Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අගමැති විවෘත කරයි.. නොදන්නා ඉතිහාසයක් කියයි..

  පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) 2020.11.20 දින ගරු අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ...

 


පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) 2020.11.20 දින ගරු අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත වුණි.

එම අවස්ථාව සඳහා එක්වුණු අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් වෙළඳ සංකීර්ණය විවෘත කළේය. අනතුරුව එය අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වුණි.

පහසුකම් රැසකින් සමන්විත මෙම නව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කඩිනම් කෙරිණි.

මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණය 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබීම විශේෂත්වයකි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය – වැය මඟින් ද ප්‍රකාශ කළේ රට සංවර්ධනය කිරීමට අදාළව තවත් ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක්ම කඩිනමින් ආරම්භ කරන බවයි.

මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්ව තිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි.

අග්‍රාමාත්‍යතුමාගේ සම්පූර්ණ කතාව මෙසේය,

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) විවෘත කිරීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. කොවිඩ්-19 තත්ත්වය තුළ වුවත් අපි අපේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රටේ සංවර්ධන කටයුතු කිසිවක් අඩාල කර නැහැ.

ඒ වගේම කුමන දුෂ්කරතා පැමිණියත් ජනතාවගේ දුෂ්කරතා මඟහැරීමට රජය ප්‍රමුඛස්ථානය දී විශේෂයෙන්ම කටයුතු කරනවා කියලත් ඔබ තමුන්නාන්සේලා දන්නවා.අපි අපේ ආණ්ඩු තිබෙන කාලේ ගත්ත වැදගත් තීන්දු අද වන විට මේ වගේ යථාර්ථයක් බවට පත්වෙලා තිබීම සතුටට කරුණක්.

 

එදා මේ වගේ සංවර්ධන ව්‍යාපෘති නිසි කලට ආරම්භ  නොකරන්න අපේ ජනතාව අදත් බෝහෝ පීඩාවන්ට මැදිවෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඔබ තමුන්නාන්සේලාට වගේම, ඔබගේ දරුවන්ගේ අනාගතය ගැනත් ඔබට සතුටු වෙන්න පුළුවන්.

අපි දන්නවා කාර්යබහුල ජීවිතය තුළ ඔබ සියලු දෙනා සොයන්නේ සුව පහසු දිවි පෙවතක්. අප කල්පනා කරන්නෙ ඔබට වගේම ඔබ ජීවත්වන වටපිටාවත් සුව පහසු වටපිටාවක් කරන්නයි. එදා වගේම අදත් අපි ඔබට ඒ වටපිටාව නිසි ක්‍රමවේදයකට සකසා දෙන්න පියවර ගන්නවා. අරගෙන තියෙනවා. එදා අපි පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) හදන්න මූලික සැලසුම් සකස් කළේ කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසඳුමක් විදිහට.

ඒ වගේම මැනිං වෙළඳ සංකීර්ණය ඔස්සේ රටේ විවිධ ස්ථානවෙත එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම විධිමත් සහ පහසු ක්‍රමවේදයකට ලක්කරන්න අපට අවශ්‍ය වුණා. ජනතාවගේ පහසුව වගේම, ජනතාවගේ අවශ්‍යතාවයන් ගැන හිතලා, අපි එදා 2011 දී කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට අරන් ගියා. වත්මන් ජනාධිපතිතුමා, එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි කාලයේ, එතුමාගේ උපදෙස් පරිදි මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණයේ කටයුතු නියමිත පරිදි නිම කරලා ජනතා අයිතියට පත් කළා.

මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යන අවස්ථාවේදීම තමයි කොළඹ එළවළු වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමට මූලික සැලසුම් සකස් කළේ. ඒ අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ දී අපි ආරම්භ කළා.

මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 1,192 ක්, වාහන 600ක ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හෝටල් ඇතුළු පහසුකම් රැසක් තිබෙනවා.

මේ කටයුත්ත සිදු කරද්දී, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර ඇතුළු පිරිස සිහිපත් කරන්න ඕනි.

ඔවුන්ගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගිය දිනවල කඩිනමින් සිදුකරන්න අපිට පුළුවන් වුණා. මෙය ඉදිකරන්න අපි වැය කළ මුදල බිලියන 6.5ක්.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ මෙහි කටයුතු මන්දගාමීව නොකරන්නට මෙය ජනතා අයිතියට පත්වී බොහෝ කල් ගතවී ඇති බවත් කියන්න ඕනි.

මේ වෙළඳ සංකීර්ණයේ වැඩකටයුතු අවසන් වෙන්න නියමිතව තිබුණේ 2017 වර්ෂයේදී. නමුත්, අපේ රජයක් යටතේ ආරම්භ කරපු ව්‍යාපෘතිය අපේ රජයක් යටතේම විවෘත කරන්න ලැබීම ගැන සතුටුයි. මොකද, ඒ නිසා හිටපු වෙළෙඳ මහතුන්ටම එම වෙළඳසැල් ලබා දෙන්න අපිට පුළුවන් වුණා. අපි හදපුවා අපිම විවෘත කරපු නිසා එහෙම කරන්න ලැබුණා. නැත්නම් කොළඹ නගරයේ අපි හදපු මහල් නිවාස දෙක තුනක එකම අයිතිකාරයෙක් පදිංචි කළා වගේ වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න අපි සූදානම් නැහැ.

යහපාලන ආණ්ඩුව කාලේ මේ වෙළඳ සංකීර්ණය විවෘත කරානම්, එයාලගේ හෙන්චයියන්ට මේ වෙළඳසැල් ටික ලබා දෙනවා. අපි ආරම්භ කළාම යහපාලන ආණ්ඩුව මේවා අඩපණ කරලා පළිගත්තා. මිත්‍රවරුනි ඔවුන් පළිගත්තෙ අපෙන්ද? මේ රටෙන්ද? කියලා දැන් ඔබට වැටහෙනවා ඇති.

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කළා. අපි හදපු හැම දේකින්ම පලි ගත්තා. අපේ ළමයිගෙන් පලි ගත්තා. ගෝඨාභය ජනාධිපතිතුමාට නඩු දැම්මා. පොලීසි, සී අයි ඩී, කොමිසන්වලට කට උත්තර දෙන්න වුණා. මට මතකයි මටත් හතර පස් වතාවක් කට උත්තර දෙන්න උනා.

රටක් නිදහස් කරගෙන, යුද්ධයක් අවසන් කරලා, රට සංවර්ධනය කළාම අපෙනුත් පලි ගත්තා. ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස් වුණා. රාජ්‍ය සේවකයින් අගය කරනවා වෙනුවෙනට රට වෙනුවෙන් වැඩ කරපු රාජ්‍ය සේවකයින් අල්ලලා හිරේ දැම්මා. ඔවුන් හිර බත් කෑවා. අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය අද තියෙනවා. ඔවුන් නිදොස් කොට නිදහස් උනේ. රටේ රාජ්‍ය සේවකයින් බයයි වැඩ කරන්න. ඇමතිවරයෙක් තීරණයක් ගත්තාම, රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න බය වෙනවා. හිර බත් කන්න වෙයිද? කියලා දෙපාරක් හිතන්න ඕනි යුගයක් තිබුණා.

කොළඹ නගරයේ අධික වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ ක්‍රියාවලියේ දී වැඩිම අවධානයක් යොමු වූයේ කොළඹ මාළු වෙළඳ සංකීර්ණය සහ කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයට. අපි එදා පෑලියගොඩට මේවා ගෙන යාම ඊට හොඳම විසඳුමක් වෙයි කියන එක තේරුම්ගත්තා.

මාළු, එළවළු තොග වෙළෙඳාම පමණක් නෙමෙයි පිටකොටුවේ පවත්වාගෙන යන වියළි ආහාර තොග බඩු සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තොග බඩු ද ඉදිරියේ දී පෑලියගොඩ ගෙන යන්න අපි කටයුතු කරනවා. ඒ ජනතාවගේ සුව පහසුව වෙනුවෙන්.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වෙන නිසා ඉතා පහසුවෙන් මෙම තොග බඩු කොළඹට අරන් එන්න ගොවි මහතුන්ට හැකිවෙනවා. ඒ වගේම කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට පහසු වෙනවා.

ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සියල්ල සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධයි. ඒ නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදු කරන්නත් මෙය කදිම කේන්ද්‍රස්ථානයක් වෙනවා. මහල් හතරකින් සමන්විත මෙම වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවීම විශේෂත්වයක්. රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් කැප වන බව ප්‍රකාශ කරමින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාව සඳහා, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, නලීන් ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

No comments

Ads Place