Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා සමඟ ජීවත්වීමට පුරුදු වෙමු.

-ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර- 2019 නොවැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් මතුවූ කොවිඩ්-19 වෛරසය මේ වන ව...


-ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර-

2019 නොවැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් මතුවූ කොවිඩ්-19 වෛරසය මේ වන විට මුළු ලෝකයම ගිලගෙන හමාරය. පියවි ඇසට නොපෙනෙන, නැනෝ මීටර් 125ක තරම් වූ විෂ්කම්භයක් ඇති ඉතා කුඩා ක්ෂුද්‍ර අන්ශුවක් මුළු ලෝකයම, මුළු මානව සංහතියම ගිලගෙන හමාරය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, නව කොරෝනා නොහොත් කොවිඩ්-19 වෛරසය දරුණු වසංගතයක් බවට පත්වී හමාරය. මෙම ලිපිය ලියන මොහොත වන විට, ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන කෝටි 5 ඉක්මවා තිඛෙන අතර, මියගිය ගණන ලක්ෂ 12 ඉක්මවා ඇත්තේය. පළමු අදියෙරේදී, යම්තාක් දුරකට සාර්ථක ලෙස පාලනය කරන ලද සමහර රටවල පවා, දෙවෙනි තුන්වැනි රැළි වශයෙන් කොරෝනා වසංගතය යළි යළිත් හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේය. ඇතැම් විශේෂඥයන්ගේ ඇගයීම්වලට අනුව, පසුගිය වසර සියයක පමණ කාලයක් තුළ මානව වර්ගයා මුහුණ දුන් දරුණුතම වසංගතය මෙය වන්නේය.

ශ්‍රී ලංකාවේද, පසුගිය මාර්තු මාසයේ ප්‍රථම වතාවට කොරෝනා ආසාදිතයෙකු හමුවූ අතර, දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමට අපට හැකි විය. සති ගණනක් රට පුරා පනවා තිබුණු ඇඳිරි නීතිය ඉවත් කොට, පසුගිය අප්‍රේල් අග භාගයේ සිට රට ක්‍රමයෙන් විවෘත කරනු ලැබීය. අනතුරුව, රටේ ජන ජීවිතය ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වන්නට පටන් ගත්තේය. එහෙත්, පසුගිය ඔක්තෝබර් 4 වැනි දින, මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන කාන්තාවකට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරුවීමෙන් පසුව තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේය. වඩාත් නිශ්චිතව කියතොත්, ඉන් අනතුරුව කොරෝනා වසංගතයේ දෙවෙනි රැල්ල ඉතා වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන ඇත්තේය. මිනුවන්ගොඩ පොකුරට අමතරව පෑලියගොඩ මාළු වෙළඳසලින්ද බහුල ලෙස ආසාදිතයින් හමුවන්නට පටන් ගත් අතර, මෙම පොකුරු දෙකෙහි ආසාදිතයෝ සහ ආශ්‍රිතයෝ මේ වන විට රට පුරා විසිර සිටිති. එපමණක් නොව, වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර තුනකින් කොරෝනා ආසාදිතයන් සියයකට වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේය. බන්ධනාගාර තුළ තවදුරටත් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැලැක්වීමේ පියවරක් හැටියට, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් චෝදනා ගොනුකොට හැකි ඉක්මනින් ඇප මත මුදා හැරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේය.

මේ අතර, ඔක්තෝබර් මාසයේ ඇරඹුණු දෙවෙනි රැල්ලත් සමඟ පැතිරෙන කොවිඩ්-19 වෛරසයේ ප්‍රභේදය, මීට කලින් මාර්තු-අප්‍රේල් මාසවල දක්නට ලැබුණු වෛරස ප්‍රභේදයට වඩා බොහෝ සෙයින් වෙනස් බව කියැවෙන්නේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු වී තිඛෙනාතර, මෙවර ශ්‍රී ලංකාව තුළ පැතිරෙන වෛරස ප්‍රභේදය යුරෝපීය රටවල දක්නට ලැඛෙන වෛරස ප්‍රභේදයට සමාන බව කියැවෙන්නේය. මෙහිදී කාගේත් දැඩි අවධානයට යොමුවිය යුතු සුවිශේෂී කාරණය, වඩාත් නිවැරදිව කියතොත් භයානක කාරණය වන්නේ, මෙම කොවිඩ්- 19 වෛරස ප්‍රභේදය ආසාදිතවූවන්ගේ සිරුරු තුළ වෛරස සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක පැවතීමය. ඒ නිසාම, ආසාදිතයෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ සම්භාවිතාවය ඉහළ මට්ටමක පැවතීමය. පළමු රැල්ල හා සසඳන විට, ගෙවීගිය මාස එකහමාරක කාලය තුළ ඉතා වේගයෙන්, බහුල ලෙස ආසාදිතයන් වාර්තාවීමට මෙයද එක් හේතුවක් බව කියැවෙන්නේය.

මෙම පසුබිම තුළ, නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මේ වන විට සමාජගත වී හමාරද? නැද්ද? යන්න පිළිබඳව සංවාදයක්ද ඇතිවී තිඛෙන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් ශ්‍රී ලංකාව හඳුන්වනු ලබන්නේ පොකුරු වශයෙන් ආසාදිතයින් වාර්තා වන රටක් ලෙස වන අතර, ආසියානු කලාපීය රටවල් අතුරින් කොවිඩ්-19 වෛරසය සමාජගතව පැතිරෙන රටවල් හැටියට මෙතෙක් හඳුන්වා දී ඇත්තේ බංග්ලාදේශය හා ඉන්දුනීසියාව පමණය.

කෙසේ වුවද, ශ්‍රී ලංකාව සමාජ සම්ප්‍රේෂණ අදියර අභියසට පැමිණ ඇති බවට ඇතමුන් අනතුරු අඟවන අතර, තවත් පිරිසකගේ මතය වී ඇත්තේ දෙවෙනි රැල්ල හරහා බිහිවී ඇති පොකුරු මර්ධනය කිරීමට අප සමත් වනු ඇති බවය. මේ අතර, තව සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් හෝ තුන්වැනි රැල්ලක් ඇතිවිය හැකි බවටද අනතුරු ඇඟවෙන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථදැක්වීම කෙසේ වුවද, මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවල ආසාදිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් රට පුරාම විසිර සිටීමෙන් මතුව ඇති අවදානම කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක්කේය. ඒ අතරම, තවත් ප්‍රදේශ ගණනාවකින් කුඩා පොකුරු නැතහොත් උප පොකුරු බිහිවීමද සුළුකොට තැකිය නොහැක්කේය. ඒ අනුව බලනා විට, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වී හමාරද? නැද්ද? යන්න ගැන වාද-විවාද කරනු වෙනුවට, රටේ සෑම ප්‍රදේශයකින්ම පාහේ කොරෝනා ආසාදිතයින් හමුවන බව පිළිගෙන, ඒ හරහා මතුව ඇති අවදානම හා තර්ජනය පැහැදිලිව වටහා ගැනීම වඩා වැදගත් බව අපගේ නම් අදහසය. එම අවදානම් සහගත තත්ත්වයට ගැලපෙන පරිදි ආරක්ෂිතව හැසිරීම සියලූ දෙනාගේම වගකීමක් බව අපගේ නම් අදහසය.

පසුගිය ඔක්තෝබර් 4 වැනි දින කොරෝනා දෙවෙනි රැල්ල ආරම්භවීමත් සමඟම රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර, අවදානම් සහගත යැයි හඳුනාගත් ප්‍රදේශ හුදෙකලා කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. ඊට අමතරව, ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් පොලිස් බලප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබීය. ඊළඟ පියවර ලෙස, ඔක්තෝබර් 29 දින සිට නොවැම්බර් 9 දින දක්වා වූ කාලය තුළ, මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර, දැඩි සංචරණ සීමාවන්ද හඳුන්වා දෙනු ලැබීය. කෙසේ වුවද, පසුගිය නොවැම්බර් 9 වැනි සඳුදා සිට “නව සාමාන්‍ය තත්ත්ත්වයන්” යටතේ රට යළි විවෘත කිරීමට රජය පියවර ගත්තේය. කොරෝනා සමඟ ජීවත්වීමේ නව සාමාන්‍යකරණ සිද්ධාන්තය ක්‍රියාවට නැංවීම නොවැම්බර් 9 වැනිදා සිට ඇරඹෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පසුගියදා පවසා සිටියේය. කොවිඩ් රෝගය වැළඳ නොගෙන, එය තවත් කෙනෙකුට ආසාදනය නොකොට, කොවිඩ් සමඟ ජීවත්වීමේ නව තත්ත්වයට අනුගත වෙමින්, වෛරසය පරාජය කිරීම සඳහා සහාය වන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව, මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය, “කොවිඩ් තුන්වැනි අදියර” ලෙස නම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. එපමණක් නොව, කොරෝනා මර්ධන සෞඛ්‍ය පිළිවෙත් අඩංගු මාර්ගෝපදේශන මාලාව නීතිගත කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටද රජය පසුගියදා පියවර ගත්තේය. එම ගැසට් නිවේදනයට අනුව, අදාළ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරන උදවියට එරෙහිව රුපියල් 10,000/=ක දඩ මුදලක් හෝ මාස 6ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කළ හැකිය. කොවිඩ් තුන්වැනි අදියර අවස්ථාවේදී ජනතාව විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ගණනාවක්ම ප්‍රකාශයට පත්කොට තිඛෙන අතර, තුන්වැනි අදියර වඩා අවදානම් සහගත වන හෙයින් පුද්ගල දුරස්ථභාවය මීටරයේ සිට මීටර් එකහමාරක් දක්වා වැඩිකිරීමට අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේය. කොවිඩ් තුන්වැනි අදියර අවස්ථාවේදී, නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවලද සංචරණ කටයුතු හැකිතාක් දුරට සීමා කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කරන්නේය. වෙනත් වචනවලින් කියතොත්, මෙම අවස්ථාවේදී, අත්‍යවශ්‍ය කටයුතුවලට හැරෙන්නට, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී හැකිතාක් දුරට නිවසේම රැඳී සිටීමට ජනතාව වගබලා ගත යුතුය.

මේ අතර, කලින් වතාවේ සිදුකළ පරිදි සති කිහිපයක් මුළු රටටම ඇඳිරි නීතිය පනවා වෛරස ව්‍යාප්තිය පාලනය කොට යළි රට විවෘත කළ යුතුව තිබුණේ යැයි තර්ක කරනා පිරිසක්ද සිටිති. ඔවුන්ගේ තර්කය නිවැරදි යැයි පිළිගත්තද, යම් හෙයකින් තව මාස කිහිපයකින් තුන්වැනි රැල්ලක් මතුවුවහොත්, එයාකාරයටම යළිත් මුළු රටටම ඇඳිරි නීතිය පනවා රට වසා දැමීමට සිදුවනු ඇත්තේය. ලෝක සෞඛ්‍ය සංවිධානය පුන පුනා අවධාරණය කරනා පරිදි, තව වසරක් හෝ දෙකක් යනතුරු කොරෝනා වසංගතය ලෝ පුරා පවතිනු ඇත්තේය. යම් හෙයකින් සාර්ථක එන්නතක් සොයා ගැනීමට හැකිවුවහොත් එම කාලය කෙටිවීමට ඉඩ ඇතත්, තව බොහෝ කාලයක් කොරෝනා සමඟ ජීවත්වීමට අපට සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේය. කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගන්නාතෙක් රට වසා තැබිය නොහැකි බවත්, එම නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෛනික කටයුතු පවත්වාගෙන යා යුතු යැයි, කොවිඩ් මර්ධන කාර්යය සාධක බලකාය සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පවසා තිබුණේය. කොරෝනා සමඟ ජීවත්වීමට අප වහාම පුරුදු විය යුතු යැයි අප අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළය.

කොරෝනා සමඟ ජීවත්වීමේදී, මෙතෙක් අනුගමනය කළ ප්‍රධාන සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් වන මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකගැනීම, නිතර දෑත් සේදීම වැනි කරුණුවලට අමතරව, තවත් පිළිවෙත් (සීමාවන්) රැසකට අනුගත වීමට සිදුවනු ඇත්තේය. විශේෂයෙන්, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් නවතා දැමීම, රැස්වීම්, සම්මන්ත්‍රණ, වැඩ මුළු, මඟුල් උත්සව බඳු මහජන ඒකරාශීවීම් අවම කිරීම වැනි සීමාවන්ට යටත්වීමට අපට සිදුවනු ඇත්තේය. කෙටියෙන් කියතොත්, තව බොහෝ කාලයක් යනතුරු පූර්ව කොරෝනා සමයේ අප ගතකළ අපට හුරුපුරුදු “සාමාන්‍ය” නැතහොත් “නිදහස්” ජීවන රටාවට පිවිසීමට නොහැකි වනු ඇත්තේය. එනම්, නව සාමාන්‍ය තත්ත්වය යටතේ කොරෝනා සමඟ ජීවත්වීම යනු, පූර්ව කොරෝනා සමයේ ජීවන රටාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක් බව අප තේරුම් ගතයුතු වන්නේය. කොරෝනා සමඟ ජීවත්වීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන නිර්දේශ පිළිපැදීමට අමතරව, අප එකිනෙකා විසින් එක්තරා ආකාරයක ස්වයංපාලනයක් නැතහොත් ස්වයංවිනයක්ද පවත්වා ගතයුතු වන්නේය. මෙම අතිශය භයානක කොරෝනා වසංගතය හමුවේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුකූල වන ස්වයං නීතිරීති මාලාවක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන්නේය. මේ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අප විසින් අකුරටම පිළිපැදිය යුතු වන්නේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. කොරෝනා ආසාදිතයෙකු බවට පත්වීමෙන් වැලකීම සඳහා හැකි උපරිම උත්සාහයක් දැරිය යුත්තේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. කොරෝනා සමඟ ජීවත්වීමේදී, ස්වයං පාලනයක්, ස්වයං විනයක් අවශ්‍ය වන්නේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය.

lankaleadnews

No comments

Ads Place