මෙන්න මෙවැනි කාරණායි. නඩු පැවරීම සම්බන්ධයෙන් කිසිදු ඇඟිලි ගැසීමක් මෙම අණු කමිටුවෙන් සිදුවන්නේ නැහැ.

කළු වතින් ද ? නිරුවතින් ද ?

ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය ඉරිදා කළු ඇඳගෙන උද්ඝෝෂණ කරනවා අපි දැක්කා. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු කියලා. මට පොඩි සැකයක් ඇතිවුනා කළු වතින් ද නිරුවතින් ද මේගොල්ලෝ ඉන්නේ කියලා. වාර්තාව කියෙව්වනම් ඒගොල්ලො යන්නේ නැහැ. වාර්තාව නොකියවා ගිය එක තමයි ප්‍රශ්නය. මේ වාර්තාවේ 308 වැනි පිටුවේ කියනවා සාක්ෂි සලකා බැලීමේදී අග්‍රාමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත් වීමට එක් ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි. ඉස්ලාම් අන්තවාදය පාස්කු ප්‍රහාරය දක්වා ගොඩනැගීමට මෙය පහසුකම් සැපයීය. එහෙමනම් පසුගිය ආණ්ඩුව අපි 2018 අප්‍රේල් මාසයේ ඉවත්කරන්නට හදද්දි මෙතුමන්ලා විශ්වාසය පළ කරලා ඔබ මට විස්වාසයි කියලා රැකගත්ත අගමැතිතුමා ඉස්ලාම් අන්තවාදය පිළිබඳ දැක්වූ ලිහිල් ප්‍රතිපත්තිය තුළින් මේ බෝම්බය පිපිරීම දක්වා ඉදිරියට ගියා කියලා කොමිෂන් සභා වාර්තාව විශාල සාක්ෂි පරාසයක් තුල කරුණු ගෙන හැර දක්වමින් ප්‍රකාශ කරනවා.

එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රැකගැනීමට එසවුණු අත් වලට පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු කියන පුවරුව ඔසවා ගැනීමට සදාචාරාත්මක අයිතියක් නෑ.

ඉස්ලාම් අන්තවාදය පිළිබඳ විමර්ශනය කළේ ජනාධිපතිතුමන් යටතේ තියන යුද හමුදාව නෙවෙයි. විමර්ශනය කළේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් යටතේ පැවති පොලිසියේ තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයයි. රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමන් පිළිගත්තා තමන්ගේ කාලේ සහරාන් පිළිබඳව තොරතුරු ලැබුණු බව. ත්‍රස්ත විමර්ශන ඒකකය ඒ පිළිබඳව විමර්ශන භාරව හිටිය බව. එහෙමනම් සහරාන්ගේ බෝම්බය පත්තු වීමට ආරක්ෂාව බාරව සිටි අමාත්‍යවරුන්ට වඩා නීතිය හා සාමය භාරව සිටි අමාත්‍යවරුන් වගකීම භාරගත යුතු බව අප සිහිපත් කරන්නට අවශ්‍යයි.

ඥානසාර හිමියන්ට බුද්ධි අංශවල ඉහල තනතුරක් ?

මේ වාර්තාවේ තියෙන ලොකුම විහිළුව තමයි හරිනම් සාපරාධී නඩු පැවරිය යුත්තේ එජාපයේ සිටින සියලුම අමාත්‍යවරුන්ට. මොකද එය සාපරාධී නොසැලකිල්ල. යමක් සිදුවිය හැකි බව දනිමින් එය සිදුවීමට ඉඩ හැරීම තමයි අපරාධ විද්‍යාවේ සාපරාධී නොසැලකිල්ල ලෙසින් සලකන්නේ. නමුත් නඩු පවරන්න කියලා තියෙන්නේ ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ 1995 දී ජාතික සංඝ සභාව 1998 ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ආදී ව්‍යාපාර හරහා වසර 25 කටත් අධික කාලයක් ත්‍රස්තවාදයට එරෙහිව, අන්තවාදයට එරෙහිව සටන් කළ ස්වාමීන් වහන්සේනමක්. උන් වහන්සේව ඉතාම සමීපව ඇසුරු කර පුද්ගලයෙක් විදිහට මා පෞද්ගලිකවම දන්නවා ඉස්ලාම් අන්තවාදය පිළිබඳ උන්වහන්සේ අනතුරු අඟවන්නට පටන් ගත්තේ 2011 තරම්ම ඈත කාලෙක. ඉස්ලාම් අන්තවාදීන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ තිබෙන බව උන්වහන්සේ රටට හෙළි කළේ 2016 තරම් ඈත කාලයක. එහෙම නම් මේ ත්‍රස්තවාදයේ අලගිය මුලගිය තැන් ප්‍රකාශ කරපු උන්වහන්සේට එරෙහිව නඩු පවරනවා නම් එයින් සිද්ධ වන්නේ අනාගතයේදී ත්‍රස්තවාදය ගැන තොරතුරු සොයා ගන්නා පුද්ගලයන්ට කට වහගෙන හිටපන් කියන පණිවුඩය ලබා දීම නොවේ දැයි කියන එක අපට ප්‍රශ්න කරන්නට සිදු වෙනවා. මම හිතන්නේ අපේ බුද්ධි අංශ කළ යුත්තේ උන්වහන්සේට නඩු පැවරීම නොව බුද්ධි අංශ වල ප්‍රධාන උපදේශකයෙක් බවට උන්වහන්සේ පත්කර ගැනීමයි කියන එක අප යෝජනා කරනවා.

සලේ මොකද කලේ

ඒවගේම මම දැක්කා විපක්ෂ මන්ත්‍රීවරුන් මේ දවස පුරාම කියනවා මේජර් ජනරාල් සුරේෂ් සලේ තමයි සහරාන්ට පඩි ගෙව්වේ කියලා. මේ සභාවේ වරප්‍රසාද වලට මුවා වෙලා ශ්‍රී ලංකාව බිහිකළ කීර්තිමත්ම හමුදා බුද්ධි අංශ නිලධාරියාට අවලාද නගලා ඔහුව නිහඬ කරන්න ඔහු අක්‍රීය කරන්න කටයුතු කරන්න එපා කියලා අපි තමුන්නාන්සේලාට කියනවා. කොටි ත්‍රස්තවාදයට එරෙහිව අමිල සේවාවක් කළ සුරේෂ් සලේ හමුදා නිලධාරියා නිහඩ කිරීමට හදන්නේ ඉස්ලාම් අන්තවාදය රැකගැනීමට දැයි කියන ප්‍රශ්නය අද අපට විපක්ෂයෙන් අහන්නට වෙනවා. සුරේෂ් සලේ මැතිතුමන් ඉස්ලාම් අන්තවාදයට, සහරාන්ට පඩි ගෙව්වා නම් සහරාන්ව පෝෂණය කළා නම් මේ සභාවෙන් පිට ඕවා කියන්නේ නැත්තේ ඇයි ? ඇයි පොලිසියට පැමිණිලි කරන්නේ නැත්තේ. ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ මේ පිළිබඳව කරුණු දැක්වූයේ නැත්තේ ඇයි ? අද මේ විවාදය තුල කතාකරන විපක්ෂයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමන්ලා එම කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන්නා. ඉතිං කියන්න තිබ්බනේ සුරේෂ් සලේ තමයි සහරාන්ව පෝෂණය කළේ කියලා. එහෙම නොකියා මේ සභාව තුල ලැබෙන වරප්‍රසාද පාවිච්චි කරලා මේ රට රකින විරුවන්ට අවලාද නගන්න එපා යැයි මම විපක්ෂයට කියනවා.

මිලේනියම් සිටි මහා පාවාදීම යලි සිදු කල යුතු ද ?

ඒ වගේම කියනවා මේ සමහර වෙලුම් දීලා නැහැ කියලා. ඒ නිසා නඩු දාන්න බැහැ කියලා මන්ත්‍රීකෙනෙක් ප්‍රකාශ කළා. අපි නීතිපතිතුමන්ට වෙළුම් ලබා දීලා තියෙනවා. බුද්ධි අංශ ඇවිල්ලා සාක්ෂි දීලා කිව්වා අපේ ආයතනයේ ව්‍යුහය මේකයි, අපට තොරතුරු ලබා දෙන්නේ මේ වගේ අයයි, තොරතුරු අප සම්පිණ්ඩණය කරන්නේ මේ ආකාරයටයි, තොරතුරු සනාථ කර ගනුයේ මේ ආකාරයටයි යනාදී වශයෙන්. මේ තොරතුරු හෙළි කරලා තමුන්නාන්සේලා ඉල්ලන්නේ තමුන්නාන්සේලා 2001 දී සිදුකළ මිලේනියම් සිටි මහා පාවාදීම යලි සිදු කරන්න කියලද ? අපේ බුද්ධි අංශ හෙළිදරව් කරන්න කියලද ? මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන නඩු දමන්න බැහැ. ඒක තමුන්නාන්සේලා නීතිය නොදැන කියන කතාවක්. නඩු දමන්නේ පොලිස් විමර්ශන පදනම් කරගෙනයි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරද්දී යම් වැරදි කරුවෙකු පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට නීතිපතිතුමාට අවශ්‍ය නම් මෙම සංවේදී තොරතුරු එතුමන්ට ලබා දෙනවා. කාන්තාවන් ඉන්නවා රහසේ ඇවිල්ලා තමන්ගේ අනන්‍යතාවය හෙලි නොකර තමන්ගේ සැමියා ගැන තොරතුරු දුන්නා. තවත් මුස්ලිම් සමාජයේ සාමාජිකයෝ තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන තමගේ පරිසරයේ තියෙන මුස්ලිම් අන්තවාදය පිළිබඳ තොරතුරු දුන්නා. ඒ අය තොරතුරු බයක් සැකක් නැතුව ඉදිරිපත් කළේ තමන්ගේ ජීවිතයට අනතුරක් නොවේවි කියන විශ්වාසය ඇතිවයි. අපි ඒ විශ්වාසය කැඩුවොත් මුස්ලිම් අන්තවාදය පිලිබඳ තොරතුරු මේ රටේ ගලා ඒම නවතිනවා. සහරාන්ලාගේ ගේ දෙවැනි ප්‍රහාරය එල්ල වන තුරු අපට තොරතුරු නොලැබීමට ද ඉඩ තියෙනවා. අන්න එතෙන්ට මේ රට තල්ලු කරන්න එපා යැයි අප විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා.

රිෂාඩ් අපි වෙන දවසක හමුවෙමු

නඩු දාන්නෙ නැත්තේ ඇයි ? සාධාරණය ඉටුකරනු ආදී ලෙස අපෙන් ඉල්ලීම් කරනවා. 731 දෙනෙකු අත්අඩංගුවට අරගත්තා. ඉන් ප්‍රකාශ අරගෙන අන් අය නිදහස් කරලා 291ක් කෙනෙකු අත්අඩංගුවේ ඉන්නවා. අනිවාර්යෙන්ම නඩු දානවා මේ අයට. නඩු දැමීම ප්‍රමාද වූයේ ජනාධිපති කොමිසන් සභා වාර්තාවෙන් තවත් එකතු කළ යුතු දෙයක් තිබේ දැයි දැන ගැනීමට පොලීසියට අවශ්‍ය වූ නිසයි. දැන් එම වාර්තාව ලැබිලයි තියෙන්නේ. ඒ නිසා නුදුරු අනාගතයේම මේ 291 දෙනාට නඩු දමලා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට යුක්තිය ඉටු කරන බව ප්‍රකාශකරනවා. මට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ගැන ගොඩක් දේවල් කියන්න තිබුනත් කාලය අවසන් නිසා වෙන දවසක හමුවෙමු කියමින් මා මගේ කතාව අවසන් කරනවා.

No comments

Ads Place