Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දම්වැල් දමා දෙපා බැඳ ළමුන්ට පහර දෙන ඉස්ලාමීය පාසැල්

  මට අහමඩ් හමුවුණේ ඔහු කාමරයක තනිකොට පා විලංගු දමා සිටියදී ය. පහර කෑමට ලක්වීමෙන් ඇතිවූ කැළැල් ඔහුගේ සිරුර පුරා පැවතුණි. තමන්ගේ වයස ඔහු නොදනී...

 


මට අහමඩ් හමුවුණේ ඔහු කාමරයක තනිකොට පා විලංගු දමා සිටියදී ය. පහර කෑමට ලක්වීමෙන් ඇතිවූ කැළැල් ඔහුගේ සිරුර පුරා පැවතුණි.


තමන්ගේ වයස ඔහු නොදනී. නමුත් පෙනුමෙන් වයස අවුරුදු 10ක් පමණ වෙතැයි සිතිය හැකිය.


ඔහු මට හමුවුණේ සුඩානයේ ඉස්ලාමීය පාසලක් තුළ සිටියදී ය. මෙම පාසල් එරට ජනතාව හඳුන්වන්නේ ‘ඛල්වා’ නමිනි.


මම වෙස්වලාගෙන මෙම පාසලට ඇතුළු වුනෙමි. එහි සිදුවන දෑ වසර දෙකක් පුරා වීඩියෝගත කළෙමි. එම රාජකාරිය ඇරඹුණේ 2018 වසරේ මුල් භාගයේදී ය.


ළමුන් බොහෝ දෙනෙකු මගේ කැමරාවට හසු විය. ඇතැම් ළමුන් පස් හැවිරිදි විය. ඔවුහු ද තදින් පහර කෑමට ලක්වී සිටියහ. විලංගු ලා සිටියහ. කෑමට යමක් හෝ බීමට වතුර බිඳක් නොමැතිව සිර කර සිටියහ. මේ සියලු දඬුවම් ලබා දෙනු ලබන්නේ එම පාසලේ සිටින ප්‍රධාන ශාස්ත්‍රධරයා හෝ ඉස්ලාම් ආගමික ගුරුවරුන් විසිනි.


අපගේ කැමරාවට නොගත් ළමුන් කීප දෙනෙකුම අප හා පැවසුවේ ඔවුන් ලිංගික දූෂණයට හා ලිංගික අතවර වලට ලක්වූ බවය.


සුඩාන රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙවැනි ඛල්වා පාසල් 30,000ක් පමණ රට පුරා පවතී. මෙම පාසල් පවත්වාගෙන යනු ලබන්නේ සුඩාන රජයෙන් සහ ලොව පුරා දානපතියන්ගෙන් ලැබෙන මුදල්වලිනි.


මෙහි ඉගෙනුම ලබන ළමුන් කුරානය කටපාඩම් කළ යුතුය. දෙමාපියන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරෙන බැවින් ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයට යොමු කිරීම සඳහා වත්කමක් නොමැති පිරිසට ‘ඛල්වා’ විකල්පයකි. ඈත පිටිසර ගම්මාන ආශ්‍රිතව රජයේ පාසල් නොමැත.


ඛල්වාස් හි සිසුන් ඉගෙනුම ලබන්නේ පාසැල තුළම නවාතැන් ගෙනය. නිවෙස් බලා යන්නේ නිවාඩු සමයට පමණි.


පරම්පරා කීපයක් තිස්සේ පවත්වාගෙන ආ මෙවැනි පාසල් දෙස සුඩානයේ බොහෝ දෙනා බලන්නේ එරට සංස්කෘතියේ ප්‍රධාන ප්‍රභවයක් ලෙසිනි; ජාතික අනන්‍යතාවයේ කොටසක් ලෙසිනි.


නමුත් මෙම සිසුන්ට පාසැල තුළ දී පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පට මෑත කාලය ඇතුළත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සැරිසරන්නට විය. එමෙන්ම, මෙම පාසල් තුළ ගුරුවරුන් ලෙස කටයුතු කරන ඉස්ලාමීය පුජකවරුන් විසින් ළමුන් ලිංගිකව දුෂණය කරනු ලබන බවට චෝදනා කරමින් බොහෝ කතා පළ විය.


සමාජ මාධ්‍ය මත සැරිසරන මේ සියල්ල පිළිබඳව සුඩානයේ ආණ්ඩුව සොයා බැලුවේ නැත; මාධ්‍ය ඇහැ කන පියාගෙන සිටියෝය. මානව හිමිකම් වෙනුවෙන් පවතින සංවිධාන තැකීමක් නොකළෝය.


මෙම ඛල්වා තුළ ළමා අතවර, හිරිහැර කෙතරම් පුළුල්ව ව්‍යාප්තවී ඇත්දැයි හෙළිදරව් කිරීමට මට අවශ්‍ය විය; තමන්ගේ අනුවේදනීය කතාව ලොවට කියන්නට අවස්ථාවක් නොලද මේ ළමුන්ට හඬක් දෙන්නට මට අවැසි විය.


එමෙන්ම, ළමා කාලයේ දී ඛල්වා පාසලක ඉගෙනුම ලබද්දී මා ලැබූ අත්දැකීම් ද රාශියකි. ගුරුවරුන්ගෙන් එක් දිනක් හෝ පහරක් නොකා සිටීමට නම් දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු විය.


මෙම රාජකාරිය වෙනුවෙන් මට මිතුරන්ගෙන් වෙන්වීමට සිදුවන බව මම දැන සිටියෙමි. පවුලෙන් ඈත් වීමට සිදුවන බව දැන සිටියෙමි. නමුත් මෙය ලොවට කිව යුතු කතාවක් විය.


“රටේ ආගමික පාසල්වලට පහර ගැසීම සඳහා බටහිර කුමන්ත්‍රණයක හවුල්කරුවෙකු” ලෙසින් පසු කලෙක දී ඇතැමුන් විසින් මා හංවඩු ගසනු ලබන බව ඉඳුරාම දැන සිටි නමුදු මෙය ලොවට හඬගා කිව යුතුව ම තිබූ කතාවක් ලෙස මම දුටිමි.


බීබීසීය සමඟ සම්බන්ධ වන මොහොත වනවිටත්, මාස කීපයක් තිස්සේ බොහෝ දේ වීඩියෝගත කර හමාරව තිබුණි. බොහෝ අපයෝජන සිදුවන බව මා අසා තිබුණු Haj el-Daly නමැති ඛල්වා පාසල තුළට යාමට මට හැකිවිය. අනෙක් පිරිස සමඟ යාඥා කිරීම සඳහා පාසල තුළ පිහිටි දේවස්ථානය තුළට රිංගා ගැනීමට දිනක් හැන්දෑවේ මට ද හැකියාව ලැබුණි. මගේ ජංගම දුරකථනය අතට ගෙන රහසිගතව මම කැමරාව ක්‍රියාත්මක කළෙමි.


මා දණගසා සිටින අතරතුර වානේ ගැටෙන සියුම් හඬක් මට ඇසෙන්නට විය. මම හිස ඔසවා බැලුවෙමි. මා දුටු දෙයින් මගේ හදවත නතර වූවාක් මෙන් දැනුණි. වන සතුන්ට මෙන් දම්වැල් යොදා දෙපා විලංගු දමන ලද ළමුන් මා ඉදිරිපිට සිටිනු මම දුටිමි.


යාඥා මෙහෙය නිමා විය. ළමුන් දෙපා අද්දවමින් දේවස්ථානයෙන් පිට විය. නමුත් මා පිටව යන අතරතුර යමෙකුගේ ප්‍රචණ්ඩකාරී ගෝරනාඩුවක් සහ සියුම් හැඬුම් කෙඳිරියක් ඇසෙන්නට විය.


මම ඒ කෙඳිරිය සොයා පිය මැන්නෙමි. මද ආලෝකයක් සහිත කාමරයක යදම් වැලෙන් දෙපා විලංගු ලා සිටි ළමයෙකු ඉකි ගසනු දුටිමි.


මා පියවි දෑසින් දකින දේ කාටත් හොරා වීඩියෝගත කළෙමි. ඒ අහමඩ් ය. “මට ගෙදර යන්න ඕන.” ඔහු මට කීවේය. ඔහු සැනසීමට මට අවශ්‍ය වුණි. නමුත් පූජකවරුන් කතා බහ කරමින් ඒ දෙසට ඇදෙන බවක් මට ඇසෙන්නට වූයෙන් වීඩියෝ කිරීම නතර කොට වහා එතැනින් පිට වුනෙමි.


නමුත් මම පසුදා යළි එතනට පැමිණියෙමි. එබැවින් එහි සිදුවන තව බොහෝ දෑ හෙළිදරව් කර ගැනීමට මට හැකි විය.


එහි සිටි ළමුන් සමඟ කතාබහ කරන අතරතුර ජංගම දුරකතනය ගෙන වීඩියෝගත කරන්නට පටන් ගත්තෙමි. ඒ අසල සිටි, මදක් වයසින් වැඩි ළමයෙකු මා දෙස එක එල්ලේ බලා සිටිනු මගේ නෙත ගැටුණි. ඔහු එකවරම එතැනින් පිටව ගියේය. පාසලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ශාස්ත්‍රධරයා කැටුව ඔහු සැනෙකින් ආපසු පැමිණියේය.


වීඩියෝ කළේ මන්දැයි විමසමින් ප්‍රධාන ශාස්ත්‍රධරයා මට බැනවදින්නට පටන් ගත්තේය. යාන්තමින් එතැනින් පැනගත් මම වීදිය දක්වා ම දිව ගියෙමි.


බීබීසීය පසුව කළ විමසීමක දී Haj el-Daly නමැති ඛල්වා පාසලේ කළමනාකාරිත්වය පවසා තිබුණේ පාසලේ ප්‍රධානියා වශයෙන් වෙනත් ශාස්ත්‍රධරයෙකු පත්කොට ඇති අතර ඉන් පසුව ළමුන්ට පහරදීම සහ දම්වැල් දමා බැඳ තැබීම නතර කර ඇති බවය.


බීබීසී ඇසුරෙනි…





No comments

Ads Place