Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ඩොලර් මිලියන 700ක් චීනයෙන් ණයට ගන්න සාකච්චා.. මේ වසරේ ණය ගෙවන හැටි කබ්රාල් කියයි..

  පහත දැක්වෙන්නේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් නිකුත් කරන ලද නිවේ...

 


පහත දැක්වෙන්නේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් නිකුත් කරන ලද නිවේදනයයි.

කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ආර්ථික කටයුතුවල පසුබෑමක්, විදේශ විනිමය ඉපැයීම් පහල යාමක්, ආදායම් එකතු කිරීමේ අඩුවීමක් සහ සෞඛ්‍ය හා සුභසාධන ආශ්‍රිත වියදම් වැඩිවීමක් දක්නට ලැබිණි. එහෙත්, ශ්‍රී ලංකාවේ එසේ වුවද රජය සහ මහ බැංකුව ලබා දුන් කඩිනම් හා ස්ථීර ප්‍රතිපත්තිමය සහයෝගය මගින් කොවිඩ් -19 යේ අහිතකර බලපෑම් විශාල වශයෙන් අවම කර ගැනීමටත්, 2020 මැයි මැද භාගය වන විට ආර්ථිකය “නව-සාමාන්‍යක්” යටතේ යථා තත්ත්වයට පත් කිරීමටත් ශ්‍රී ලංකාවට හැකි විය. එමගින්, බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් මැයි මාසයේ සිට සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව ඇති අතර මෙම ප්‍රකෘතිය අඛණ්ඩව සිදුවෙමින් පවතී. මෑතකදී හඳුනාගත් නව කොවිඩ් පොකුර රජය විසින් හොදින් පාලනය කරනු ලබමින් පවතින අතර, මෙම රැල්ල ද කෙටි කාලීන වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, 2020 දී රාජ්‍ය මූල්‍ය හිඟය පුළුල් වීම සහ ණය මට්ටම් ඉහළ යාම, දීර්ඝ කාලීන ණය අර්බුධයක් ලෙස සාමාන්‍යකරණය නොකළ යුතු අතර, එය නව රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ මනාව ප්‍රකාශ කර ඇති මූල්‍ය ඒකාග්‍ර‍තා කිරීමේ මාවතෙන් (Fiscal consolidation path) “එක වර” (“one-off”) බැහැරවීමක් පමණක් බව සැළකිය යුතුය.

2019 නොවැම්බර් මස නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සහ 2020 අගෝස්තු මස සැලකිය යුතු බහුතරයක් සහිත තනි පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම මගින් 2015 සිට 2019 දක්වා කාලය තුළ පෙන්නුම් කරන ලද දේශපාලන හා ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන්හි අවිනිශ්චිතතාවයන්ට පිළියම් යෙදීමට නව රජයට දැන් හැකියාව ලැබී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහජන සෞඛ්‍ය ගැටළු කඩිනමින් විසඳා ගැනීමට මෙන්ම වැඩි විශ්වාසයකින් යුතුව දුෂ්කර ආර්ථික තීරණ ගැනීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. නිදසුනක් ලෙස, වසංගතය හේතුවෙන් විදේශ විනිමය ඉපැයීම් අඩු වීමේ සම්භාවිතාවක් දක්නට තිබූ විට, විදේශ ණය ගෙවීම සදහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගැනීම සිදුවිය. එවිට, විදේශ විනිමය සංරක්ෂණය කිරීම අවශ්‍යවූ බවට රජය තීරණය කළ විට, ඒ සඳහා 2020 මාර්තු සිට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සඳහා සීමාවන් පැනවීමට රජයට හැකි විය. මෙම තීරණාත්මක ක්‍රියාමාර්ගය සහ ගෝලීය ඛනිජ තෙල් මිල අඩුවීම හරහා, මේ වසරේ මුල් මාස නවය තුළ වෙළඳ ආනයන සඳහා වූ වියදම පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව, ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න මුදලක ඉතිරියක් පෙන්නුම් කොට ඇත. මෙම ඉතිරිකිරීමත් සමගම, වෙළඳ භාණ්ඩ අපනයනය, සංචාරක ව්‍යාපාරය හැර වෙනත් සේවා අපනයනය සහ සේවකයින්ගේ ප්‍රේෂණ වලින් බලාපොරොත්තු වුවාට වඩා වැඩි ප්‍රතිඵල ලැබීම තුළින් 2020 දී බාහිර ජංගම ගිණුම් හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% ට වඩා අඩු කිරීමටද දැන් හැකිවී ඇත.

කෝවිඩ් -19 ගෝලීය වසංගතය පැතිරී යාම ආරම්භ වූ මුල් මාසවලදී, ප්‍රාග්ධන ප්‍රවාහ සහ නිල විදේශ සංචිත කෙරෙහි ද බලපෑම් ඇති වුනි.  එසේ වුවද, රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ තීරණාත්මක ක්‍රියාමාර්ග හේතුවෙන් ව්‍යාපාරික විශ්වාසය වර්ධනය වීම නිසා මේ වසරේ මේ දක්වා කාලය තුල 1.5% ක පමණ ඉතා සුළු ක්ෂයවීමකට  යටත්ව රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට රටට හැකි වී ඇත. එමෙන්ම, මේ වසර තුළදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් මිලදී ගැනීමටද මහ බැංකුවට හැකියාව ලැබී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2020 ඔක්තෝම්බර් මාසයේදී පරිණත වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ආපසු ගෙවීමක්ද ඇතුළුව, මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පමණ විදේශ ණය පියවීමෙන් පසුවද, නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6 කට ආසන්න මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත. මේ අතර, ශ්‍රී ලංකා මූල්‍ය බලධාරීන් මේ වන විටත් චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටින අතර, එහි  පොලී අනුපාතය සහ ආපසු ගෙවීමේ කොන්දේසි මෑතකදී ගෙවීම අවසන් කල ස්වෛරීත්ව බැඳුම්කරයට සාපේක්ෂව ඉතා වාසිදායකද වනු ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරන ඕනෑම විදේශීය ආයෝජකයෙකු සඳහා අවදානම් රහිත විනිමය අනුපාතයක් ලබා දෙන SWAP පහසුකමක් හඳුන්වා දී ඇති අතර, ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් ගත් කල, වසංගතය හේතුවෙන් 2020 මුල් භාගයේ ඇති වූ පසුබෑමෙන් පසුව ශ්‍රී ලංකාව යළිත් වරක් වර්ධන මාවතකට දැන් පිවිසෙමින් පවතී. පැහැදිලි කාර්ය සාධන දර්ශක සහිතව නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ව්‍යුහය සකස් කිරීම තුලින් ආර්ථිකයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩිදියුණු කිරීමටද රජය කටයුතු කොට ඇත. මෙම නව පාලන ව්‍යුහයන් කෘෂිකාර්මික, කෘෂිකර්මාන්තය හා ඛනිජ පදනම් කරගත් කර්මාන්ත වැඩි දියුණු කිරීම, අපනයන අවස්ථා වැඩි කිරීම මෙන්ම වරාය නගරය, හම්බන්තොට වරාය සහ කාර්මික කලාප තුළ විශාල ව්‍යාපෘති සඳහා පහසුකම් සපයනු ඇත. අපේක්ෂිත රාජ්‍ය ව්‍යවසායන් නැවත නගා සිටුවීම සහ පෞද්ගලික අංශය විසින් මෙහෙයවනු ලබන සංවර්ධන ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකා ආර්ථිකය 2015 ට පෙර පැවති ඉහළ වර්ධන මාවතට, එනම් එවකට පැවති වාර්ෂික වර්ධන වේගයවූ 6.5% ඉක්මවා යෑමට හැකියාවද ඉදිරියේ උදාවනු ඇත.

මේ අතර,  2020 ජුලි මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 7.7 (ඇ.ඩො. බිලියන 42) වන අතර රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන අතරම, 2019 දී ගෙවන ලද පිරිවැයෙන් අඩකට ආසන්න පොලී අනුපාත යටතේ, දැන් පෙරළා නැවත මිල නියමවනු (roll over at about half the interest costs) බවද පෙනී යයි. තවද, දේශීය මූල්‍යකරණය කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමේ නව ප්‍රවණතාවක් දැන් අනුගමනය කරන බැවින්, එම උපායමාර්ගයට අනුව දැනටමත් “දේශීය: විදේශීය” ණය තොගයේ අනුපාතය  2019 අවසානයේ පැවති 51:49 සිට මේ වන විට 56:44 දක්වා වඩාත් යහපත් අතට පත්වී ඇත. ඒ අතර ඉදිරි කාලය තුළ තවදුරටත් යහපත් මට්ටමකට යොමු කිරීමට බලධාරීන් උනන්දු වෙමින්ද සිටිති. එබැවින්, සෘජුව හා වක්‍රව, වඩාත් යහපත් ණය කළමනාකරණයක් සඳහා රජයේ කැපවීම සහ සහයෝගය දැනටමත් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව පැහැදිලිය.

කිසිදාක ණය පැහැර හැරීමක් නොමැති ශ්‍රී ලංකා ණය ආපසු ගෙවීම් වාර්තාව ගැන ආඩම්බර වීමට අප රටට යුක්ති සහගත අයිතියක් ඇත. ඒ අතරම, ශ්‍රී ලංකාව මීට පෙරද මෙවැනිම අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දී ඇත. උදාහරණයක් ලෙස, 2001-2004 කාලය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණයබරතාවය 100% ඉක්මවූ අතර, 2005 අවසන් වන විට එය 91% ක් විය. එසේ වුවද, තීරණාත්මක හා නව්‍ය ක්‍රියාමාර්ග හරහා, 2014 අවසන් වන විට, සියලු අභියෝග ජය ගනිමින්,  දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව, ණය අනුපාතය 72% දක්වා ක්‍රමයෙන් අඩු කිරීමටත් ශ්‍රී ලංකාවට හැකි වූ බව මතක තබා ගත යුතුය.

lankacnews

No comments

Ads Place