Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මළාට පස්සේ පොසිටිව් වෙන්නේ කොහොමද?

කළුතර නාගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය රැගෙන යන ලංගම බස් රථයේ රියැදුරා ඉකුත් සතියේ දිනෙක අලුයම, තමන්ගේ නිවස ඉදිරිපිට මාර්ගය අසල වන රබර් ගසක ගෙල වැලල...


කළුතර නාගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය රැගෙන යන ලංගම බස් රථයේ රියැදුරා ඉකුත් සතියේ දිනෙක අලුයම, තමන්ගේ නිවස ඉදිරිපිට මාර්ගය අසල වන රබර් ගසක ගෙල වැලලාගෙන මිය ගියේ ය. ඔහුගේ වයස අවුරුදු පනස් හයකි. මරණ පරීක්ෂණයේ තීන්දුවේ හැටියට ඔහුගේ මරණයට හේතුව සිය දිවි නසා ගැනීමකි. එහෙත් ඔහුට සිය දිවි නසා ගැනීමට තරම් හේතුවන පවුල් ප්‍රශ්නයක් හෝ රාජකාරි ප්‍රශ්නයක් තිබුණේ නැත. කොටින්ම කියනවා නම් කොරෝනා දෙවැනි රැල්ල එනතුරා ඔහු බොහෝ සතුටින් සිටි අයෙකි. මේ ලංගම රියැදුරා දිවි නසා ගැනීමට හේතුව ගැන ඔහුගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් බිරිය පැවසූයේ, බස් රියැදුරන්ට කොරෝනා වැලඳීම ගැන ඔහු බියෙන් පසු වූ බවයි. ගෙල වැලලාගත් ඉකුත් අටවෙනිදාට පෙරදින ඔහුට ආරංචි වී ඇත්තේ, තමන්ගේ බස් රියේ යන්නකුට කොරෝනා රෝගය වැලඳී ඇති බවය. ඉදින් ඔහු ඊට බයවී සියදිවි හානි කර ගන්නට ඇතැයි බිරිය පැවසුවා ය.

මේ කොරෝනා භීතිකාවේ අපි මුහුණ දුන් උච්චතම සිද්ධියයි. සියදිවි නසා ගන්නට තරම් නොවුණ ද, දැන් දැන් කොයි කවුරුත් සිටින්නේ, කොයියම් මොහොතක හෝ මේ රෝගය තමන්ටත් වැලඳෙනු ඇතැයි බියෙනි. මේ ළඟදී දවසක කාර්යාලයට පැමිණි මිතුරෙකු අප සමග පැවසූයේ, ඔහුගේ ඥාතියෙකු මේ දිනවල සුපිරි වෙළඳසලකින් භාණ්ඩ මිලදී ගෙන ආවාට පසු ඒවා බෑග් පිටින් ම දවස් තුනක් යන තෙක් නිවෙසේ අහුමුල්ලක තබන බවයි. ඒ ඇයි දැයි ඇසූ කල ඒ පුද්ගලයා පවසා ඇත්තේ දින තුනක් පමණ යන තෙක් කොරෝනා වයිරසය ඒ බෑග්වල තිබිය හැකි නිසා ඒවා දින තුනකට පසු ඉවත් කර භාවිතයට ගන්නා බවය. ඒ අතරතුරේ බැරිවීමකින් හෝ ඒ බෑගයක් අතේ ගෑවුණහොත් ඔහු එසැණින් අත් සෝදා ගනියි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ කපිල රණසිංහ පවසන්නේ මේ කතාවලින් පැහැදිලි වන්නේ අද පවතින රෝග භීතිකාව නිසා මිනිසුන් විවිධ මානසික ව්‍යාකූලතාවන්ට මුහුණ දී සිටින බවයි. ඔහු පෙන්වා දෙන පරිදි, මේ රෝගයත් සමග අද වන විට සෑම පුද්ගලයකුම ආතතිය, අවිනිශ්චිතතාව, රෝග බිය ආදී කාරණා නිසා විශාල මානසික කඩාවැටීමකට ලක් වී සිටියි. දිගින් දිගටම ආසාදිත සංඛ්‍යාව ඉහළ යාම සහ දිනෙන් දින පුද්ගලයන් මිය යාම නිසා රෝගය පිළිබඳව ඇතැමුන් තුළ ප්‍රබල කම්පනයක් හටගෙන ඇති කර තිබේ. ඔවුන් හැමවිට ම සිටින්නේ තමන් ද කොයි මොහොතක හෝ කොරෝනා ආසාදිතයෙක් වී මියයනු ඇතැයි සිතමිනි.

“කොරෝනා කාලේ සමහර මිනිස්සුන්ගෙ ජීවනෝපාය ක්‍රම සම්පූර්ණයෙන් ඇනහිටල. රෝගයෙන් ආරක්‍ෂා වීමට පිළිපදින ක්‍රම නිසා අපේ සමාජ ආශ්‍රය නැවතිලා. රැකියාවේ ස්වභාවය වෙනස් වෙලා. ඒ අතරෙ දිනෙන් දින රෝගීන් වැඩිවෙනවා. මේ සියල්ල ම පුද්ගලයකුගෙ මානසිකත්වය වෙනස් කරන්න ප්‍රබල හේතු සපයනවා. ශක්තිමත් මානසිකත්වයක් තිබෙන පුද්ගලයන් මේ දේවල් දිහා උපේක්‍ෂාවෙන් බැලුවට සමහර පුද්ගලයන්ට එකදිගට සිදුවන මේ මානසික ව්‍යාකූල තත්ත්වයන් දරා ගන්න අපහසුයි.” විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ අවධාරණය කරන්නේය.

කොරෝනා බිය නිසා තමන්ගේ ගෙදරට යන්නට ද ඇතැමුන්ට අවස්ථාව ලැබී නැත. මා දන්නා එක් තරුණයෙක් මේ දවස්වල සිය කාර්යාලයට ම වී සිටින්නේ, ඔහුගේ නිවැසියන් මේ දිනවලට ගෙදරට යාම ඔහුට තාවකාලිකව තහනම් කර ඇති නිසා ය. ඔහුට ඉකුක් නිරෝධායන ඇඳිරිනීතිය කාලයේදී කාර්යාලයේ ම නතරව හිඳ රැකියාව කරන්නට සිදු වීම ඊට හේතුවයි. දැන් නිවැසියන් පවසන්නේ, කොරෝනා රෝගීන් බහුල ප්‍රදේශයක හිඳ නිවසට ඒම අනතුරුදායක නිසා තවටික දිනක් නිවසට ඒමෙන් වළකින ලෙසයි.

කොරෝනා රෝගය ව්‍යාප්ත වී ඇති පෙදෙසක සිට අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා වෙනත් පෙදෙසකට යන්නට කෙනෙකුට සිදු වුවහොත් ඔහු, රෝගය බලෙන් පතුරුවන්නට ආ අයෙකු ලෙස සලකන්නට ඇතැම්හු කටයුතු කරති. දෙවෙනි කොරෝනා රැල්ල ලෙස ගම්පහ මූලික රෝහලෙන් එක් රෝගියකු සොයා ගත් දිනයේ ම, තම මවගේ වෙනත් ප්‍රතිකාරයකට ඒ රෝහලට ගිය කාන්තාවකට ඇයගේ සේවා ස්ථානයෙන් දැනුම් දී ඇත්තේ, ඊට පසුදින සිට ම රැකියාවට නොඑන ලෙසය.

රෝගය ශරීරගත වූ බව දැන ගන්නා සමහර පුද්ගලයන්ට ද සිදුවෙන්නේ රෝගයට ප්‍රතිකාර ගන්නට යාමට වඩා අසල්වාසීන්ගේ ගැරහුම්වලට ලක්වෙන්නට ය. හදිසියේ හෝ ගිලන් රථයක් පැමිණ යම් රෝගියෙකු ප්‍රතිකාර සඳහා රැගෙන ගියහොත් ඒ අසල්වාසීන් රෝගියාගේ නිවස දෙස බලන්නේ හෙරොයින්, කසිප්පු ජාවාරම්කර නිවසට පොලිසියෙන් පැන රැගෙන යන අපරාධකාරයා දිහා බලන්නාක් මෙනි. ඒ නිසා ම දැන් බොහෝ මිනිසුන් බය වී සිටින්නේ තමන්ට කොරෝනා හැදෙනවාට වඩා කොරෝනා හැදුනොත් ලෝක අපවාදයට ලක්වෙන්නට වනු ඇතැයි සිතමිනි.

තමන් ආසාදිතයකු බවට අදාළ අංශ දැනුවත් කිරීමට හෝ රෝගයට ප්‍රතිකාර ගැනීමට ඉදිරිපත් වීමට බොහෝ දෙනා තවමත් මැළිකමක් දක්වන්නේ මේ නිසා බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ පවසන්නීය. අන්‍යොන්‍ය සහයෝගීත්වය ඉහළින් ම සලකන, සම්ප්‍රදාය ගරුකරන්නන් ලෙස අපි අනුන්ට උදව් කරන්නට හෝ ගිලනුන්ට උවටැන් කරන්නට කිසිවිටෙකත් මැළි වන්නේ නැත. එහෙත් දැන් නම් අසල්වැසි නිවෙසක කොරෝනා රෝගියකු හමු වුවහොත් හෝ අසල නිවසක් නිරෝධායනයට ලක් කළහොත් අඩුම තරමේ ඒ නිවැසියන්ට කන්නට බොන්නට හෝ දෙයක් ඇත්දැයි විමසන්නට මතක් වෙන්නේ එහෙමත් කෙනකුට පමණි. අඩුම තරමේ ඖෂධහලකට ගොස් බෙහෙත් ටිකක් අරගෙන එන්නට ත්‍රිරෝද රථයක් හෝ සොයා ගැනීම ද මේ දිනවල පුදුම තරම් අපහසුය. මේ ලියුම්කාරිය ද එවැනි අත්දැකීමකට මුහුණ දුන්නේ දැනට සති දෙකකට පමණ ඉහතදීය. ඒ, ඖෂධ සැල් විවෘතව පවතින දවසක එහි යන්නට ප්‍රවාහන ක්‍රමයක් සොයා ගන්නට නොහැකි වීමෙනි.

එමෙන් ම මේ රෝග භීතිකාව නිසා, දීර්ඝකාලීනව රෝගවලට ප්‍රතිකාර ගන්නන් පවා රෝහල්වලට යන්නට දක්වන්නේ මැළිකමකි. සමහර අවස්ථාවලදී නිවැසියන් ද ඔවුන්ව රෝහල් කරා රැගෙන නොයන්නේ රෝහලට ගියොත් කොරෝනා බෝ වේ යැයි බයෙනි.

“වෙනදා තමන්ට තියෙන රෝගය යම්තම් වැඩිවුණත් රෝහලට එන රෝගීන් දැන් අසාධ්‍ය වෙනකම් ම රෝහලට එන්නෙ නැති බවක් පෙනෙන්නට තියෙනවා. ඇතැම් අවස්ථාවල ඔවුන්ගෙ ඥාතීන් පවා ඔවුන්ව රෝහල්ගත කරන එක ගැන හිත හිතා ඉන්නවා, ආවොත් කොරෝනා බෝවෙයි කියල. එහෙම හිටපු ගොඩක් අය පහුගිය කාලෙ ගෙදරම මිය ගියා.” ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ පවසන්නීය.

එසේ නිවෙස් තුළදීම මිය ගිය බොහෝ රෝගීන් කොරෝනා ආසාදිතයන් බව දැන ගැනීමත් සමග මේ භීතිකාව තවත් බරපතළ විය. මේ වනවිට ලංකාවේ කොරෝනාවෙන් මියගිය අයගෙන් දෙකින් පංගුවකගේ මරණය වී ඇත්තේ නිවාස තුළය. ඒ පිරිසගෙන් වැඩි හරියක් කොළඹ නාගරික සීමාවේ පදිංචිකරුවෝය. හෘදයාබාධයකින් හෝ වෙනත් නිදන්ගත රෝගයක් උත්සන්න වී එලෙස නිවෙස තුළදීම මිය ගිය බොහෝ දෙනා “මියගියාට පසු රෝගය පොසිටිව් වීම” ගැන ද සමාජය තුළ ඇත්තේ කුකුසකි.

“අපි මේ දවස්වල නිවස තුළම මිය යන හෝ රෝහලට ඇතුළත් කරද්දිම මිය යන හැමෝගෙම පී. සී. ආර්. පරීක්‍ෂණය කරනවා. එහෙම මිය ගිය කිහිපදෙනෙකු තුළ මේ වයිරසය ශරීරගත වෙලා තිබුණු බව අපිට දැනගන්න ලැබුණෙ ඒ අනුවයි. මියගියාට පස්සෙ කොවිඩ් පොසිටිව් වෙනවා කියල සමාජය තුළ කතාබහක් පැතිරුණේ මේ නිසයි.” කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා, නීතිඥ ඉරේෂා සමරවීර පවසන්නී ය.

ඇය පෙන්වා දෙන පරිදි, එලෙස මියගිය අය අතරින් පහළොස් දෙනකුට පමණ මෙම වයිරසය ශරීරගත වී තිබිණි. මේ ආකාරයට මිය ගොස් ඇති අයගෙන් සියයට අනූනවයක ප්‍රතිශතයක් ම මිය ගොස් ඇත්තේ ඔවුන්ට කලක් තිස්සේ පැවැති වෙනත් නිදන්ගත රෝගයක් හේතුවෙන් හෝ වයස්ගත වීම නිසා ය.
“ඒ නිසා මේ වයිරසය ඇඟේ තිබුණත් ඇතැම් අය කොරෝනා රෝග ලක්‍ෂණ පෙන්වන්නෙ නැතිවම මිය ගිහින්. ඇතැම් අයට රෝග ලක්‍ෂණ තිබුණත්, ඒකත් නිදන්ගත රෝගය නිසා ම ඇතිවූවක් වෙන්නැති කියල තමයි සමහර රෝගීන්ගෙ ඥාතීන් හිතල තියෙන්නෙ. මරණ පරීක්‍ෂණ සාක්‍ෂි විමසීම්වලදි බොහෝ දෙනා කියන්නේ ඒ කතාව. ඒ වගේ ම මේ දිනවල රෝහල්වල තියෙන තත්ත්වය නිසා රෝහල්වලට ගෙනයෑම ප්‍රමාද කළා කියලයි ඔවුන් පවසන්නෙ.” නීතිඥ ඉරේෂා සමරවීර පෙන්වා දෙන්නීය.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය පෙන්වා දෙන්නේ, නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින බැවින් වයිරස ශරීරගත වීම වැඩිවිය හැකි බවයි. ඒ නිසා එවැනි පුද්ගලයන් තමන්ගේ රෝගවලට නිසි පරිදි ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්වලට පැමිණීම කිසිසේත් ප්‍රමාද නොකළ යුතු බව ඇය අවධාරණය කරයි.

එහෙත් බොහෝ පුද්ගලයන් පවසන්නේ මේ දිනවල වෛද්‍යවරු හෝ හෙදියන් තමන්ගේ රෝග ගැන එතරම් සැකිල්ලක් දක්වන්නේ නැති බවයි. ඒ නිසා මේ දවස්වල බෙහෙත් ගන්නට යාමෙන් පළක් නැතැයි ඔවුහු පවසති. ඊයේ පෙරේදා දිනයක තමන්ට වැලඳුණ පපුවේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයකු මුණ ගැසීමට ගිය අයෙකු පැවසූයේ අදාළ වෛද්‍යවරයා තමන්ගේ ශරීරයේ අධිරුධිර පීඩන තත්ත්වය මැන්නේ නැති බවය. ඊට හේතුව වෛද්‍යවරයා රෝගියා ළඟට පැමිණීමට බිය වීමය.
එහෙත් ජාතික අක්ෂි රෝහලේ දියවැඩියා හා කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසන්නේ, එවැන්නක් කිසිදු රෝහලක දැකිය නොහැකි බවය. මේ දිනවල පවතින කොරෝනා රෝගයේ ස්වභාවය අනුව රෝග පරීක්‍ෂා කිරීම්වල යම් යම් වෙනස්කම් සිදුවුවත්, රෝගියෙකු නොසලකා හැරීමට කිසිවිටෙකත් වෛද්‍යවරයෙක් කටයුතු නොකරන ඔහු පෙන්වා දෙයි.

“වෛද්‍ය වෘත්තිකයෙක් හැමවෙලාවෙම රෝගයකට ප්‍රතිකාර කරනවා වගේම රෝගයක් පැතිරීම වළක්වා ගැනීම පිළිබඳවත් දැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ නිසා පවතින තත්ත්වය මත රෝගයක් පරීක්‍ෂා කිරීමේදී අනුගමනය කරන ක්‍රම අපි පුරුදු වෙලා තියෙන ක්‍රමවලට වඩා දැන් තරමක් වෙනස් විය හැකියි. එහෙත් කිසිවිටෙකත් රෝගියෙකු ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ.”

කෙසේ නමුදු බොහෝ පෞද්ගලික රෝහල්වලින් මේ දිනවල කියන කතාවක් වන්නේ උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවට සිය රෝහලෙන් ප්‍රතිකාර නොකරන බවය. ඇතැම් වෛද්‍යවරුන් කොරෝනාවට බිය වී ඇති බව ඉන් පැහැදිලිය. ඒ ගැන කතා කරන විට යුද්ධය පැවැති කාලයේ වූ කතාවක් අපට මතක් විය. එකල කොළඹ ඉගෙන ගන්නා තම දරුවන් ගැන දෙමාපියන් සිටියේ බියෙනි. කොයි මොහොතක බෝම්බයක් පුපුරා දරුවන්ට අනතුරක් වෙතැයි සිතමින් ඔවුහු මානසික පීඩාවෙන් සිටියහ.
මේ ගැන කොළඹින් දුර බැහැර රෝහලක රාජකාරි කරන ප්‍රකට විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්ගෙන් විමසූ විට ඔහු දී තිබුණේ අපූරු උත්තරයකි.

‘මමත් බ​යේ ඉන්නේ අපේ දුවත් ඉගෙනගන්නේ කොළඹ’

මේ කොරෝනා කාලෙත් ඉස්සර කොළඹට කොටි ගැහුවා මෙන් කාලයකි. තමන් මොන රැකියාව කළත් හැමෝම වාගේ ඉන්නේ බයෙනි.

“මේ වගේ අවස්ථාවකදී එවැනි පුද්ගලයකුට පී. සී. ආර්. පරීක්‍ෂණයක් කිරීමට හෝ නිරෝධායනය කරන්නට සිදුවුවහොත් ඒක පවා ඔහුගෙ සිතේ ප්‍රබල කම්පනයක් ඇති කරන්නට පුළුවන්. ඔහුගෙ මානසිකත්වය අන්තයටම කඩා වැටෙනවා. එතකොට සියදිවි හානි කරගන්න ඒ පුද්ගලයා ඉබේම පෙලඹෙනවා.”
ඊට අමතරව මේ මානසික ව්‍යාකූලතාවන් නිසා ඇතැමෙක් මත්ද්‍රව්‍ය භාවිතයට ද ඇබ්බැහි වීමේ ඉඩ ඇත. මනෝ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ නිවෙස් තුළ මේ දිනවල ගෘහස්ථ හිංසනය වැඩි වීමට බලපාන්නේ ද මෙකී මානසික ස්වභාවය බවයි.

කොරෝනා රෝගය වැලඳීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙසින් ද පුද්ගලයෙකුගේ හෘදය සහ මොළය ආශ්‍රිතව විවිධ දුර්වලතා ඇතිවිය හැකි බව සොයා ගෙන ඇති බවත්, විශේෂඥ කපිල රණසිංහ කියන්නේය. එලෙස මොළය දුර්වල වීමෙන් රෝගය සුව වූ පසුව ද එවැනි පුද්ගලයන් තුළ විවිධ මානසික සංකූලතාවන් ඇති වන බවත් හෙළි වී ඇත. විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ පෙන්වා දෙන්නේ, මේ පිළිබඳව මෙතෙක් ගැඹුරින් කතාබහ කොට නැතත්, දීර්ඝකාලීනව මේ නිසා මනෝ සමාජයීය ගැටලු වැඩිවීමේ ඉඩක් පැවතිය හැකි බවයි. එබැවින් හැකි තරම් ධනාත්මකව මෙම තත්ත්වය දෙස බලා, රෝගය පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගෙන, ඉන් වැළකී සිටීම කෝකටත් හොඳය.

lankaleadnews

No comments

Ads Place