Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළු සල්ලි සුදු කරන අයවැයක් – සුනිල් හඳුන්නෙත්ති

මේක කළු සල්ලි සුදු කරන අයවැයක් බවත් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබා දීම වෙනුවට පීඩාව ජනතාව පිටම පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල...


මේක කළු සල්ලි සුදු කරන අයවැයක් බවත් පීඩාවට පත් ජනතාවට සහනයක් ලබා දීම වෙනුවට පීඩාව ජනතාව පිටම පටවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිතිවරයාගේ ආණ්ඩුවේ 2021 වර්ෂය වෙනුවෙන් අයවැය ලේඛනය මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඊයේ ඉදිරිපත් කළා. මේ මොහොත වන විට කොවිඞ් වසංගත තත්වයෙන් ජනතාවට ජීවන මාර්ග අහිමිවෙලා ජීවත්වීමේ අර්බුදයකට ලක්වී ඉන්න වෙලාවක්. ඒ වගේම ආර්ථිකයේ ගමන අඩාල වෙලා එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්න බැරි මට්ටකමකට පත්වෙලා. ඒ නිසා ජනතාව මේ අයවැය තුළින් අත්‍යාවශ්‍ය මූලික කරුණු ඉෂ්ඨ කරන කොවිඞ් වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණ විසඳුමක් ඉදිරිපත්වන කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් බලාපොරොත්තු වුණා. නමුත් සාම්ප්‍රදායික ක්‍රමයකට ඉදිරිපත් කරන අයවැය කතාවක් පමණක් වුණා.

ඉදිරි වර්ෂයේදී රුපියල් බිලියන 3,500ක පමණ වියදමක් ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ වියදම් උපයා ගන්න ආකාරය ප්‍රායෝගිකව දක්වලා නැහැ. ජනතාවගේ ජීවත්වීමේ අර්බුදයට උත්තර ජනතාවටම සොයා ගැනීමටත් ආණ්ඩුව ගැලවීමටත් යෝජනා ඉදිරිපත් කළ අයවැයක්. ඒ වගේම ණය අර්බුදය ඉස්සරහ ආණ්ඩුවේ අසරණකම පෙන්වන අයවැයක්. ණය අර්බුදය ගැන කිව්වට ඊට දෙන විසඳුම ඉදිරිපත් කර නැහැ. පවතින අර්බුදයේ ඇත්ත ස්වභාවය එක්කෝ ආණ්ඩුව දැකලා නැහැ. නැත්නම් එය ජනතාවට හංගලා. උදාහරණයක් හැටියට 2021දී බිලියන 1961ක ආදායමක් බලාපොරොත්තු වෙනවා. නමුත් 2020 පළවැනි මාස අටටම ලැබිලා තියෙන ආදායම බිලියන 906යි. ඉතුරු මාස හතරට උපරිම වශයෙන් තව බිලියන 200ක් විතර උපයා ගන්න හැකිවෙයි. අලුතින් ආදායම් මාර්ග යෝජනා කර නැත්නම් ලබන අවුරුද්දේ බිලියන 1961ක් හොයන්නේ කොහොමද? මේ ආදායම් එකතු කිරීමට නැවත යෝජනා කරන්නේ ජනතාව මත බදු බර පැටවීමයි.

අයවැය යෝජනාවල අවසාන භාගයේදී කළු සල්ලි සුදු කරන්න ක්‍රමයක් යෝජනා කරනවා. අයවැය යෝජනාවලට ආයෝජනය කරන කළු සල්ලිවලින් 1%ක් ආණ්ඩුවට ගෙවලා නිදහස් වෙන්න ක්‍රමයක් ආණ්ඩුව කියා දෙනවා. එතකොට කළු සල්ලි සුදු කරන අයවැයක් මේ ගෙනල්ලා තියෙන්නේ. නීත්‍යානුකූල ක්‍රමවලට ආදායම් හොයන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බව මේකෙන් පේනවා. නීතිවිරෝධී ලෙස හම්බ කරන අයගේ සල්ලි ආයෝජනය කරන්න මාර්ග අයවැයෙන් කියා දෙනවා.

දැනටත් බදු බරෙන් විශාල පීඩාවකට පත්වෙලා ඉන්න ජනතාව ඔන්ලයින් ක්‍රමයේ විශේෂ භාණ්ඩ බද්දක් අලුතින් යෝජනා කරලා. බදු ආදායම්වලින් පමණක් අලුතින් රුපියල් කෝටි 4,390ක් ලබාගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මුළු බදු ආදායම බිලියන 2,019ක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ පවතින යථාර්ථය ඇතුළේ තව අවුරුද්දක් දෙකක් කොවිඞ් වසංගතය පැවතීමේ අවදානමට සුදුසු ආදායම් යෝජනා කර නැහැ. ඒ වගේම ආනයන සීමාකිරීම තුළින් බදු ආදායම් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් ඒ මත අලුතින් බදු බලාපොරොත්තු වීම වගේ ප්‍රායෝගික නැති ක්‍රියාමාර්ග ආණ්ඩුව යෝජනා කරනවා.

ඒ වගේම 2020 පළවැනි මාස අටේ වියදම 2019ට වඩා කෝටි 1,581ක් වැඩිවී තිබෙනවා. මහ බැංකුව ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රකාශනවලත් 2020ට අදාලව ඉදිරිපත් කළ අයවැයේ ඒ බව සඳහන් වෙනවා. අයවැය හිඟය 9%ක් බව හෙළිවී තිබෙනවා. ආර්ථික වර්ධන වේගය 6%ක් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. 2025 වෙනකොට අයවැය හිඟය 4%කට අඩු කරන බව සඳහන්. නමුත් මේවා ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා දැක්මක්, සැලැස්මක් නැහැ. රටක් හැටියට අවුරුදු 72ක් පුරා සැපයි කියලා ගත් ණය ගෙවාගන්න බැරිවී ජනතාව මත පටවා තිබෙනවා. හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවලට විවේචනය කරමින් ණය ගත් ඉතිහාසයක් තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය 2019 අග වෙද්දී රුපියල් කෝටි 1,303,154ක ණය බරක් තිබුණා. ඒකත් පහුගිය කාලය වෙනකොට රුපියල් කෝටි 1,426,100ක් වෙලා තියෙනවා. මේ අවුරුද්ද තුළදී විතරක් ණය බර වැඩිවීම රුපියල් කෝටි 129,500ක් බව මහබැංකු වාර්තාවල සඳහන් වෙනවා. එහෙම තියෙද්දී මේ ආණ්ඩුව නැවතත් ලබන අවුරුද්දේදී බිලියන 3,000ක් නැත්නම් රුපියල් කෝටි 300,000ක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අගමැතිතුමා කියනවා ඩොලර් මිලියන 6,000ට වඩා ආයෝජන ව්‍යාපෘති අසාර්ථක වෙලා තියෙන බව. ඒක තමයි පහුගිය කාලය පුරාම සිදුවුණු ප්‍රායෝගික ඇත්ත.

දැන් ව්‍යාපෘතිවලින් 65%ක් දේශීය අවශ්‍යතා අනුව ක්‍රියාත්මක කරන ණය ගන්න යෝජනා කරනවා. මේ විදිහට ණය දෙන්න ඉන්නේ කවුද? රටක් හැටියට ණය ගෙවීම අතින් අසාර්ථක ගොඩට වැටිලා. විදේශ වත්කම් සංචිතය විදේශ ණය පංගුවට වඩා අඩුයි. ඒ නිසා වර්තමානයේ මුළු විදේශ වත්කම් සංචිතයම යෙදවූවත් විදේශ ණය ගෙවන්න බැරි තත්වයට වැටිලා ඉන්නේ. මේ යථාර්ථය ඇතුළේ අපිට කවුරු හරි ණය දෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කොන්දේසිවලට මිස අපේ අවශ්‍යතාවයට අනුව නොවන බව පැහැදිලියි. මීට වඩා ණය ගෙවීමේ පහසු අවස්ථාවලදී පවා පැවති රජයන් ණය ගෙන තිබෙන්නේ ඔවුන්ගේ කොන්දේසිවලට යටත්වයි. ඒ නිසා දැන් අපට පහසු ණය ක්‍රමයක් යටතේ ගන්න පුළුවන් තත්වයක නෙවෙයි පසුවෙන්නේ. ගත්ත ණය ගෙවාගන්න බැරි අර්බුදයක හිරවෙලා ණය ගැනීමේ හැකියාව ඉතා අවම වෙමින් තිබෙන යථාර්ථයක මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා. ඇත්ත ණය අර්බුදයට උත්තර නැති යෝජනා මාලාවක් පමණක් දකින්න තියෙනවා.

ඒ වගේම සමහර අයවැය යෝජනා බැලූ බැල්මට හොඳයි වගේ පෙනුනාට යටි අරමුණු තියෙන බවත් තවත් යෝජනා හරයෙන් ගත්තාම ප්‍රායෝගික නොවන බවත් පැහැදිලියි. උදාහරණයක් හැටියට රජයේ විශ්වවිද්‍යාල හතරක් ඉදිකරන්න මිලියන 1,000ක් වෙන්කර තිබෙනවා. එක විශ්වවිද්‍යාලයකට වෙන්කර තියෙන්නේ මිලියන 250යි. මේ මුදලින් කොහොමද විශ්වවිද්‍යාලයක් ගොඩනගන්නේ? පවතින විශ්වවිද්‍යාලවල ගැටළුත් විශාල ප්‍රමාණයක් තියෙනවා. අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අපි පිළිගන්නවා. නමුත් මේ මුදලින් ඒ වැඬේ කරන්න පුළුවන්ද? තවත් පැත්තකින් අලුතින් ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 50,000ක් ඉදි කරන්න රුපියල් මිලියන 20,000ක් වෙන්කර තිබෙනවා. කිලෝ මීටරයක් රුපියල් ලක්‍ෂ 4කින් ඉදිකරන්නේ කොහොමද කියන ප්‍රායෝගික ප්‍රශ්නය තියෙනවා. ග්‍රාමීය පාලම් 10,000ක් හදන්න රු. මිලියන 7,000ක් වෙන්කර තියෙනවා. එක පාලමක් රු. ලක්‍ෂ 7කින් ඉදි කරන්නේ කොහොමද?

අගමැතිතුමාගේ අයවැය කතාවේදී ප්‍රායෝගික නොවන යෝජනා ගැන හොඳම සාක්‍ෂියක් ඉදිරිපත්වුණා. 2013දී එතුමා විදේශ ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්න අයවැය යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණා. මේ පිළිබඳව අපිත් පාර්ලිමේන්තුවේදී යෝජනා ඉදිරිපත් කළා. මේ අයවැයෙනුත් 2013 ඉදිරිපත් කළ යෝජනාව යළි ඉදිරිපත්කරන බව අගමැතිතුමා කිව්වා. එතකොට 2013දී වෙන්කළ මුදල්වලට මොකද වුණේ? කුවේට් වන්දි අරමුදලින් රුපියල් කෝටි 100ක් අරගෙන විශ්‍රාම වැටුප් අරමුදලක් විදේශගත ශ්‍රමිකයින්ට පිහිටුවන බව කීවා. නමුත් මේ වෙන්කළ මුදල් සම්ප්‍රදායිකව නම් කිරීමක් පමණක් බව අපිට පෙනෙනවා.

බැලූ බැල්මට හොඳයි වගේ පෙනෙන යෝජනාවල යටි අරමුණු තිබෙන බව විශ්‍රාම ගැනීමේ යෝජනාවෙන් පැහැදිලි වෙනවා. මේ වයස අවුරුදු 60 දක්වා වැඩිකර තිබෙනවා. බැලූ බැල්මට හොඳයි වගේ පෙනුනාට අවුරුදු 55න් විශ්‍රාම යන්න කැමැත්තෙන් ඉන්න අයට සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගන්න බැහැ. විශ්‍රාම ගැනීමේ වයස තීරණය කිරීමේ අයිතිය වැඩ කරන කෙනාට ලැබෙන්න ඕනෑ. නමුත් ඒ ඉඩකඩ අහිමි කරලා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආණ්ඩුවට යොදවා ගැනීමේ යටි අරමුණක් තිබෙන බව අපට පේනවා.

ඒ වගේම මාණ්ඩලික නොවන ශ්‍රේණිවල අයට තමන් වැඩ කරන කාලයට අමතරව වෙනත් රැකියා කිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. පවතින තත්වය ඇතුළේ ජීවන වියදම වැටුපෙන් ආවරණය කරන්න බැරි අරබුදයක ජනතාව පෙළෙන බව පිළි අරගෙන තිබෙනවා. නමුත් ඊට ආණ්ඩුව විසඳුම් හොයනවා වෙනුවට පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව මතම ප්‍රශ්නය පටවලා. ජනතාවට ජීවත් වෙන්න තියෙන පීඩාවට උත්තර දෙනවා වෙනුවට නැවත වටයකින් පීඩාව ජනතාව පිටම පටවලා උත්තර හොයාගන්න වගකීම ජනතාව පිටම පටවා තිබෙනවා.

කොවිඞ් වසංගතයෙන් ජීවත් වීමේ අරඅබුදයකට ලක්වී ඉන්න මිනිස්සුන්ගේ කර මතම සියල්ල පැටවූ අයවැය යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා. කොවිඞ් වසංගතය නිසා ජීවනෝපාය අහිමි වෙන අයට රක්‍ෂණ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරනවා. හැබැයි ආණ්ඩුවට අමතක වෙච්ච දෙයක් මතක් කරලා දෙන්න කැමැතියි. මේ වසංගතය ආපු වෙලාවේදී ඉන්ධන මිල අඩු වෙච්චි සහනය ජනතාවට දෙනවා වෙනුවට ඉන්ධන මිල ස්ථායි කරන අරමුදලක් පිහිටුවන බව කීවා. කෝටි 20,000ක් මාස 06ක් තුළ රැස්කරන බව කීවා. අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන රක්‍ෂණ ක්‍රමය වැනිම දෙයක් මේකත්. දැන් මාස 06ක් ගතවෙලා. ඒ අරමුදලට දැන් මොකද වුණේ? ඒ අතර ජීවනෝපායන් අහිමිවී තිබෙන ජනතාවට අලුතින් රක්‍ෂණ යෝජනා ක්‍රමයක් ඇතිකරන්න ව්‍යාපාරික ආයතනවල පිරිවැටුමෙන් 0.25%ක අයකර ගන්න බව සඳහන් වෙනවා. කොවිඞ් වසංගතය නිසා ව්‍යාපාර කරගෙන යන්න බැරි අය පිටත් අමතර බරක් පටවනවා. හැබැයි ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ මිල ස්ථායිකරන අරමුදලේ සල්ලිවලට මොකද වුණේ කියලා අයවැයේදී කියන්න ඕනෑ. ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ මේ අරමුදල යොදවලා ජනතාවට සහන දෙන එක. අලුතින් රක්‍ෂණ ක්‍රම යෝජනා කරන එක නෙවෙයි.

අලුතින් සමෘද්ධි ප්‍රතිලාභ ගිණුමක් හඳුන්වා දෙන්න යනවා. සේවක අර්ථසාධක අරමුදල ඇරුණාම තියෙන විශාල අරමුදලක් තමයි සමෘද්ධි අරමුදල. මැතිවරණයේදී ඡන්දෙ දිනාගැනීම වෙනුවෙන් රු.5.000 බෙදන්න පාවිච්චි කළේ සමෘද්ධි අරමුදල. බිලියන 28 බැගින් අවස්ථා දෙකකදී බිලියන 56ක් මේ අරමුදලින් ආණ්ඩුව ගත්තා. මේ සමෘද්ධි අරමුදල අයවැයෙන් නැවත යථාතත්වයට පත්කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් දැන් කරන්නේ මාසිකව සමෘද්ධිලාභීන්ට ලැබෙන දීමනාව ලබානොදී එය ඉතිරි කිරීමකට පරිවර්තනය කරලා රජය ඒ මුදල නැවත ලබාගන්න එකයි. අයවැය විවාදයේදී අපි ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. සමෘද්ධි ප්‍රතිලාභීන්ට දැනට මාසිකව දෙන දීමනාව නතර කරලා ජීවන ඉතුරුම් ගිණුම හැටියට හඳුන්වා දෙන ගිණුමකින් නතර කරන්න යනවාද කියලා අපි ප්‍රශ්න කරනවා. බැලූ බැල්මට ජනතාවට ඉතිරි කරන්න කියලා දෙනවා වගේ පෙන්නුවාට දැනටත් ලැබෙමින් තිබෙන සහනය ආණ්ඩුව උදුරා ගන්න උපක්‍රම යොදලා. සමෘද්ධිලාභීනුත් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා.

ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල දැනට ලබාදෙන්නේ නැහැ. මේ පසුබිම තුළ ත්‍රිපෝෂ ලබාදෙන්න ප්‍රතිපාදන වෙන් කිරීම, රැකියා ලක්‍ෂයක් ලබාදීම පිළිබඳව ගැටළු මතුවී තිබීම, වගේ ප්‍රායෝගික ගැටළු මතුවී තිබියදී තවත් එවැනිම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර යෝජනා කරලා නැහැ. රට ගමන් කරමින් තිබෙන ණය අර්අබුදයට උත්තර යෝජනා කරලා නැහැ. කෘෂිකර්මාන්තය ඇතුලු නිෂ්පාදන කර්මාන්ත කඩාවැටීමට පිළියම් යොදන යෝජනා අයවැයෙන් යෝජනා කර නැහැ. ජනතාව විඳින පීඩාවන්වලට විසඳුම් ජනතාවටම සොයාගන්න වගකීම බාරදී තිබෙන බව මේ අයවැයෙන් පැහැදිලි වෙනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මේ අයවැයෙන් ආණ්ඩුවේ අර්බුදය එළියට දාපු කරුණු ගණනාවක් හෙළිවී තිබෙනවා. කොව්ඩි වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාවගෙන් ආණ්ඩුව බලය ගන්නකොට තමන්ට සියලු ප්‍රශ්න විසඳිය හැකි බව පම්පෝරි ගැහුවා. නමුත් දැන් නොහැකියාව පැහැදිලි ලෙසම අයවැයෙන් පෙන්නුම්කර තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුවට උත්තර නැති යථාර්ථය පෙන්නූ අයවැය පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

lankaleadnews

No comments

Ads Place