Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෝනාර් රහස් රැගෙන පානදුරට පැමිණි කෙටි වරල් තල්මස් රංචුව යළිත් දියඹට ගෙන ගියේ මෙහෙමයි.

ඉකුත් 2 වැනි දා සවස් භාගයේ පානදුර මුහුදු තීරය වෙනදා මෙන් නොව තද අඳුරු පැහැයකින් දිස්වන්නට විය. කොරෝනා ඇඳිරි නීතියට කොටු වී කර කියා ගත නොහැකි...


ඉකුත් 2 වැනි දා සවස් භාගයේ පානදුර මුහුදු තීරය වෙනදා මෙන් නොව තද අඳුරු පැහැයකින් දිස්වන්නට විය. කොරෝනා ඇඳිරි නීතියට කොටු වී කර කියා ගත නොහැකිව සිටි පානදුර වෙරළබඩ ජනතාව මෙසේ එකවරම වෙනස් වූ අඳුරු මුහුදු තීරය දැක තව තවත් වික්ෂිප්ත වූයේ සුනාමිය වැනි තවත් මරාලයක් තමන් ගිල ගන්නට එන්නේදැයි සැකයෙනි.

එනමුත් මදක් විමසිලිමත්ව බැලීමේදී ඔවුන්ට හඳුනා ගත හැකි වූයේ දැවැන්ත මසුන් රංචුවක් වෙරළ දෙසට පීනා එන බවකි. මේ අනුව වෙරළ තීරයට රැස් වූ පානදුර ජනතාවට දකින්නට ලැබුණේ වෙරළ කරා ඇදී එන දැවැන්ත තල්මස් රංචුවකි. මඳ වෙලාවක් නොගැඹුරු මුහුදේ එකට තෙරපෙමින් ඔබ මොබ පිහිනමින් අපහසුවෙන් වරල් ගසමින් සිටි සිය ගණනක මේ තල්මස් රංචුව තවත් නිමේෂයකදී වෙරළත සිප ගත්තේ යළි දියඹට නොයන අපේක්ෂාවෙන් බව ජනයා තේරුම් ගත්හ. වෙරළේ සිර වූ තල්මසුන් ගැන ප‍්‍රවෘත්තිය හීයක වේගයෙන් සමාජ ගත වෙන්නේ ඉන්පසුවය.

පානදුර වෙරළේ සිර වූ සියයක පමණ තල්මස් රංචුව පිළිබඳ මේ ප‍්‍රවෘත්තිය ඉන් පසු පරිසරවේදීන්, පොලිසිය, නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් වෙතද ක්ෂණිකව ගලා ගෙන ගියේ ය. ඉන්පසු වහ වහා තල්මසුන්ගේ ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක වන්නට පටන් ගත්තේය.

පානදුර පොලිසිය, නාවික හමුදාව, වනජීවී සංරක්ෂණ කණ්ඩායම්, පරිසරවේදීන් හා එක් වුණු පානදුර ජනයා ලෝකයේ පළමුවරට ක‍්‍රියාත්මක වන තල්මසුන් බේරාගැනීමේ මහා මෙහෙයුමට එක් වූහ. විශේෂත්වය වන්නේ පානදුර ප‍්‍රමුඛ බස්නාහිර පළාතටම කොරෝනා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී මෙවන් ගලවා ගැනීමේ කටයුත්තකට මුල පිරීමය. පරිසරවේදීන් පවසන ආකාරයට මේ තල්මස් රංචුවේ සාමාජිකයන් ගණන 70 කටත් වඩා වැඩිය. ඒ අතර මුල්ලා නොහොත් ඩොල්ෆින් මත්ස්‍යයකු ද සිටියේය. සාගරයේදී කුමන හෝ අකරතැබ්බයකට හසු වීමෙන් මෙසේ මංමුලා වී ගොඩ පැමිණි තල්මසුන් රංචුවට ශ‍්‍රී ලාංකිකයින්ගේ සුහදත්වයේ දෑත් මෙන්ම මනුෂ්‍යත්වයේ ලෙන්ගතුකම දිගු කෙරිණි. ඒ අනුව කොරෝනා වසංගතය නොතකා තල්මසුන් බේරා ගෙන මහා මුහුදට රැගෙන යන මහා මෙහෙයුම අඳුරේම ක‍්‍රියාවට නැගිණි. ලෝකයේ දියුණු යැයි කියන රටවලදී මෙසේම අතරමං වන තල්මසුන්, ඩොල්ෆින් මසුන් හිත් පිත් නැති අමානුෂිකයින් විසින් තියුණු ආයුධවලින් කපා කොටා මරා ඒ මුහුදු තීර රුධිර සාගර බවට පත්කරද්දී, සංග‍්‍රහශීලී ශ‍්‍රී ලාංකිකයෝ එදා පානදුර වෙරළ තීරය තල්මසුන්ට ආදරයේ උල්පතක් බවට පත් කළහ.

මේ අනුව ගලවාගැනීමේ කණ්ඩායම් විසින් එක් එක් තල්මසා යළිත් මුහුදු රැළි අතර හොවා, ඩිංගි යාත‍්‍රා මඟින් දියඹට රැගෙන ගොස් මුදා හළහ. රෑ පහන් වන තුරා සිදු කරන ලද මේ මෙහෙයුම අපූර්වත්වයෙන් සමන්විත වුවත් අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබිණි. මන්ද, දියඹට ගෙන

ගොස් මුදා හැරී ඇතැම් මත්ස්‍යයින් යළිත් ගොඩ බිම බලා පැමිණීම ගලවා ගැනීමේ කණ්ඩායම් අපේක්ෂා භංගත්වයට පත් කිරීමට හේතුවක් වූ නිසාය. එනමුත් වෙරළට පැමිණ සිටි බොහෝ සත්වලෝලීන් තම ජීප්රථවල විදුලි ලාම්පු දල්වමින් මෙහෙයුම් බිම ආලෝකවත් කරන අතරේ ජනතාව සහ අනෙකුත් පරිසරලෝලීන් වෙරළේ සිරවුණු තල්මසුන් මහත් වැර යොදා, රළ කපා දමමින් මුහුදට තල්ලූ කරදීම ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත මහත් ශක්තියක් ගෙන දුන්නේ ය. ඒ අනුව තල්මසුන් ගලවා ගැනීමේ යෝධ මෙහෙයුම අවසානයක් දක්වා ක‍්‍රියාවට නැගුන මුත් ඒ වන විටත් එක් තල්මසකු අවාසනාවන්ත ලෙස දිවිය හමාර කළේය.

මෙහෙයුම අවසාන වන විට වටින් ගොඩින් එළිය වැටි තිබුණු අතර, ඒ වන විට දියඹට ගෙන ගොස් දැමූ තවත් තල්මසුන් තිදෙනකු හා ඩොල්ෆින් මත්ස්‍යයා ද මෙලොව හැර ගොස් ඔවුන්ගේ අප‍්‍රාණික සිරුරු යළිත් පානදුර වෙරළට පැමිණ තිබිණි. ඒ සියල්ලන්ගේ සිරුරු වනජීවී පශු වෛද්‍යවරුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හා මුහුදු ක්ෂීරපායින් පිළිබඳ පර්යේෂණවලට යටත්ව පසු දා හිරු නැගුණු උදයේ පානදුර වෙරළේදී සිදු කෙරිණි. ඒ කනගාටුදායක සිදුවීම හැරෙන්නට පානදුර වෙරළ බලා මං මුලා වී පැමිණි තල්මසුන් පිළිබඳ ලොව අංක එකේ මෙහෙයුම අතිසාර්ථකව නිමාවට පත් වූයේ සත්ව අවිහිංසාව පිළිබඳ ශ‍්‍රී ලාංකිකයින්ගේ පූර්වාදර්ශය ලොව සියලූම රටවලට පසක් කරමිනි.

නමුත් මෙම අති සාර්ථක මෙහෙයුමට සම්බන්ධ වූ හා තල්මසුන් පිළිබඳ දේශීය විද්වතුන්ගේ, පරිසරවේදීන්ගේ හඬටද අප යම් ඉඩ කඩක් ලබා දිය යුතුය. මන්ද, මෙසේ හිටි හැටියේම තල්මසුන් රංචුවක් වෙරළට පැමිණීමට හේතු පහදන්නට හා මේ කුමන වර්ගයේ තල්මසුන්ද යන්න හා මෙසේ පැමිණි තල්මසුන් ගේ ගලවාගැනීමේ මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව කරුණු කාරණා ඔවුන්ගේ හඬින් අසා දැනගත යුතු වන නිසාය. මේ ඒ සඳහා අවස්ථාවයි.

”හවස 2-3 ට විතර ඈත මුහුදේ කළු පාට යමක් ගොඩ ගහනවා දැක්කා. අපි හිතුවේ සුනාමි වගේ මුහුද ගොඩ ගලනවා වෙන්නැති කියලා. ඒත් බලපුවහම සීයක් විතර ඉන්න විශාල මාළු රැලක් තමයි ගොඩබිම පැත්තට ආවේ. ටික වෙලාවකින් උන් ඔක්කොම ගොඩ එන්න පටන් ගත්තා. ඒ පාර තමයි මේ ආරංචිය කටින් කට ගියේ’ යැයි වෙරළේ පදිංචි අයෙකු පැවසී ය.

මේ කුමන වර්ගයේ තල්මසුන් ද, මෙවන් අනපේක්ෂිත ගොඩගැසීමකට ඔවුන් ලක්වන්නේ කෙලෙසකද යන්න පිළිබඳව අප ප‍්‍රශ්න කළේ සාගර ජීවීන්, සාගර ක්ෂීරපායින් හා සාගර සම්පත් පිළිබඳව ප‍්‍රවීණයන් දෙපලකිනි. ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතාගෙන් හා ආචාර්ය ආශා ඩි වොෂ් මහත්මියගෙනි. ආශා ඩි වොෂ් මහත්මිය සෘජුවම තල්මසුන් ගලවාගැනීමේ මෙහෙයුමට තම ක‍්‍රියාකාරී දායකත්වය හා මගපෙන්වීම ලබාදුන් අතර, පළමුව මියගිය තල්මසා තම දිවිය හමාර කරන ලද්දේ වොෂ් මහත්මියගේ රැකවරණය යටතේ සිටිද්දීය.

”මේ තල්මස් වර්ගය, එහෙමත් නැතිනම් විශේෂය අප හඳුන්වන්නේ පයිලට් තල්මසුන් කියලා. සාමාන්‍යයෙන් අපේ රට ප‍්‍රසිද්ධවෙලා තියෙන්නේ ලෝකයේ විශාලතම තල්මස් විශේෂය දකින්න පුළුවන් රටක් හැටියට. ඒ කියන්නේ නිල් තල්මසුන්ට. නමුත් මෙසේ පැමිණ තිබෙන්නේ පයිලට් වේල්ස් (Pilot Whales) නමින් හඳුන්වන තල්මසුන්. මොවුන් වඩාත් නිවැරදිව හඳුන්වනවා නම්, කෙටි වරළ දරන පයිලට් තල්මසා Short finned tailed whales ලෙස තමයි නම් කරන්නේ ,මේ තල්මසුන් ගණයේ (Globicephala) විශේෂ දෙකක් දිවි ගෙවනවා. ඒ short finned tailed (Globicephala macrorhynchus) සහ long finned tailed (Globicephala melas) වශයෙන්. කොහොම වුණත් පළමු කාරණය තමයි මේ තල්මසුන් නිල් තල්මසුන්ට වඩා රංචු ලෙස දිවිගෙවීමට ඇති ලැදියාව සහ තල්මස් රංචුව නිරන්තරයෙන්ම නායකයා අනුගමනය කරමින් කටයුතු කිරීම. ඒ අනුව තමයි මෙවන් ගමනක් එන්න ඇත්තේ. ඒ කියන්නේ නායකයා අනුගමනය කරමින් වෙරළ කරා එන්න ඇති. ගැඹුරු මුහුදේ ජීවත්වන තල්මසුන් තම පණිවිඩ හුවමාරු ක‍්‍රමවේදය සහ ගමන් දිශානතිය තෝරාගන්නේ සෝනාර් තරංග ක‍්‍රමවේදයක් ඔස්සේ. ඒ කියන්නේ තමන් විසින් නිකුත් කරන තරංග ධාරාවක් මගින්ම යළිත් යම් දැනීමක් ලබා ගන්නවා. මේ සෝනාර් තරංග පද්ධතිය අවුල් තත්ත්වයට පත්වන යම් ක‍්‍රියාවක් හේතුකරගෙන ඔවුන්ගේ දිශානතිය වෙනස් වෙන්න පුළුවන්.

එහෙමත් නැතිනම්, මුහුදේ පාරිසරික තත්ත්වයේ වෙනස්වීමක් මීට බලපාන්න පුළුවන්. එනම්, සාගරයේ උණුසුම් දියවැල් හා සිසිල්වීම යන කාරණා අතර සිදුවන සංවහන ධාරා ක‍්‍රියාවලිය නිසා උන්ගේ පරිසරය මෙන්ම, සෝනාර් පද්ධතිය වැරදි විදිහට ක‍්‍රියාත්මක වී මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. එසේ මාර්ගය වෙනස් වී නොගැඹුරු මුහුදු ප‍්‍රදේශයකට ආවොත් අර කියන සෝනාර් ක‍්‍රියාවලිය හරි හැටි පවත්වාගෙන යන්න ඔවුන්ට අපහසුයි. අන්තිමේ රළ පහරට අසුවෙලා ගොඩට ගසාගෙන එන එක සිදුවෙනවා. ඉතිං මෙසේ අතරමං වන සතුන් ගලවාගැනීමේ කටයුත්තක් සිදුවුණේ නැතිනම්, අනිවාර්යන්ම ඒ සතුන් මිය යනවා. මේ සතුන් මුහුදට යළි යොමුකිරීම අතිශයෙන්ම වෙහෙසකර හා දුෂ්කර කාර්යයක් වුණා. මන්ද, මේ සතුන් සිටියේ දැඩි ආතතියකින්. ඒ වගේම මේ සතෙකුගේ බර කිලෝ 1000 -3000ත් අතර වෙනවා. දිගින් අඩි 10-18 ක් විතර වෙනවා. වරල් ගහනකොට, දඟලනකොට ඔවුන් හසුරවන්න අමාරුයි. නමුත් අපේ උත්සාහය සාර්ථක වුණා’ යැයි ඔවුහු සඳහන් කරන්නේය. එක් එක් ශරීර ප‍්‍රමාණ දරන තල්මසුන් විශේෂ 13 කට වැඩි ප‍්‍රමාණයක් මහ මුහුදේ දිවි ගෙවති. ඒ අතරින් බහුතරයක් ශ‍්‍රී ලංකාවෙන්ද වාර්තා වෙති. ලොව දිවිගෙවන විශාලතම ක්ෂීරපායි සත්වයා වන නිල් තල්මසාද, ගොඩබිම වසන විශාලතම සත්වයා වන අලි ඇතුන්ද වාර්තාවීම නිසා ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොව, ලෝකයේම මුතු ඇටය බවට පත්ව තිබේ.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාගර සම්පත් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හා වත්මන් දකුණු කලාපය භාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා ප‍්‍රකාශ කරන පරිදි, පසුගිය කාලයේදී අහම්බයෙන් මෙරටට පැමිණ සිටි එලිපන්ට් සීල් සමග සමුද්‍රීය ක්ෂීරපායින් විශේෂ 34 ක් ශ‍්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් වාර්තා වේ. ඒ අතර, අතිශය දුර්ලභ මුහුදු ඌරා (Sea Cow/ Dugon) ද වේ. බහුතරය ඩොල්පින් හා තල්මසුන් ය.

එසේම, සමුද්‍රීය ක්ෂීරපායින් පිළිබඳ විද්වතුන් පවසන පරිදි තල්මසුන් හා ඩොල්පින් විශේෂ අතරද යම් සමානකම් දක්නට ඇත. එනිසා විටෙක අප තල්මසුන් යැයි සිතන සතකු ඩොල්පින් සතුන් ලෙස වර්ගකරන අවස්ථා ඇත. නිදසුනක් ලෙස සුප‍්‍රකට ෆ‍්‍රී විලී චිත‍්‍රපටයේ කුඩා දරුවකු හා රඟපාන කිලර් වේල් වර්ගයේ සත්වයා සැබෑ තල්මසෙකු නොව, ඩොල්පින් පවුලේ විශාලතම සත්වයා ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

ඒ කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවට මෙවර 60-70 ක රංචුවක් ලෙස පැමිණ ඇත්තේ සැබෑ තල්මසුන්ට අයත් කෙටි වරල් පයිලට් තල්මසුන් රංචුවකි. ධීවරයින් විසින් මොවුන් හඳුන්වන්නේ කොමඩුවා යන නමිනි. මග වැරදීමෙන් මෙසේ පැමිණීමට මොවුන්ට සිදුවූයේ ඔවුන් පණිවිඩ හුවමාරු කරගන්නා සෝනාර් පද්ධතියේ අවුලක් නිසා බව විශ්වාස කරයි. මෙසේ ඔවුන්ගේ සෝනාර් ක‍්‍රියාවලිය අවුල් වීමට හේතුව ඇමරිකාව, ඉන්දියාව හා ජපානය එක්ව ඉන්දියන් සාගරයේ සිදුකරන ලද එක්තරා යුද අභ්‍යාසයක් බවට ඉඟි පහළ වී ඇත. ඉන්දියන් සාගරයේ බල තුලනය සඳහා ඇමෙරිකාව හා ඉන්දියාව එක්ව හොර රහසේ දිය යටින් ගින්දර ගෙනයෑම නිසා සිදු වූ සිද්ධියක් හේතුවෙන් මෙසේ තල්මසුන් ගොඩ පැමිණි බවට ද මත පළ වී ඇත. එනම්, සබ්මැරීන යාත‍්‍රා ගමන් ගන්නේද සෝනාර් තාක්ෂණය උපයෝගී කරගනිමිනි. අධි බලැති සෝනාර් තරංග ධාරාවක් (ප‍්‍රහාරයක්) එල්ලවන විට තල්මසුන්ගේ සෝනාර් ක‍්‍රියාවලිය අඩපන වී මෙවන් සංසිද්ධීන් සිදුවීමට ඇති ඉඩකඩ බැහැර කිරීමට නොහැකිය. එය එසේ නම්, හොර රහසේ සිදුවී ඇති එවන් මෙහෙයුමක රහස් මේ වන විට තල්මසුන් ?න විසින් ගොඩ රැගෙන පැමිණ තිබේ. එය එසේ නම්, චීනයට හෝ චීන වරායකට නොගොස් ශ‍්‍රී ලංකාවට පැමිණියද තල්මසුන්ගේ ගොඩ පැමිණීම අපට වඩා කලාපීය වෙනත් බලවතුන් විසින් ජෛව විද්‍යාත්මකව නොව තාක්ෂණිකව පිරික්සුමට ලක් කෙරෙන බව නම් ඉතා පැහැදිලිය. නමුත් එය වෙනම කතාවකි.

කෙසේ නමුත්, තල්මසුන්ගේ මෙහෙයුමට දායකත්වය දරා ඔවුන් බේරා ගැනීමට ශ‍්‍රී ලාංකිකයින් ගත් උත්සාහය අද ලෝක ජනයාගේ පැසසුමට ලක්ව තිබේ. මෙම අවස්ථාව යළිත් වරක් ශ‍්‍රී ලාංකිකයින්ගේ සංග‍්‍රහශීලී බව, කාරුණිකත්වය, දයාව කරුණාව ආදරය හා සත්ව අවිහිංසාව පිළිබඳව වන අපගේ අනන්‍යතාව ලොවට කියන කදිම පරමාදර්ශයකි. එසේ හෙයින් මෙම අවස්ථාවට සහභාගී වූ සියල්ලන්ටම සුබපතන්නට අප මෙය අවස්ථාවක් කරගන්නා බවද ලියා තබන්නට කැමතිය.

ජගත් කණහැරආරච්චි ඡා යාරූප –
ආශා ඩි වොෂ් හා අන්තර්ජාලය ඇසුරෙනි

lankaleadnews

No comments

Ads Place