Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් කොළඹ වරාය අකර්මන්ය වෙයි?

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුරෙන් ඇරඹී බස්නාහිර පළාත ඇතුළුව රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඊයේ (13 වැනිදා) වන විට කොළඹ...


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුරෙන් ඇරඹී බස්නාහිර පළාත ඇතුළුව රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඊයේ (13 වැනිදා) වන විට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තාවේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශ‍්‍රාමික වරාය සේවකයන්ගේ සහ සුදුසුකම් ඇති වෙනත් පාර්ශ්ව වෙතින් ද සේවා ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි.

වරාය සේවකයන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් විශාල සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබීම සහ වසංගත තත්ත්වයේ වැඩිම බලපෑම ඇති කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්කයන්හි සේවකයන් වැඩි වශයෙන් වාසය කිරීම ද මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව ද ජෙනරාල් දයා රත්නායක සඳහන් කරයි.

මේ වන විට වරාය මෙහෙයුම් කටයුතුවල දී ප‍්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන ග‍්‍රැන්ටි දොඹකර කි‍්‍රයාකරුවන් කිහිපදෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් ඊයේ වන විට කොළඹ වරායට පැමිණි නෞකා 15ක් පමණ දින දෙක තුනක සිට වරායෙන් පිටත නැංගුරම්ලා තිබේ.

වරාය වාප්පු ලිපිකරුවන්ගෙන් සියයට 80ක් පමණ දෙනා කොළඹ, ගම්පහ පදිංචිකරුවන් වන අතර වරාය සේවක නිල නිවාස 600ක් පමණ මෝදර මට්ටක්කුලිය ප‍්‍රදේශ වැනි අධි අවධානම් කලාප තුළ පිහිටා තිබීම හේතුවෙන් එම සේවකයන් රාජකාරියට කැඳවීමේ අභියෝගයකට ද මේ වන විට වරාය බලධාරීන් මුහුණ දී ඇත.

පවතින තත්ත්වය තුළ වරාය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ඊයේ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

එම සාකච්ඡාවේදී පැය 24 පුරා කි‍්‍රයාත්මක කාර්ය සාධක බළකායක් පිහිටුවීම, සේවක දිරි දීමනාවක් ලබා දීම, සේවා මුරවල යෙදෙන සේවකයන්ට ආහාර පාන සහ නේවාසික පහසුකම් වරාය පරිශ‍්‍රය තුළම ලබාදීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන තිබේ.

පවතින තත්ත්වය තුළ වරාය කටයුතු අකර්මණ්‍ය වනු දැකීම ඇතැම් විරුද්ධ දේශපාලන මතධාරී පාර්ශ්ව සහ වෘත්තීය සමිතිවල අපේක්‍ෂාව වුවත් කුමන ආකාරයේ බාධක සහ අභියෝග පැමිණිය ද කොළඹ වරාය කටයුතු අඛණ්ඩව කරගෙන යන බව වරාය සභාපති, ජෙනරාල් දයා රත්නායක වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඊයේ දිනයේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයන් 378දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 11031 දක්වා ඉහළ ගියේය.

පෑලියගොඩ පොකුරේ ආශි‍්‍රතයන් ලෙස පෙරේදා දිනයේ වාර්තා වූ ආසාදිතයන් 373 දෙනාත් සමඟින් මේ වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන දසදහසේ සීමාව ඉක්මවා යමින් 10045ක් ලෙසින් සටහන් විය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 4644ක් බව ඊයේ සවස් වන විට සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය වාර්තා කර තිබුණු අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් ඇරඹී ශීඝ‍්‍රයෙන් රටපුරා විහිද ගිය කොරෝනා රැල්ලේ ආසාදිතයන් ද ඇතුළුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 11723කි.

පෑලියගොඩ කොරෝනා රැල්ලේ බලපෑමත් සමඟ කොළඹ ජාතික රෝහලේ 48 වාට්ටුවේ සේවය කළ සුළු සේවකයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය.

මේ හේතුවෙන් එම වාට්ටුවේ සේවය කළ සියලූම කනිෂ්ඨ සේවකයන් නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.

පෑලියගොඩ කොරෝනා පොකුරේ ව්‍යාප්තියත් සමඟ පළමු, දෙවන සහ තුන්වන පෙළ ආශි‍්‍රතයන් ලෙස මේ වන විට බස්නාහිර පළාතේ පමණක් නිවාස 17708 නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමේ සිද්ධියත් හේතුවෙන් හිනිදුම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 16 දෙනකු නිවාස නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කළ මෙම සැකකරුවන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි බූස්ස බන්ධනාගාරයේ දී හෙළි වී ඇත.

මේ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් නිලධාරීන්, ප‍්‍රශ්න කළ කණ්ඩායම ඇතුළු පිරිසක් මෙසේ නිරෝධායනයට ලක් කර ඇත.

මේ අතර කොළඹ මහ නගර සභාවේ නිරෝධායනයට ලක් කර ඇති මහල් නිවාසවල සිටින කලක සිට බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට තමන් පිළිබඳ තොරතුරු අදාළ මහල් නිවාස භාරව සිටින පොලිස් නිලධාරීන්ට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබිණි.

තමන්ගේ නම, වයස, ප‍්‍රතිකාර ගන්නා බෙහෙත් ශාලාවේ හෝ රෝහලේ නම මෙසේ ලබා දෙන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කර තිබුණු අතර කොරෝනා වෛරසයෙන් ඇති වන සංකූලතා මඟහරවා ගැනීම සඳහා අදාළ රෝග සඳහා ලබා ගන්නා ප‍්‍රතිකාර නොවරදවා ලබා ගන්නා ලෙස ද එම නිවේදනය මගින් දැනුම් දී ඇත.

බස්නාහිර පළාතේ සහ විශේෂයෙන් සංචරණ සීමා පනවා ඇති කොළඹ දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශවල තවදුරටත් ඩ්‍රෝන යානා මගින් මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ සඳහන් කළේය.

ඒ අනුව ඊයේ පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ ගුවන් හමුදාවේ සහායෙන් ඩ්‍රෝන යානා යොදාගෙන සිදු කළ මෙහෙයුමකින් මෝදර ප‍්‍රදේශයේ තවත් පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කර තිබිණි.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාර සිදුකරමින් රටේ තැන තැන විවිධ පුද්ගලයන් කොරෝනා වැලඳී මැරී වැටුණු බවට සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරයන් සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

මේ දක්වා මෙරට තුළදී මහමඟ ඇද වැටී මරණයට පත්ව ඇත්තේ යාචකයකු පමණක් බව ද හෙතෙම සඳහන් කළේය.

සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල පළවන මෙවන් අසත්‍ය දේ දුටු විට ඒවා බෙදා හැරීමෙන් වැළකී සිටින ලෙස ද කී ඒ මහතා එසේ බෙදා හැරීමේදී ඔවුන් ද කැඳවා ප‍්‍රශ්න කිරීමට සිදුවන බව පැවසීය.

lankaleadnews

No comments

Ads Place