Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මම නමෝ මරියනි ගීය ගයන්නේ දෙවියන් වහන්සේට තුති පිදීමටයි - හෙළයේ මහා ගීත කෝකිලාව කලා ශූරී ලතා වල්පොල

  නමෝ මරියනි.... නමෝ මරියනි.... නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනී...” සීතල උඳුවප් මාසයේ නත්තල් දා ජේසු බිලිඳුන් මොලොවට බිහිකළ මරිය තුමිය වෙනුව...

 


නමෝ මරියනි....

නමෝ මරියනි....

නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනී...”

සීතල උඳුවප් මාසයේ නත්තල් දා ජේසු බිලිඳුන් මොලොවට බිහිකළ මරිය තුමිය වෙනුවෙන් ගැයෙන ගීතයකි මේ.

හෙළ ගීත කෙත පෝෂණය කළ මේ ගීතය ගයන්නේ දෙවියන් වහන්සේ වෙතින් තිළිණ ලද සිය අසිරිමත් මධුර මනෝහර ස්වරයෙන් ශ්‍රී ලාංකේය සිත්සතන් මෝහනයට පත් කරනා ගීත කෝකිලාවියයි.

හෙළයේ මහා ගීත කෝකිලාව එහෙමත් නැතිනම් හෙළ ගී රැජින කලාශූරී ලතා වල්පොල නම් වූ ඇය පිළිබඳ, ඒ හඬ ගැන කතාබහ කරන්නට මේ කාලවකවානුව තරම් සුදුසු තවත් කාලයක් නැත. මන්ද ඇයගේ කටහඬ නොඇසෙන නත්තලක් අපිට නැතිතරම්. කිතු බැති ගී වැඩිම සංඛ්‍යාවක් ගායනා කළ ගායිකාවක ලෙසින් අදටත් ගී ලොව වැජඹෙනා ඒ හඬ පෞරුෂය සැබැවින්ම ආශ්චර්යයකි.යුගයෙන් යුගය පරපුරෙන් පරපුර තම ගී හඬින් වසඟ කළ ඇය දැන් අසූහත්වැනි වියේ පසුවන්නීය. නමුදු නව යෞවනියක ලෙසින් ඕ තුරුණු හඬින් ගී ගයන්නීය. නව පරපුරේ ගායන කුසලතාවන් රස විඳින්නීය. අගය කරන්නීය. අද දවසේ තම දියණිය ධම්මිකා වල්පොල ඇසුරේ හිඳිමින් ඈ සමඟ කෑම පිසිමින්, ගීත ගයමින් සැහැල්ලු දිවියක් ගත කරන්නීය.


උපතින්ම කිතුනු බැතිමතියක වූ, කිතු බැති ගී බොහෝ ගයන ඇයට නත්තල වඩාත් සුවිශේෂීය. ඉතා කුඩා කාලයේ පටන් පල්ලියේ ගීතිකා ගයන මේ පුංචි දැරිවිය ගැන බොහෝදෙනකු දැන සිටින්නට ඇති.


ඉතින් ඒ සොඳුරු අතීතය පිළිබඳ හඬ අවදි කරන්නට අපි ඇයට ඇරයුම් කරමු.


“මගේ උපන්ගම බම්බලපිටිය. අපේ තාත්තා ජෝශප් ලීනස් ප්‍රනාන්දු. අම්මා එළිසබෙත් මියුරියෙල්. ගොඩ්ෆ්‍රි අයියයි, විනිෆ්‍රීඩා අක්කයි, මමයි. පුංචි පවුලක්. පවුලේ බාලයා වුණු නිසාම හැමෝගෙම ආදරය මට හිමි වුණා. මම පාසල් ගියේ ගල්කිස්ස සාන්ත අන්තෝනි පාසලට. ඉතින් සිස්ටර්ස්ලා ඇසුරේ තමයි කාලය වැඩියෙන්ම ගතවුණේ.


මට මතකයි ඒ කාලේ අපි පාසල් ගිය හැටි. බම්බලපිටියේ ඉඳන් ගල්කිස්සටම මම යන්නෙ පයින්. මඟදි යාළුවන් මේ ගමනට එකතු වෙනවා. මම ඉතින් සිංදු කිය කිය තමයි යන්නෙ. ටිකක් වේලාසනින් ගෙදරින් ගිහින් යාළුවන්ගෙ ගෙවල්වලටත් ගොඩවෙලා එහෙම තමයි පාසල් යන්නෙ. ආපසු එනකොටත් එහෙමයි. උදේට, දවල්ට කෑම කන්නෙත් මේ යාළුවන්ගෙ ගෙවල්වලින්.


ඔබ පැවිදි සොයුරියන් අතරේත් හරි ජනප්‍රියයිලු.


“ඇත්තටම ඔව්. සිස්ටර්ස්ලා මට හරි ආදරෙයි. පාසලෙන් පස්සෙත් මම එයාලගේ වැඩවලට උදවු වෙනවා. එයාලා එක්ක ගමන් බිමන් යනවා. අම්මා, තාත්තා වුණත් ඒවට විරුද්ධ වුණේ නෑ. විශේෂයෙන්ම වසර අවසානයේ පාසලේ ප්‍රසංගයට මම නැතිවම බැරි කෙනෙක්. වැඩසටහන් දහයක් ඉදිරිපත් කරනවානම් ඒ දහයටම මම ඉන්නවා. අඩුම තරමේ පසුබිම් ගායනයෙන් හරි දායකත්වය ලබා දුන්නා.


ඒ වගේම තමයි පල්ලියේ පුජාවට ගීතිකා කියන කණ්ඩායමට නායකත්වය දුන්නෙත් මමයි. මට මතකයි ප්‍රැටික් අන්කල් ඇතුළු වාදක මණ්ඩලය ඉහළ වේදිකාවේ ඉඳන් වාදනය ඉදිරිපත් කරනකොට අපි කට්ටිය පහළ ඉඳන් ගීතිකා කියපු හැටි. ගීතිකා, කවි, සින්දු අතරේ තමයි මගේ කුඩා කාලය ගතවුණේ.”


ඒ කාලේ නත්තලටත් විශේෂයෙන්ම ලක ලැහැස්ති වෙන්න ඇති.


“අපොයි ඔව්. අපි කිතුනු බැතිමතුන් විදිහට නත්තල මහ ඉහළින් සමරන්න සූදානම් වෙනවා. ඒ කාලයේ මේ දවස් වෙනකොට හැමදේම ලක ලැහැස්තියි. අපේ තාත්තා තමයි ලස්සනට ගවලෙන හදන්නෙ. අයියත් ඒවාට උදවු කරනවා. මේ ගවලෙනේ අපි ගවුමක් එල්ලනවා. ඊට පස්සෙ ඒ ගවුමෙ තැනින් තැන ත්‍රිකෝණ හැඩයට කැපුම් පාරවල් දමනවා. ඉතින් හොඳ වැඩක් කළහම මේ කපපු කොටසක් නමනවා. ඉතින් ඉක්මනට ඒ නවපු ප්‍රමාණය වැඩි කරගන්න තමයි අපි තුන්දෙනාම උත්සාහ කළේ.”


නත්තල වෙනුවෙන් විවිධ කෑමබීම එහෙමත් සකසන්න ඇති නේද?


“අපේ අම්මට හරිම රසට උයන්න පුළුවනි. ඉතින් එයා නත්තල වෙනුවෙන් විවිධ කෑම වර්ග හදනවා. කේක්, කිරිටොෆි, පුඩිං වර්ග වාගේම වයින් එහෙමත් වරදින්නෙම නැහැ. උයන්න වාගේම අම්මාට ලස්සනට මහන්න, ගොතන්නත් පුළුවනි. ඉතින් ඒ වැඩවලට අපේ අම්මට උදවු වුණේ අක්කා තමයි. මම ඒ කාලේ කුස්සිය දිහාවට ගියේ නැති තරම්. මොකද මගේ කාලය ගතවුණේම ගීත ගායනයටනේ. ඉතින් මම කරන්නෙ ගීතිකා පුහුණුවීම තමයි.”


ඒ කියන්නෙ පුංචි කාලයේ ඉඳන්ම ඔබේ කාලය ගතවෙලා තියෙන්නෙ ගීත ගායනයට.


“ගීත ගායනය කියන දේ මම හැදෑරීමකින් ලබාගත් දෙයක් නෙමෙයි. එය ලැබුණේ සහජයෙන්මයි. මම හිතන්නෙ එය මට දෙවියන් වහන්සේ ලබාදුන්නු වරමක්. ඒ වෙනුවෙන් මම උන්වහන්සේට හදවතින්ම ස්තූතිය පුදනවා.


 


සුසිල් ප්‍රේමරත්න මහත්තයා තමයි මගේ හඬ නිසියාකාරව හැඩගස්වා ගන්නට ගුරුහරුකම් ලබා දුන්නෙ. මට මතකයි එතුමා සංගීත භාණ්ඩ කිසිවක්ම නැතිව පුටුවකට අතින් තට්ටු දම දම තාලය අල්ලනවා.


මගේ මුල්ම ගුවන්විදුලි ගීතය වුණේ “කඳුළු දෙනෙතේ වෑහෙනා” කියන ගීතය. යුග ගීතයක් වූ මෙයට වින්සන් ද අල්විස් ගායනයෙන් සහය වුණා. සරත් විමලවීරගේ පද රචනයක් වූ මෙය සංගීතවත් කළේ එඩ්වඩ් පෙරේරා. එතකොට මගේ වයස අවුරුදු දහතුනයි.”


ඊට පසුව ඔබට ගුවන්විදුලියේ සරල ගී වැඩසටහන්වලට දායක වන්නට අවස්ථාව උදාවුණා.


“මම ගියේ පල්ලියේ පාසලකටනේ. ඉතින් ගුවන්විදුලියේ මගේ සිංදු යන එක ගැටලුවක් වුණා. අන්තිමට සිස්ටර්ස්ලා, ෆාදර්ස්ලා හරහා බිෂොප් වහන්සේ ගාවටත් යන්න වුණා. අන්තිමට පාසල අතෑරලා සිංදු කියන්න ගියා. ගුවන් විදුලියෙන් ජනප්‍රිය වීගෙන එනකොට චිත්‍රපට පසුබිම් ගායනයටත් යොමු වුණා. එදා ඉඳන් අද දක්වාම මම විවිධාකාරයේ ගීත බොහෝ ප්‍රමාණයක් ගැයුවා.”


ඔබේ ගීත අතරින් ‘නමෝ මරියනි’ ගීතය වඩාත් සුවිශේෂයි. මේ දිනවල නිතර ඇසෙනවා. අපි ඒ ගැනත් කතා කරමු.


“මම වැඩිම වාර ගණනක් ගායනා කරපු ගීතය තමයි ‘නමෝ මරියනි’. 1947 වර්ෂයේ කොළොම්බියා තැටියට පටිගත වූ මේ ගීතය රචනා කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ බෞද්ධ ආචාර්යවරයකු වූ කාලිදාස කුරුකුලසූරිය. මෙය මුල් කාලයේ යුග ගීතයක් හැටියට මම ගායනා කළේ එවින් ෆොන්සේකා සමඟ.


දැන් ගොඩාක් වෙලාවට ඇහෙන්නෙ පසුකාලීනව අපේ මහින්ද බණ්ඩාර සංගීතවත් කළ ගීතය. ඒ සඳහා මගේ දරුවන්, රූකාන්ත, ග්‍රේෂන් වාගේ බොහෝ පිරිසක් දායකත්වය ලබා දුන්නා. ඒක හරිම ලස්සනට, බොහෝ වෙහෙස මහන්සිව කරපු නිර්මාණයක්. මට මතකයි ඒ සිංදුවේ පසුබිමින් ඇසෙන සීනු නාදය ලබාගන්නට කොටහේන පල්ලියේ සීනුව පවා රැගෙන ආවා. වාදකයෝ, ගායකයෝ විශාල ප්‍රමාණයක් සහභාගි වෙලා බොහොම හොඳට කරපු ගීතයක්.


මගේ සෑම ප්‍රසංගයක්ම ආරම්භ කරන්නේ මේ නමෝ මරියනි ගීතයෙන්. ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ගිය සෑම අවස්ථාවකම මම මේ ගීතය ගයා තියෙනවා. ඒ නිසා කියපු වාර ගණන කොච්චරද කියන්න බැහැ. මගේ හඬ ලබාදුන්නෙ දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේට කරන තුති පිදීමක් හැටියටයි මම මේ ගීය ගයන්නේ.”


මේ දිනවල ඔබ ගතකරන ජීවිතය කොහොමද?


“මගේ ජිවිතයෙය් හොඳම කාලය තමයි මම දැන් මේ ගතකරන්නෙ. බොහෝම නිවාඩු පාඩුවේ නිස්කාන්සුවේ කාලය ගත කරනවා. මගේ දියණිය ධම්මිකා සහ මහින්ද පුතා ඇසුරේ තමයි මම ජීවත් වන්නෙ. මගේ පුතාලා, ලේලිලා, මුනුපුරු මිනිබිරියන් සියලුමදෙනා මම ගැන සොයා බලනවා.


ඇත්තටම මගේ ධම්මිකා දුව මාව බලාගන්නෙ මලක් වාගේ. කෑම බීම ටික හදලා හැමදේම කරනවා.


මහින්දත් මට පුතෙක් වාගෙයි. ධම්මිගෙ දරුවෝ ඒ කියන්නෙ මගේ මුනබුරාලා එයාලාගේ නෝනලා මේ හැමෝම මට පුදුමාකාර ආදරෙයි. ධම්මිගේ බාල පුතා මයුර පුතා සහ එයාගේ නෝනා තුෂාරි හැමදාම වාගේ මාව බලන්න එනවා. තුෂාරි හරිම සංවේදී දරුවෙක්. තෙල් ගාලා මගේ අතපය තවනවා. මම ගැන හරියට වද වෙනවා.


ඒ වාගේම තමයි ධම්මිගේ ලොක්කා ගීතාන් සහ නුවනි පිටරටක හිටියත් මට නිතරම කතා කරනවා. ගීතාන් දැන් දරුවෝ තුන්දෙනකුගෙ තාත්තෙක්. ඉතින් මම දැන් මී මිත්තනියක්. මද්දුමයා මයුර සහ ක්‍රිස්ටිනා ගැනත් කියන්න ඕනේ. මයුර සංගීතයට හරිම දක්ෂයි. මහින්දත් එක්ක එකතු වෙලා හරි අපුරුවට වැඩ කරනවා.


ඇත්තටම මම වාසනාවන්ත මවක්, මිත්තනියක් සහ මී මිත්තනියක් ලෙසින් හරිම සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙනවා.


මම ධම්මි උයනකොට උදේට කුස්සියට යනවා. පුංචි පුංචි වැඩ එයාට කරලා දෙනවා. ඒ ගමන් අපි දෙන්නා සිංදු කියනවා. ඒ සිංදු පටිගත කිරීම්වලදි සිදුවුණු දේවල් කියලා හිනාවෙනවා. ධම්මි කියනවා මම රසට සීනි සම්බෝල, අඹ ව්‍යාංජනය එහෙම හදනවා කියලා. ඉතින් කාගේ හරි දානේ ගෙදරක් එහෙම තියෙනකොට මම හදලා යවනවා. දරුවන් ලැබෙන්න ඉන්න අපි දන්න කියන දුවලට මගේ අතින් කෑම ටිකක් හදා දෙනවා. ඒවා මේ ජීවිතේ දැන් කරන සතුටු වැඩ.


මම රූපවාහිනිය නරඹනවා. විශේෂයෙන්ම සංගීත වැඩසටහන් අනිවාර්යයෙන්ම බලනවා. ගීත අහනවා. අලුත් දරුවන්ගෙ හැකියාවන් අගය කරනවා. මගේ ගීත ඔවුන් ගායනා කරනවා ආසාවෙන් රස විඳිනවා. ජීවිතය සතුටින් ගත කරනවා.”


ඒ කියන්නෙ මේ දිනවල නත්තලට ලැහැස්ති වෙනවා ඇති.


“මගේ සැමියා ධර්මදාස වල්පොල ජීවිතයෙන් සමුගත්තෙ නත්තලේ දී. එදා පටන් අපි නත්තල සැමරුවේ නැහැ. ඔහු වෙනුවෙන් දානමය පින්කම් තමයි කළේ. මෙවරත් ස්වාමීන් වහන්සේලා 80ක් සහභාගි කරගෙන දානමය කටයුත්තක් සිදුකරනවා. ඒ වැඩකටයුතුවලට තමයි ධම්මිහෙම මේ දවස්වල මහන්සි වෙන්නේ.”


පසුගිය දිනවල ඔබ සුවිශේෂී කටයුත්තකට දායක වුණා. ඒ ගැනත් කියමු නේද?


“මම විවිධාකාරයේ ගීත ගායනා කළා. ප්‍රේම ගීත, විරහ ගීත, දේශාභිමානි ගී, දරු නැලවිලි, කිතු බැති ගී මේ ආදී වශයෙන් බොහෝ ගී ගැයුවා. නමුත් මට බෞද්ධ ගීතයක් ගායනා කරන්න බැරි වුණා. ඉතින් පසුගියදා එළඹුණු මගේ උපන්දිනයට සමන් චන්ද්‍රනාත් වීරසිංහ අපුරු බෞද්ධ ගීතයක් ලියා තිළිණ කළා.


ඉතින් දැන් මේ දිනවල ඊට හඬකැවීම් සිදු කළා. නුදුරු දිනයකදී යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔබට ඒ ගීය රස විඳින්න හැකියාව ලැබේවි. මොකද දැන් ඉස්සර වාගේ කැසට් පට වාගේ දේවල් නැහැනේ. ඉතින් අලුත් තාක්ෂණයට අපිට ඉබේම අනුගත වෙන්න සිදු වෙනවා.”

No comments

Ads Place