Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයවැයේ එකම අරමුණ කළු සල්ලි සුදු කරන්න හිත මිතුරන්ට අවස්ථාව සැලසීමයි…- මංගල

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් නැති අයවැයේ එකම අරමුණ කළු ස...


හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

දර්ශනයක් හෝ වැඩපිළිවෙලක් නැති අයවැයේ එකම අරමුණ කළු සල්ලි සුදු කරන්න හිත මිතුරන්ට අවස්ථාව සැලසීමයි

2021 අයවැය ඉදිරිපත් කරමින් පසුගිය වසර තුළ ආර්ථිකය කඩා වැටී ඇතැයි පිළිගෙන ඇති රජය ආර්ථික උත්තේජනය සඳහා මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබීමෙන් ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර මූල්‍ය සම්බාධකවලට මුහුණදීමේ අවදානමකට ලක් කර තිබේ.

දේශීයව හෝ විදේශීයව සඟවා තබා ඇති මුදල් මෙරට තුළ ආයොජනය කරන ව්‍යාපාරිකයන්ට සියයට 1 % බදු ගෙවීමකට යටත්ව පොදු සමාව දෙන බවට රජය ප්‍රකාශ කර ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force -FATF) විසින් ශ්‍රී ලංකාව එහි ‘අළු ලේඛනය’ට (Grey List) ඇතුළත් කර තිබූ අතර මුදල් අමාත්‍යාංශය විසින් දරන ලද පරිශ්‍රමයේ ප්‍රතිපලයක් ලෙස 2019 ඔක්තෝම්බර් මස එම අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවන ලදී.

කළු සල්ලි සුදු කරන මෙවන් කටයුතුවලට ජාත්‍යන්තර නීතියෙන් වැට බැඳී ඇති හෙයින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුදල් සම්ප්‍රේෂණය කිරීම විදේශ බැංකුවලින් බාර නොගැනීමට ඉඩ ඇත.

මෙම රජයට ආර්ථික සංවර්ධනයට නිසි වැඩ පිළිවෙලක් නොමැති නිසයි මෙවන් කළු ආර්ථිකයකට අත වනන්නේ. රට නංවන නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව රට බේරාගන්නට ඡන්දය දෙන්නැයි තිරය පිටුපස ප්‍රචාරයන් ගෙන ගිහින් ජනතාව මුලා කරලයි මෙම රජය බලය ලබා ගත්තේ.

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යන බව ඔප්පු කරන්න තර්කානුකූලව පිළිගත් න්‍යායයන් තිබේ. යහපාලන රජය සමයේ වසර 45 ට පමණ පසුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරමින්, ප්‍රථම වතාවට 2017 සහ 2018 වසරවලදී අය වැය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් අත් කර ගන්නා ලදී.

දර්ශනයක් අනුව ආර්ථිකය හසුරුවාලමින් රටකට ඉතා අත්‍යවශ්‍ය පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩ සටහන දියත් කරන ලද අතර එමගින් රුපියල් මිලියන 90,000 ඉක්මවූ මුදලක් අඩු පොලියකින් ආයෝජන සඳහා පෞද්ගලික අංශය වෙත නිකුත් කිරීමට යහපාලන රජයට හැකිවිය. තව ද ගම්පෙරලිය වැඩ සටහන මගින් සෑම මැතිවරණ කොට්ඨාසයක්ම රුපියල් මිලියන 300 වැය කොට සංවර්ධන කටයුතු සිදු කරන ලදී.

උගත් තරුණ පිරිසක් රටට දායාද කර දීම සඳහා අ.පො.ස. උසස් පෙල විභාගය දක්ෂ ලෙස සමත් තරුණ තරුණියන් 10 දෙනෙකුට ජාත්‍යන්තර ව ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන්න වාර්ෂිකව අවස්ථා සලසා දීමට ද 2018 වසරේ දී යහපාලන රජය තීරණය ගත් නමුදු වැඩපිළිවෙලක් නොමැති මෙම රජය යටතේ කළු සල්ලි ආර්ථිකයක් ගොඩ නැගීමට උත්සාහ කිරීම තුළ රජයේ අරමුණු කුමක් දැයි මෙරටේ ජනතාවට තේරුම් ගත හැකි වනු ඇත.

වැවිලි අංශයේ සේවක පඩි වැඩි කිරීම වැනි පෞද්ගලික අංශයට අදාළ කරුණු අය වැය තුළ අන්තර්ගත කිරීමෙන් රටක ආර්ථික දිශානතිය තීරණය කරන අය වැය හෑල්ලුවට ලක් කර ඇති අතර එමගින් රටට වැරදි පූර්වාදර්ශයක් මෙම රජය පෙන්වා දී තිබීම කණගාටු දායකයි.

රාජ්‍ය පාලනයේ පරිණත රාජ්‍යතාන්ත්‍රික නායකත්වයක් මෙම රජයට නොමැති බව පසුගිය පෝය 12 ක කාලය තුළ රජය විසින් ගනු ලැබූ අසාර්ථක තීරණවලින් ඔප්පු කර තිබේ. පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් තුළින් දුප්පත්කම පිටු දැකීම ඉලක්ක කරගත් රැකියා උත්පාදනය හා ජීවනෝපාය මාර්ග වැඩි කිරීම අය වැයේ අරමුණ යැයි ප්‍රකාශ වේ. එහෙත් අය වැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ වැඩ සටහන් බොහොමයක් මේ මහ පොළොවේ යථාර්තයක් නොවන හුදු ප්‍රකාශවලට පමණක් සීමා වන කරුණුය.

සාමාන්‍යයෙන් අයවැයක් අවසන් වූ වහාම යම් සහනයක් වාසියක් හෝ අවාසියක් අනිවාර්යෙන් පහුවදාට ලැබෙනවා යැයි ජනතාව තුළ යම් අපේක්ෂාවක් ඇතිවෙනවා. මේ අයවැයෙන් රටේ අද තිබෙන තත්ත්වය මයි හෙටත්. කිසිදු වෙනසක් නැත. අපේක්ෂාවක් තියා ගන්නට බැරිය.

මෙම රජය බලයට පත්වූ වහාම බදු සහන දී සහචරයන්ට ආර්ථික වාසි ලබා දීමෙන් මුළු රටේම ආර්ථිකය වනසා දැමිය. ඒ මගින් රුපියල් බිලියන 700 පමණ රාජ්‍ය ආදායම අහිමිවිය.

එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද අයවැයෙන් 2020 ආදායම ඇස්තමේන්තු වශයෙන් රුපියල් බිලියන 1588 ලෙස සඳහන් කර ඇති අතර 2021 දී එය රුපියල් බිලියන 2029 දක්වා වැඩි වනු ඇතැයි සඳහන් කර තිබේ. මෙම ආදායම ලබා ගැනීම පිළිබඳ කිසිදු වැඩසටහනක් නැති අතර මෙසේ වසරකින් රාජ්‍ය ආදායම සියයට 27 කට වැඩි ප්‍රමාණයකින් වැඩි වීම යනු රජයම පිළිගන්නා කඩා වැටුණු ආර්ථිකයක කිසිවිටෙක යථාර්ථයක් වන්නේ නැත.

මෙම අයවැයෙන් වැදගත් එකම යෝජනාව නම් ලංකාවට හොර සල්ලි ගෙන ඒමට මේ අයවැය තුළින් අවසරය දී පහසුකම් සලසා දීම හරහා මෙහි වාසිය අත්වන්නේ කාටදැයි මෙරටේ ජනතාවට විශේෂයෙන් කිව යුතු නැත.

2021 වසරේ දී විශ්වවිද්‍යාල 4ක ‘city university’ කියන සංකල්පය යටතේ විශ්වවිද්‍යාල හතරක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන දාහක් වෙන්කර තිබෙනවා. රුපියල් මිලියන 250 කින් අද කාලේ විශ්ව විද්‍යාලයක් තියා ගොඩනැඟිල්ලක් වත් හදන්නට බැරි බව ජනතාව දනී.

ගමට සන්නිවේදනය වැඩසටහන මගින් සමස්ත රටම ආවරණය කරන පරිදි ක්‍රියාත්මක වන බවට සඳහන්. ඒත් ඒ සඳහා වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන පහළොවක් පමණි.

මාර්ග කිලෝමීටර් 50,000 සංවර්ධනය කරන යෝජනාවකට රුපියල් මිලියන 20,000 වෙන් කර තිබෙන අතර ඒ අනුව එක් කිලෝමීටරයක් ලක්ෂ හතරක පිරිවැයකින් සංවර්ධනයට යෝජනාවක් තිබේ. රු. ලක්ෂ හතරකින් පාරක් කාපට් අතුරා සංවර්ධනය කළ හැකි දැයි අවබෝධයක් නොමැතිව හුදු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.

මෙවැනි විහිලු සපයන යෝජනා හා වැඩසටහන් තමයි මේ අයවැය මගින් ඉදිරිපත් කර තිබෙන්නේ. මේවා එකක්වත් යථාර්ථයක් නොවේ.

පසුගිය රජය විසින් විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විධායක නිලධාරීන්හට විශේෂ දීමනා සඳහා ද වෙන් කර තිබූ ප්‍රතිපාදන නවතා දමමින් 2021 අයවැයෙන් එය ලබා දෙන බවට ප්‍රකාශ කල ද එවන් යෝජනා කිසිවක් ඉදිරිපත් නොකිරීමෙන් බහුතරයක් තැපල් ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයන්ව ද මෙම රජය රැවටීමට ලක් කර තිබේ

රාජ්‍ය සේවකයන්ට සමස්ථයක් ලෙස ගත්කල මේ අයවැය මගින් කිසිදු සහනයක් නැත. ලක්ෂ 14 ක් පමණ වන රාජ්‍ය සේවකයන් අතුරින් මාණ්ඩලික නොවන සේවකයන්ට තම කාර්යාල වේලාවෙන් පසුව පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීමට අවසර දී තිබේ. “අපට ඔබලට දෙන්න දෙයක් නැත, දෙන්න හැකියාවක් නැත, හැකිනම් පිටට ගොස් රැකියාවක් කර පවුලේ ආර්ථිකයට වාසියක් ලබා ගන්න” කියන ඔය පණිවිඩය තමයි මේ රජය රාජ්‍ය සේවකයන්ට දී තිබෙන්නේ.

වැට් බදු සහ VAT සීමාවන් ඉවත් කිරීමෙන් අහිමි වූ ආදායම ලබා ගන්නට උපක්‍රමයක් ලෙස ජී. එස්. ටී බදු ගෙන ඒමට යෝජනා කර තිබේ. මුලින් ක්ෂේත්‍ර හතරකට හඳුන්වාදීමට යෝජනා කළ ද පසුව එය සියලු ක්ෂේත්‍ර ආවරණයවන පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති අතර විදුලි සංදේශ සේවාවවලින් ද සූදු හා සුරා බදු වලින් අය කරන අධික බදු අය කිරීමට කර ඇති යෝජනාවෙන් රජයේ මුදල් අහේනිය ප්‍රදර්ශණය කෙරේ.

ඉලක්කම් විජ්ජාවක් පෙන්වමින් ඉදිරිපත් කර ඇති මෙම අයවැය මගින් ලබන වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 5.5 % වර්ධනය වන බවට සඳහන් කෙරේ. 2020 මුල් කාර්තුවේ ආර්ථිකය -1.6 ක සෘණ අගයක් පෙන්නුම් කළ අතර දැන් රජය දත්ත සඟවා ගෙන දෙවන කාර්තුවේ වර්ධන වේගය ප්‍රකාශ නොකර සිටියි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් අපේ ආර්ථිකය ලබන වසරේ 5% – 6% සෘණ අගයක් ගනු ඇතැයි ප්‍රකාශ කර ඇත.

ඒ වගේම විදේශ වෙළඳාම, ආනයන අපනයන වෙළඳාම සියයට 27 කින් පමණ අඩු වූ බව රජය පිළිගෙන තිබෙනවා. එසේ තිබියදී විදේශ වෙළඳාම සියයට 30.4% කින් වැඩි වෙන බවට අයවැයෙන් ඇස්තමේන්තු කර තිබෙන්නේ සෘණ ආර්ථිකය ධන ආර්ථිකයක් ලෙස පෙන්වීමේ ව්‍යාජ උත්සාහයක් යටතේ ජනතාව නොමග යැවීම සඳහා ය.

2021 වසර සඳහන් සමස්ත ණය ගැනීම රුපියල් බිලියන 2997 කි. 2020 සමග සමස්ත ණය, වසර දෙක ට රුපියල් බිලියන 5828 ක් වැනි විශාල ප්‍රමාණයක මේ රජය ණය අරන් තිබෙනවා. කිසිදු සංවර්ධන කටයුත්තක් නැති අවස්ථාවක අය වැය මගින් ද යථාර්ථයක් නොවන, මහ පොළොවේ ක්‍රියාත්මක කළ නොහැකි සංඛ්‍යාලේඛන විජ්ජාවක් හරහා ජනතාව රවටමින් මෙවන් විශාල ණය ලබාගෙන ඇත්තේ කුමක් සඳහා ද?

මෙම අයවැය මගින් දී ඇති එකම වාසිය තම සහචරයන්ට ඔවුන් හොරකම් කළ මුදල් මෙරටට ගෙන එන්නට පුළුවන්. සඟවා ගෙන තිබෙන මුදල් ආයෝජනවලට යොදවන්නට පුළුවන්. ඒ සඳහා පොදු සමාවක් දී 1% ක බදු නියම කිරීමක් පමණයි සිදුවන්නේ.

නීතියේ ආධිපත්‍යයක් රජ කරන ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසි දූ ආර්ථිකයක කළු සල්ලි සුදු කරන ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැති බව ප්‍රකාශ කළ යුතු අතර ඉදිරියේ දී රජයේ මෙම දර්ශනයක් නොමැති අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් රටවැසියන්ට එහි විපාකවලට මුහුණ දීමට සිදුවීම වැළක්විය නොහැකිය.

මෙම රජයේ මෙන්ම අයවැයේ ද ප්‍රමූඛ අපේක්ෂාව වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රය වෙනුවට ඉතා ස්වල්ප දෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන ගජ මිතුරු ධනේශ්වර ආර්ථිකයක් බිහි කිරීමයි. එමගින් දේශියව ආරක්ෂිත හා තරඟකාරිත්වයක් නොමැති චෞරතන්ත්‍ර ආර්ථිකයක් රට තුළ ස්ථාපනය කෙරේ.

– මාධ්‍ය අංශය

lankacnews

No comments

Ads Place